බල්ලෝ පූසෝ තුවාල වෙච්ච අයට අපේ ගෙදර බෙහෙත් කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1580

පූජානී භාග්‍යා යනු මේ දිනවල රූපවාහිනි ඔස්සේ නිතරම දකින්න ලැබෙන චරිතයකි. අවුරුදු කුමාරියක් ලෙස බොහෝ දෙනා දැන හැඳිනගත් ඇය, මේවන විට රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරන්නීය. පුංචි තිරය තුළ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසද ඇය හැඳින්විය හැකිය. සුරතල් සතුන් සඳහා මහත් ඇල්මක් දක්වන ඇගේ හීනය වූයේ රංගන ශිල්පිනියක් වීම නම් නොවේ. ඒ ගැන දැන ගන්න ඇගේ කතාබහ සම්පූර්ණයෙන්ම කියවන්න.

 

මේ දවස්වල මොකද වෙන්නේ?2019-05-27-ent-1584

මේ දවස්වල හිරු නාලිකාවේ සතියේ දවස් පහේම විකාශය වෙනවා ‘හුස්මක් තරමට’ කියන ටෙලි නාට්‍යය. එහි ෆියෝනාගේ චරිතය කරනවා. ඊට පස්සේ සති අන්තේ ‘ITN’ නාලිකාවේ චරිත අබේසිංහගේ ‘යං’ ටෙලිනාට්‍යය සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඊට අමතරව තව ටෙලිනාට්‍යය දෙකක රූගත කිරීම් යනවා. සනත් අබේසේකර මහත්මයාගේ ‘ගුත්තිල චිත්‍රපටයේ’ රූගත කිරීම් තියෙනවා. සිසිර හේවාගමගේ මහත්මයාගේ ‘බැක්ටු ස්කූල්’ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වෙලා තියෙනවා. ඒ වැඩ කටයුතුවලට තමයි දායක වෙලා තියෙන්නේ.

 

මුල්ම චිත්‍රපටය කොයි කාලේද?

මුලින්ම මම කලාවට එකතු වෙන්නේ අවුරුදු 12දී. ඒ සුනිල් ටී ප්‍රනාන්දු මහත්මයාගේ ‘දරුවනේ’ චිත්‍රපටය හරහා. ඒකේ මම කළේ සෙසු චරිතයක්. ඒකෙන් තමයි මම මුලින්ම කැමරාවක් ඉස්සරහට ආවේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් විදිහට ප්‍රවිෂ්ට වෙන්නේ මේ අවුරුද්දේ.

 

වර්තමාන කලාව තුළ නවකයන් අතර අභියෝග තියෙනවාද?

ඔව්. අභියෝගයක් නම් තියෙනවා. නවකයන් බොහෝමයක් ඉන්නවා. දැන් ඉන්න ගොඩක් ටෙලිනාට්‍යවල ඉන්නේ නවකයින්. ඔවුන්ට විවිධ දක්ෂතා, ඔවුන්ගේ පෙනුම විවිධයි. මම හිතනවා එක්කෙනෙක්ට එක්කෙනෙක් අභියෝගයක් කියලා.

 

පශු වෛද්‍යවරියක් වෙන්න තිබුණු හීනෙට මොකද වුණේ?

මගේ හීනයක් වුණේ පශු වෛද්‍යවරියක් වෙන්නයි. ඒක ඇති වුණේ සතුන්ට කැමැති නිසා. බල්ලෝ පූසෝ තුවාල වෙච්ච අයට අපේ ගෙදර බෙහෙත් කරනවා. දැනටත් අපේ ගෙදර බල්ලෝ 10ක් සහ පූසෝ 08 දෙනෙක් ඉන්නවා. ඒක තිබුණේ පුංචි කාලේ ඉඳන්ම. ඒක නිසයි පශු වෛද්‍යවරියක් වෙන්න ආස වුණේ. නමුත් මම විද්‍යාවට එච්චර දක්ෂ නැහැ. ඒකට දක්ෂ නැතුව පශු වෛද්‍යවරියක් වෙන්න බැහැනේ. ඒ හීනේ එහෙම්ම අතහැරලා ගියා.

 

‘අවුරුදු කුමරිය’ වුණා නේද?

ඔව්. ඒ ගිය අවුරුද්දේ වුණේ. ඒ හිරු ටීවී අවුරුදු කුමරියයි.

 

ජයග්‍රහණයට හේතුව වුණේ වාසනාවද?

රූපයත් බලපානවා. මගේ උසත්, මගේ ඇඟත් මට වාසියක් වෙන්න ඇති. ඒවගේම මගේ හිනාව. මම ඕනම තැනක හිනා වෙලා ඉන්න කෙනෙක්. ඒවගේම තමයි දක්ෂකම. මම කොයිවෙලෙත් පස්සට යන කෙනෙක් නෙමෙයි.

 

නිරූපණය අතහැරලද?

නිරූපණය පැත්තට මම වැඩිපුර ගියේ නැහැ. මම රෑම්ප් මොඩල් කරලා තියෙන්නේ දෙපාරක් විතරයි. ඒ පැත්තට මට යන්න බැරි මගේ සීමාවල් තියෙන නිසා. මම දැන් රංගන ක්ෂෙත්‍රයේ තමයි වැඩකටයුතු කරන්නේ. හිරු එකෙන් පස්සේ වෙළෙඳ දැන්වීම් කිහිපයකට සහභාගි වුණා. මැලිබන්, HSBC, ගෝල්ඩන් ටච්, සතොස වැනි වෙළෙඳ දැන්වීම් ගොඩක් සඳහා දායක වුණා. මියුසික් වීඩියෝවල කන්නගී, රූ අංගනා, එක මොහොතක් වගේ ගීත වලට දායක වුණා.

 

වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා නම් ගොඩක් එනවා ඇති නේද?

වෙළෙඳ දැන්වීම් නම් කිහිපයක් කළා ළඟදී. මම හැම වෙළෙඳ දැන්වීමක්ම කරන්න භාර ගන්නේ නැහැ. හැම වෙළෙඳ දැන්වීමකම පෙනී ඉන්න ගියොත් අපි වැඩක් නැති වෙන්න පුළුවන්. වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ තෝරගද්දී කරන්නේ තමන්ට හොඳටම වාසියක් වෙන විදිහට හොඳ දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

කලාවට කවුද ඔයාව යොමු කළේ?

මම කලාවට එකතු වෙන්න ඕනේ කියලා අම්මගේ හීනයක් තිබුණා. තාත්තාගෙන් නම් මට අවස්ථාවක් හම්බුණේ නැහැ. එයාගේ අකමැත්තෙන් තමයි මම ක්ෂේත්‍රයට ආවේ. මේ ක්ෂේත්‍රයේ වෙන දේවල් එක්ක දෙමව්පියන් බයයිනේ මේ ක්ෂේත්‍රයට එවන්න.

 

දෙමාපියන් මේ ක්ෂේත්‍රයට බය ඇයි?

ඒ අයට මාව අවිශ්වාසයක් නෙමෙයි. මට තැනකට ගිහිල්ලා පරිසම්වෙලා වැඩේ කරන්න පුළුවන් කියන එක දන්නවා. නමුත් මේ ක්ෂේත්‍රයේ යද්දී එක කට කතාවක් හැදුනොත් ඇති. එතනින් එහාට දිගටම ඒක තමයි. මම කැමැති නැහැ මගේ නම කැත කරගෙන ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න. මට වේගයෙන් ගමනක් යන්න ඕනේ නැහැ. හිමින් හිමින් යන ගමනක් ඇති හරියට. ඒ නිසා තමයි දෙමාපියන් ගොඩක් බය.

 

දැන් කලාවට ලැබෙන සහයෝගය කොහොමද?

මේ දවස්වල අම්මා තමයි නිතරම පස්සෙන් යන්නේ. මට නංගිලා දෙන්නෙකුත් ඉන්නවා. ඒඅයට මේ අවුරද්දේ සා.පෙළ විභාගය.අම්මට ටිකක් අමාරුයි. මොකද ඒ අයව පන්ති යවන්න ඕනේ, ගෙදර වැඩ කරන්න ඕනේ. දැන් ගෙදර උයන්න වෙනම කෙනෙකුත් අරගෙන ඉන්නේ. මොකද අම්මට වැඩ ටික කර ගන්න බැරි නිසා. තාත්තත් ඉන්නවා. අම්මට උයන්න කරන්න වෙලාවක් නැහැ මාත් එක්ක යන නිසා. ඒක නිසා අම්මගේ සහයෝගය තමයි හැම තිස්සෙම තියෙන්නේ.

 

පාසල් කාලයේදී කලාවට යොමු වුණේ නැද්ද?

අවුරුදු දොළහෙන් පස්සේ කලා නිර්මාණවලට යොමු වුණේ නැහැ. මොකද අපිට පාසලෙන් ඒ දේවල්වලට අවසර ලැබුණේ නැහැ. ඒ හින්දා පාසල් කාලේ මම සම්පූර්ණයෙන් කලේ ක්‍රීඩා. මම අව්වේ පිට්ටනියේම හිටපු කෙනෙක්. මම නොකරපු ක්‍රීඩාවක් නැහැ. ක්‍රීඩා උත්වසයේදීම මම හැම ක්‍රීඩාවක්ම කළා. මම වැඩියෙන් දක්ෂ දැල්පන්දුවලට. මම ඒකේ කැප්ටන්. පාසලේ කලර් නයිට් එකේ දක්ෂතම ක්‍රීඩිකාව. ක්‍රීඩා උත්සවවලත් සම ශූරතාව දැල්පන්දු දක්ෂතම ක්‍රීඩිකාව, තුන්ඉරියව් දක්ෂතම ක්‍රීඩිකාව, ඊට අමතරව ඇරබික් ජිම්නාස්ටික් කළා. පාසලෙන් ඉවත් වෙද්දී ප්‍රධාන ක්‍රීඩා නායිකාව වෙලා හිටියා. ඒවගේම පාසලේ පෙරදිග සංගීත කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළා. ඒ වගේම නාට්‍යය සංගමයේ හිටියා. වාණිජ අංශයෙන් මම උසස් පෙළ කළේ. එම සංගම්වල හිටියා. පාසලේ මම කැපී පෙනෙන තරුවක්. සා.පෙ. දක්වා වෙනකම් මම ශිෂ්‍යනායිකාව ලෙස කටයුතු කළා. මගේ නම පාසලේ ඕනම කෙනෙක් දන්නවා.

 

ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු?

මට දැල් විනිශ්චයකාරිනියක් වෙන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. පාසල් යන කාලේ මම දැල්පන්දු ක්‍රීඩිකාවක්. මේ ක්ෂේත්‍රයට එනවත් එක්ක මට ඒ දේවල් මග හැරුණා. බලාපොරොත්තුවක් තියෙනවා ඒ මිස් වෙච්ච දේවල් ගන්න. කාර්ය බහුලත්වයත් එක්ක ඒ දේ කර ගන්න අපහසු වෙයි කියලත් හිතෙනවා. නමුත් කොහොමහරි ඒ විභාග කරලා ඒ හීනයට යන්න බලාපොරොත්තු වෙනවා.

 

හැඩගැන්වීම - සංජු වික්‍රමසිංහ (සැලොන් සංජු)

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2019-05-27-ent-1579  2019-05-27-ent-1581 2019-05-27-ent-1582 2019-05-27-ent-1583