ප්රසිද්ධවීම වාසනාවක් වගේම භයානක දෙයක්
මෙයාගෙ නම ඖෂානි රත්නායක. දැන්වීම් නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට ආ ඇය ගැන වැඩි දෙනා මේ දිනවල කතා වන්නේ සිංහ එන්ටර්ටේන්මන්ට් ගෙන එන සඳුන් රාජකරුණාගේ තෝඩු නිසයි. එහි ‘අමා’ වූ ඖෂානි මෙවර සඳැල්ල කතාබහ හැඩ කළේ මේ විදියටයි.
මුලින්ම මට නම දාලා තියෙන්නෙ ඖමුදි කියලා. පස්සෙ ඒක වෙනස් කරලා අම්මයි තාත්තායි ඖෂානි කිව්වා.
ඖෂානි කිව්වාම?
ඉක්මනට හිත උණුවෙන, හරිම පරිත්යාගශීලිී, අනුන්ට උදව් කරන්න කැමැති, ඒ වගේම හරිම දඟකාර චරිතයක්.
ඖෂානිගෙ ගම?
ශ්‍රී ජයවර්ධනපුරදි උපන්නේ.
පවුලේ විස්තර කිව්වොත්?
පවුලේ එකම දරුවා මම. අම්මයි, තාත්තයි, ආච්චි අම්මයි, මමයි තව සුරතල් බලූ පැටියකුත් ඉන්නවා.
කොහොමද ‘තෝඩු’ නාට්‍යයේ ‘අමා’ වුණේ?
ඒක ඇත්තටම අහම්බයක්. දවසක් බෙල්ලන්විල උද්‍යානයේ සිටියදී ලලිත් වසන්ත සර් මාව දැකලා තියෙනවා. සිංහ එන්ටර්ටේන්මන්ට් ආයතනයට මාව හඳුන්වා දුන්නෙත් එතුමා.
වෘත්තිය හැටියට කරන්නෙ රඟපෑම ද?
අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතරේ රංගන කටයුතුවලත් යෙදෙනවා. සේජීස් සරසවියේ උසස් අධ්‍යාපනය ලබන අතරේ මේ විදියට රංගනයෙත් යෙදෙවා.
මේ ඔබ දායක වන පළමු රංගනය ද?
ඔව්.
කොහොම ද ඒ අත්දැකීම?
කලා ක්ෂේත්රයේදී මුලින්ම මට උදව් කළේ ප්‍රියන්ත ආරියදාස මහතා. පසුව ලලිත් සර් මේ අවස්ථාව ලබා දුන්නාම මට රඟපාන්න ලැබුණෙ ප්‍රවීණයන් සමගයි. ඒ ප්‍රවීණයන් හරි හොඳයි. හැබැයි කැමරාව ඉදිරියට යන එක ගැන මට බයක් තිබුණෙ නැහැ. මම ඉගෙන ගත්තෙ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයෙන්. එහි සිට සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. එහිදී නාට්‍ය සහ රංග කලා අංශයේ වැඩවලට දායක වීම නිසා යම් කිසි ආභාෂයක් ලබාගෙන හිටියෙ. ඇත්තම කිව්වොත් පොඩි කාලයේ ඉඳලාම කලා අංශයේ හැකියාව තිබෙන බව කියන්න පුළුවනි.
මේ නාට්‍යයේ මුලින්ම මට කරන්න තිබුණෙ ගැරේජ් ආයතනයක හිමිකරු වන මගේ තාත්තා එක්ක කතා බහ කරමින් සිටියදී, ධනුක නමැති තරුණයා එතැනට එනවා. එතැන සිට ඔහු සමග පේ‍්‍රමයක් පටන් ගන්නවා. තෝඩු නාට්‍යයේ මගේ චරිතය පටන් ගන්නෙ එතැනින්.
මේ හැර තවත් චරිත රඟපානව ද?
මේ එක්කම තවත් චරිතවලට ආරාධනා ලැබුණා. ඒත් දැනට මම ගිවිසුම් ගතව සිටින්නෙ සිංහ එන්ටර්ටේන්මන්ට් එක්ක විතරයි.
රඟපෑම ගැන හිතන්නෙ කොහොම ද?
ඇත්තම කිව්වොත් රඟපෑමට මම හරිම ආසයි. ප්‍රවීණයන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්න පුළුවනි. රංගනය කියන්නෙ හරි අපූරු කලාවක්.
ඇත්තටම ඇයි කලාවට එන්න හිතුවෙ?
මට හිතෙන විදියට පෙර භවයේ සිටම ගෙන එන දෙයක් වෙන්න ඇති. දෙවියන් මට දුන් වාසනාවක් කියලයි මට හිතෙන්නෙ. මුලින්ම කලාවට එන විට මගේ වයස 16 යි. දැන් මගේ වයස අවුරුදු 17 යි.
කලා ක්ෂේත්රයේ ජනප්‍රිය චරිත වෙද්දී බොහෝ දෙනා ගැන විවිධ කටකතා පැතිරෙනවා. ඒ වගේ දේ ගැන අහන්න ලැබෙනවා. එවැනි වටපිටාවකදි කලා ක්ෂේත්රයට එන්න චකිතයක් ඇති වුණේ නැද්ද?
ඇත්තටම ප්‍රසිද්ධ වීම එක්තරා විදියක භයානක දෙයක්. පොඩි වැරැුද්දක් වුණත්, සමාජය ඒ ගැන කතා වෙනවා. ප්‍රසිද්ධ වීම, ජනප්‍රිය වීම වාසනාවක් වගේම එය රැුක ගැනීමත් අපේ අතේ තියෙන දෙයක්. ප්‍රසිද්ධිය කියන දේ අපි තේරුම් ගන්න ඕනෑ. ඉතා ඉක්මනට ඕනෑම දෙයක් කරලා ජනප්‍රිය වෙන්න මට ඕනෑ නැහැ. ජනප්‍රියත්වය තේරුම් අරගෙන ජීවත් වුණොත් ප්‍රශ්න එන්නෙ නැහැ. ඒ මොන දේ වුණත් මිනිස්සුන්ගෙ ආදරය ලබන එක නම් වාසනාවක්.
ඖෂානිගෙ අරමුණ දිගටම කලාවෙ ඉන්න ද?
අධ්‍යාපන කටයුතු හොඳින් කරලා ක්ෂේත්රයටත් හොඳ දෙයක් කරගෙන, මගේම ව්‍යාපාරයක් කරන්න කැමැතියි.
එකම දරුවා නිසා, රඟපෑමට එනවට මව්පියන් අකැමැති වුණේ නැද්ද?
අපේ අම්මා, තාත්තා පටු අදහස් තියෙන අය නෙවෙයි. මගේ හැකියාව හොඳින් තේරුම් ගෙන සිටින්නේ. මට කවදාවත් ඉංජිනේරුවකු වෙන්න, වෛද්‍යවරයකු වෙන්න කියලා කිව්වේ නැහැ. හැකියාවෙන් හොඳ දෙයක් කරන්න කියලා තමයි කිව්වෙ.
රඟපෑමට විතර ද දක්ෂ?
සිංදු කියන්න සහ නර්තනයටත් දක්ෂයි කියලා හිතෙනවා. ඒ වගේම අත්කම් නිර්මාණ කරන්නත් මැහුම්, ගෙතුම්වලටත් දක්ෂයි. රසට උයන්නත් පුළුවනි. ගමේ විදියට වගේම නවීන පන්නයේ වට්ටෝරු අනුවත් මට රසට උයන්න පුළුවනි.
අම්මා තාත්තා මොනව ද කරන්නෙ?
තාත්තා මධුර දේශප්‍රිය. අම්මා ශිරානි හේමමාලා. තාත්තා ව්‍යාපාරිකයෙක්.
ඖෂානිට වාහන පදින්නත් හොඳට පුළුවන්ලූ නේද?
තාත්තාගෙ ව්‍යාපාරය වාහනවලට සම්බන්ධ නිසා, පොඩි කාලයේ ඉඳලාම ඒ පරිසරයේ සිටියේ. රථයක ඕනෑම අමතර කොටසක් ගැන මම දන්නවා. වාහන පදවන්නත් හරිම කැමැතියි.
‘තෝඩු’ පෙම්වතා ගැන කිව්වොත්?
එයාගෙ නම චමීර ලියනගේ. මට අමාගෙ චරිතය කරන්න චමීර ගොඩාක් උදව් කළා. ධනුක සහ අමාගේ පේ‍්‍රමය අමුතුම එකක්.
එතකොට ඖෂානිගෙ පේ‍්‍රමය?
තවම මට වයස අවුරුදු 17 යි. ආදරය කියන්නෙ හරිම බුද්ධිමත්ව කළ යුතු දෙයක්. නිසි වයස ආවාම මටත් ආදරයක් ලැබේවි. අද මගේ ආදරේ මගේ අම්මා, තාත්තා, ආච්චි, බලූ පැටියා සහ කලාවටයි.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ