මගේ පළමු රංගනයම ප්‍රේක්ෂකයන්ගේ හිතට ඇල්ලුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200824-12

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි නෙත්මිණි මැණික්යාරත්න වර්තමානය වනවිට රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ඔබ හමුවට හමුවට පැමිණෙයි. කලා ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට උත්සාහ කරන නෙත්මිණි ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබට දැක ගත හැකි වේ. මේ ඇය සමග "සාරවිට" අපි කළ කතා බහයි.ENT-20200824-14

 

ඔබ කලා ක්ෂේත්‍රයට එන්නේ නිරූපිකාවක් විදිහට?

මම නිරූපණ ශිල්පිනියක් විදිහට තමයි ක්ෂේත්‍රයට එන්නේ. ඒ ඇවිල්ලා ගොඩක්ම කළේ මනාලියක් ලෙස හැඩ වෙලා නිරූපණ කටයුතුවලට සහභාගි වුණ එක තමයි. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණ පුවත්පත්වල මුල් කවර සඳහා පෙනී සිටින්න. ඔය අතරේ තමයි මගේ පියාගේ හිතවත්කමක් හරහා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණේ.

 

රංගනයට ඔබ අලුත් කෙනෙක් කිව්වොත් හරි?

ඔව්, දැනට රංගනයෙන් දායක වෙලා තියෙන්නේ එක ටෙලි නාට්‍යයක් විකාශය වෙලා අවසන්. ඒ ස්වාධින රූපවාහිනි නාලිකාවේ විකශය වුණ %සුද්දේ^ කියන ටෙලි නාට්‍යය. තව එකක් ඉදිරියේදි විකාශය වෙන්න තියෙනවා. එහි ප්‍රධාන චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ.

 

නිරූපණය හා රංගනය කියන්නේ දෙකක්?

නිරූපණ ක්ෂේත්‍රය තුළ අපි කරන්නේ ගොඩක් වෙලාවට ඡායාරූප වලට පෙනී ඉන්න එකනේ. ඒ වගේ දෙයක් නෙමෙයි රංගනය කියන දේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. මම රංගනයෙන් දායක වූ පළමු ටෙලි නාට්‍යය %සුද්දේ^ රූපගත කළ පළමු දිනයේදී මම හිටියේ තරමක් තිගැස්සිමෙන්. කැමරාවට බයක් නොතිබුණාට රංගන ශිල්පිනියක් විදිහට දෙබස් කියලා කැමරාවට මුහුණ දෙන කොට යම් බයක් මට තිබුණා. මට මුල්ම දෙබස කියාගන්න කිහිප වරක් බැරිවුණා. මට තිබුණේ ප්‍රවිණ රංගන ශිල්පිනි රූපා ගෝමස් මහත්මියත් සමග කතා බහා කරන දර්ශනයක්. ඇය මාව ගොඩක් දිරිමත් කළා. අවශ්‍ය උපදෙස් දුන්නා. ඒ වගේම අධ්‍යක්ෂවරයාත්. මේ අවස්ථාවේදී ඔවුන්ව විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. ඒ ලබාදුන්න සහයෝගයට.

 

"සුද්දේ" ටෙලි නාට්‍යයේ "සඳමාලි" ඔබගේ පළමු රංගනය. කොහොමද ලැබුණ ප්‍රතිචාර?

අදටත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලැබෙනවා මේ චරිතයට. ඇත්තටම මටත් අදහා ගන්න බැහැ. මොකද, මගේ පළමු රංගනයම ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වුණ චරිතයක් වීම ගැන. කොටින්ම කියනවා නම් මගේ පළමු රංගනයම ප්‍රේක්ෂකයන්ගේ හිතට ඇල්ලුවා.

 

නවකයෙක් විදිහට කලා ක්ෂේත්‍රය ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?

ක්ෂේත්‍රය ගැන කියනවා නම් ක්ෂේත්‍රය හොඳයි. කලා ක්ෂේත්‍රය විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක් ගත්තොත් දෙපැත්තක් තියෙනවා. මේ නරක ක්ෂේත්‍රය මේ හොඳ ක්ෂේත්‍රය කියලා වෙන් කරන්න බැහැ. හැම ක්ෂේත්‍රයක් තුළම ඒ දේවල් තියෙනවා. අලුත් කෙනෙක් විදිහට නම් මම කලා ක්ෂේත්‍රය තුළ හොඳක් දකිනවා. නවකයෙක් විදිහ මේ ක්ෂේත්‍රය තුළ හොඳ ගමනක් ගියොත් ඒක මට හොඳක් වේවි. දැනට නම් මේ ක්ෂේත්‍රය තුළ මම නරකක් දකින්නේ නැහැ.

 

ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද අදහස?

ඔව්, කලා ක්ෂේත්‍රය තුළ දිගටම රැඳිලා කටයුතු කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මම රැකියාවක නිරත වෙන අතරේ තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. දැනට මම %ආර්පිකෝ^ ඉන්ෂුරන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිණියක් ලෙස කටයුතු කරමින් සිටිනවා. කලාවට මම කැමතියි. හොඳ නිර්මාණ ලැබුණොත් මම ඒවා මගේ රැකියාවට බාධාවක් නොවන විදිහට භාරගෙන වැඩ කරනවා.

 

උදව් කළ පිරිසකුත් ඉන්නවාද?

මගේ පියාගේ මඟ පෙන්වීම යටතේ තමයි මම කලාවට සම්බන්ධ වුණේ. මගේ පියාටත් මවටත් මේ අවස්ථාවේදී මගේ පළමු කෘතවේදිත්වය පිරිනමන්න කැමතියි. ඔවුන්ට අමතරව මාව කලා ක්ෂේත්‍රයට හඳුන්වලා දුන්න නිව්ටන් විදානපතිරණ මහත්මයාටත්, තිසුල දීප දඹවිට මහත්මයාටත් මගේ ස්තුතිය පිරිනමන්න කැමතියි.

 

බුද්ධික සේනාධීර

 

 ENT-20200824-13