බැන්දට පස්සෙ සිනමාවෙ විතරයි
විනු සිරිවර්ධන මේ දින වල රූපවාහිනී තිරයෙන් හමු වන්නේ වෙස් සහ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නාට්‍ය සමගයි. ඊට අමතරව මේ දිනවල නිර්මාණය වන සුද්දේ නාට්‍යයේ චරිතයකට ද දායකව සිටින්නීය. මේ සියලූ රංගනයන් අතරේ අද ඇය සඳැල්ලට ඇයගේ සැබෑ ජීවිතයේ විවාහය ගැනත් කියාවි.
විශේෂ නුවණ.
එහෙම තියෙනවා කියලා හිතනවද?
මම හිතනවා ඉතින්. මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ ඒ නිසා වෙන්නැති.
රඟපෑමට ආවෙ හැමෝම වගේ ලස්සනයි කියලා ඔබට කිව්ව නිසාද?
මිස් ශ්‍රී ලංකා වූ පසු දෙරණින් තමයි ඒ අවස්ථාව ලැබුණෙ. රඟපෑමට මාව හඳුන්වා දුන්නෙ දෙරණ. පිපෙන මල් වලින් තමයි රඟපෑම පටන් ගත්තේ. පසුව බොහෝ දෙනා හඳුනා ගත්තේ තරුමලී නිසා. ඒත් එක්කම ප්‍රවීණයින් එක්ක ආභාෂය ලබන්නට හැකි වුණා. එදා ඉඳලා හොඳ නිර්මාණ තෝරා බේරාගෙන රංගනයේ යෙදෙනවා.
රඟපෑමට ආවේ නැත්තම්?
උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. බැංකු ක්ෂේත්රය ගැන තමයි හිතුවෙ. රඟපෑමට ආවේ නැත්නම් බැංකු ක්ෂේත්රයේ නිරත වේවි.
දැන් කල්පනාව රංගන ක්ෂේත්රයේ දිගමට රැඳී සිටින්නද?
හොඳ නිර්මාණ හරහා මගේ දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒත් විවාහයෙන් පසුව ඒ ගමන මොන විදියට වේවිද දන්නේ නැහැ. විවාහයෙන් පසුව බොහෝ දුරට සිනමාවේ විතරක් නිරත වේවි.
සිනමා නළුවකු සමග ද දීග යන්න අදහස?
නැහැ නැහැ. එහෙම අදහසකින් නෙවෙයි කිව්වෙ. රංගනයට විතරක් කාර්ය බහුල වුණොත් පුද්ගලික ජීවිතයට තියෙන කාලය මදි වේවි. ප්‍රශ්න ඇති වන්නේ එවිටයි. එවිට පුද්ගලික ජීවිතය ගැටුම්කාරි වේවි. ඒ නිසා ඒ ස්වභාවයට මම කැමති නැහැ. ටෙලි නාට්‍ය සඳහා සෑහෙන කාලයක් වැය කරන්න සිද්ධ වෙනවා. චිත්රපටයකදී අපට නිශ්චිත නියමිත දින ගණනක් තියෙනවා. ඒ නිසයි මම එහෙම කිව්වෙ. පවුල් ජීවිතය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්.
ඔහු කිව්වොත් රඟ පෑමට සමු දෙන්න කියලා.
එහෙම කියනවා නම් මගේ කැමැත්ත ගැනත් අහල බලලනෙ කියන්නේ. එයාගේ කැමැත්තට මම ඉඩ දෙනවා වගේම මගේ කැමැත්ත ගැනත් එයා හිතන්න ඕනෑ. එයාගේ ඉල්ලීම සාධාරණ නම් ඒකට ඉඩ දීලා බලනවා. විවාහ ජීවිතය කියන්නේ සතුටින් සාර්ථකව පවුල් ජීවිතය ගත කිරීමයි.
අද දවසේ ඔබගේ ජීවිතයේ අලූත් විස්තර මොනවද?
රංගනයට අමතරව විලාසිතා පැත්තෙන් දෙයක් කරන්න ඕනෑය කියන අදහස එදා ඉඳලාම තිබුණු දෙයක්.
ඔබ විසින්ම නිර්මාණය කරන විලාසිතා ද?
ඔව්. බොහෝ දුරට උත්සව වලදී පවා මම අඳින්නෙ මා විසින්ම නිර්මාණය කර ගත් විලාසිතා.
ඒ කියන්නේ විනූ ඩිසයින්ස් ළඟදීම කරළියට ඒවි?
එහෙම තමා හිතන්නේ.
එයින් ජාත්‍යන්තරයට යන්න ද කල්පනාව?
මුලින්ම ලංකාවට ඒවා ඉල්ලූමක් තියෙනවාද බලනවා. ඊට පස්සේ ඒ ගැන හිත්නන බැරියැ.
විනූ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ හරි පරිස්සමින් කියලා යාළුවෝ කියනවා. ඒ කතාව ඇත්තද?
මගෙන් ප්‍රශ්න අහලා මාව අමාරුවෙ දාන්න කාටත් ටිකක් අමාරුවෙයි.
විනූ විනු ගැන ආඩම්බර වෙන්නේ?
මගේ පවුලේ අයට මාව ආඩම්බරයක් ලෙස දැනෙනකොට මගේ අම්මට තාත්තට දියණියක් ලෙස මා ගැන ආඩම්බරයක් ඇති වන විට මට දැනෙන්නෙත් ආඩම්බරකමක්. ඒ වගේම ක්ෂේත්රයේ ප්‍රවීණයින්ගෙන් හොඳ අහද්දී මට ලොකු සතුටක් ඇති වෙන්නේ?
විනූට තරහා යන්නේ?
නොකරපු වැරැුද්දකට නිකරුනේ කතා හැදුවොත්, නොකළ දේට කතා හැදුවොත් ටිකක් හිත සසල වෙනවා.
ඒ වගේ වෙලාවට කේන්ති ගියාම මොනවද කරන්නේ.
කතා බහ කරලා විසඳාගන්න පුළුවන් මට්ටමට එනවද කියලා බලනවා. එහෙම නැත්නම් නිහඬ වෙලා මගේ පාඩුවෙ මම ඉන්නවා.
චිත්‍ර අඳින්න හරිම දක්ෂලූ නේද?
ඔව්. එම අංශයෙන් සමස්ත ලංකා තරගවලදී ජයග්‍රහණ පවා ලබා තිබෙනවා.
අදටත් විවේකයක් ලැබුණම චිත්‍ර අඳිනවා. ඒ හැකියාව වර්ධනය කරගන්න මම ආසයි.
සටහන හා ඡායාරූප - සඳුන් ගමගේ