මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් තමයි සිරස වසන්ත කුමරිය කියන්නේ
මෙවර සිරස වසන්ත කුමරිය තරඟාවලියේ තෙවෙනි ස්ථානය හිමි කරගත්තේ දෙව්මිණි තාරුක්ෂා විසින්. මේ තරඟාවලිය හරහා නිරූපණයට එකතු වන නවක ශිල්පිනියක් ලෙස තාරුක්ෂාව හඳුන්වන්න පුළුවන්. තවමත් අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින තාරුක්ෂා ඉදිරියේදී නිරූපණය සහ රංගනය පැත්තෙන් දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටියි. ඉතින් තාරුක්ෂාව අප සාරවිට කතාබහට සම්බන්ධ කරගත්තේ මේ විදිහටයි.
මගේ නම දෙව්මිණි තාරුක්ෂා ගුණවර්ධන. මගේ පදිංචිය කළුතර. දැනට මම විවෘත විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණය පිළිබඳව හදාරමින් සිටිනවා. මෙවර සිරස වසන්ත කුමරිය තරඟාවලියෙන් තුන්වෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඒ තරඟාවලියෙන් පස්සේ තමයි නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.
සිරස වසන්ත කුමරිය තරඟාවලියේ අත්දැකීම් ගැන කිව්වොත්?
ඇත්තටම සතුටුයි ලැබුණු ජයග්‍රහණය ගැන. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යක් තමයි සිරස වසන්ත කුමරිය කියන්නේ. මම කවදාවත් නිරූපණයටවත් රංගනයටවත් සම්බන්ධ වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. නමුත් මට මේක ලැබුණු හොඳ අවස්ථාවක්. මම හිතනවා ඉදිරියේදි හොඳ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා.
තරඟාවලියේ තරඟකාරීත්වය ගැන කිව්වොත්?
තරඟාවලියේ අවසන් වටය නියෝජනය කරපු ගොඩක් අය නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන අය තමයි. ඇත්තටම මමත් බලාපොරොත්තු වුණේ නැහැ මට ජයග්‍රහණයක් ලැබේවි කියලා. ඒ තරම් දක්ෂ අය හිටියා. වාසනාවත් මට බලපෑවා කියලා මම හිතනවා.
මේ වනවිට දායක වෙලා තිබෙනවාද?
මේ වෙද්දි නම් බ්‍රයිඩ්ල් ඩ්‍රෙසින් කරනවා. මියුසික් වීඩියෝ දෙකකට විතර සම්බන්ධ වෙලා තිබෙනවා. අශාන් කියලා මල්ලි කෙනෙක් ගායනා කරන ගීතයක් සහ වික්ටර් රත්නායක මහතා ගායනා කරන ගීතයකට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. බැංකු ක්ෂේත්‍රයේ වෙළඳ දැන්වීමකටත් දායක වෙලා තිබෙනවා.
රංගනයට ආරාධනා ලැබිලා තිබෙනවාද?
තවම නම් ආරාධනා ලැබිලා නැහැ. හොඳ ආරාධනාවක් ලැබුණොත් නම් රංගනයටත් එකතු වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.
අධ්‍යාපන කටයුතුත් සමග කොහොමද නිරූපණ වැඩකටයුතු කරගෙන යන්නේ?
හැමදාම ලෙක්චර්ස් නැහැ. මොකක් හරි වැඩකට ආරාධනාවක් ආවොත් මගේ ලෙක්චර්ස් නැති දවසක් කතා කරලා දාගන්නවා. දැනට නම් එහෙම හිර වෙලා නැහැ. දෙපැත්තම සමබරව කරගෙන යනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මායි අප්පච්චි හැමදේටම මගේ ළඟින් ඉන්නවා. එයාලගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ වැඩවලට.
ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?
අධ්‍යාපන කටයුතු කරගෙන නිරූපණය, රංගනය සමබරව කරගෙන පුළුවන් කාලයක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන් මතක් කළ යුතු අය කවුද?
මුලින්ම ස්තූති කරන්න ඕනේ සිරස මාධ්‍ය ආයතනයට. ඔවුන් නිසා තමයි මට මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකිවූයේ. ඊටපස්සේ මගේ පවුලේ අය. මගේ යාළුවෝ ඇතුළු හැමෝටම මම ස්තූති කරනවා.
සාකච්ඡා - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද