පෞද්ගලික ජීවිතේ බලලා මාව විවෙචනය කරන්න එපා
වර්තමානවේ සිටින ජනප්‍රියත්ම නිළියන් අතළොස්සේ සිටින වොල්ගා කල්පනි මේ වනවිට විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබේ. පසුගිය කාලයේ නොයෙකුත් මාධ්‍යයන් ඔස්සේ නිතරම කතාබහට ලක්වූ ඇය ගෙවුනු වසරේ නැගී එන හොඳම නිළිය ලෙසද සම්මාන දිනාගැනිමට සමත් වද තිබුණි.
ගෙවුණු වසර ගැන නිළියක් විදිහට ඔබ තෘප්තිමත්ද?
රංගන ශිල්පිනියක් විදිහට ගෙවුණු වසර විතරක් නෙවෙයි, මම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වුණදා සිට මේ දක්වා ගෙවුණු සැම වසරකම් මට වාසනාවන්ත වුණා කිව්වොත් හරි. පසුගිය 2018 වසර මට ගොඩක්ම විශේෂ වසරක්. ඊට හේතුව මට හොඳම නැගි එන නිළිය සම්මානය ලැබීම. මොකද, වසර කිහිපයක් තිස්සේ මම සම්මානවලට නිර්දේශ වුණා පමණයි. සම්මානයක් ලබන්න කාලයක ඉඳලා මගේ හිතේ ලොකු හීනයක් තිබුණා. ඒ හීනය ගිය වසරේදි සඵල වීම ලොකු සතුටක්.
පසුගිය කාලයේ ඔබගේ පෞද්ගලික ජීවිතය අළලා විවිධ කට කතා ඇති වුණා නේද?
මේක ලංකාවනේ. ලංකාවෙ මිනිස්සු දිව හැරෙන හැරෙන පැත්තට කතා හදනවා නේ. බොහොම නිහඬව මේ හැම දෙයක්ම මම භාර ගන්නවා. ඒ සම්බන්ධව උත්තර බඳින්න ගියොත්, ඔය තියන ප්‍රශ්න තව තවත් දුරදිග යනවා. එතකොට ඔය කාරණා සම්බන්ධව කතා කළ මාධ්‍යයන්ට තවත් දේවල් පළ කරලා වෙළෙඳ වටිනාකමක් ලබාගන්න පුළුවන්. අන්න ඒ කාරණා නිසා තමයි මම මේ ප්‍රශ්නෙදි නිහඬව ඉන්න තීරණය කළේ.
නිහඬව සිටීම හරහා වොල්ගාට යම් පාඩුවක් සිදුවුණා වගේ කියලා හිතෙන්නේ නැද්ද?
මම හැමදාම කියන දෙයක් තමයි වොල්ගා කල්පනී කියන රංගන ශිල්පිනියට පමණක් ආදරය කරන්න. එයාගේ නිර්මාණ රසවිඳින්න. ඒවාට ප්‍රතිචාර දක්වන්න කියන දේ. එහෙම නැතිව මගේ පෞද්ගලික ජීවිතේ දිහා බලලා මාව විවේචනය කරන්න යන්න එපා. මගේ තාත්තා මට පොඩි කාලේ ඉඳලා කියලා දුන්න දෙයක් තමයි මිනිස්සු කියයි, ඔයාට ඒවා වැඩක් නැහැ. ඔයා ඒවාට ප්‍රතිචාර දක්වන්නේ නැතිව ඉන්න. ඔයා දන්නවානේ ඔයා කවුද කියලා. මිනිස්සු ගොඩක් කතන්දර කිව්වා මට. මම ඒ හැම දෙයක්ම හිනාවෙලා සතුටින් භාරගත්තා. ඒ වගේම තමයි මම තාම බලාගෙන ඉන්නවා මිනිස්සු කියන දේවල්. මට ඒ දේවල්වලට උත්තර දෙන්නවත්, අමතර ප්‍රසිද්ධියක් ගන්නවත් අවශ්‍යතාවයක් නැහැ. මොකද, මම කලා ක්ෂේත්‍රයට ආපුදා ඉඳලා අද වනතෙක් මා වටා මට ආදරය කරන රසික පිරිසක් ඉන්නවා. ඒ ටික මට හොඳටම ඇති.
මේ සිදුවීම් හරහා වොල්ගාගේ ජනප්‍රියත්වය ඉහළගිය බවක් දකින්නට ලැබෙනවා?
මෙහෙමයි. ලංකාවෙ සාමාන්‍යයෙන් ඔපාදූපයක් ගියොත් මිනිස්සු ඒ ගැන කතා කරන්න ගන්නවනේ. හැබැයි මට දැනුණ දෙයක් තමයි මා වටා සිටින රසික පිරිස මේ සම්බන්ධව කිසි දෙයක් මාත් එක්ක කතා කළේ නැහැ. ඒ වගේම තමයි කවුරුත් මාත් එක්ක අමනාප වුණේවත්, මට ආදරය කරන එක නැවැත්තුවෙත් නැහැ. මම හිතනවා මම මේ කාරණයට ප්‍රතිචාර දක්වපු විදිහ අනුව ඒ දේවල් සිදුවුණාද කියලා. මම දන්නේ නැහැ මගේ ජනප්‍රියත්වය මේ කාරණය නිසා ඉහළ ගියාද පහළ ගියදා කියලා. හැබැයි එක දෙයක් කියන්න ඕනි, මම මේ ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා අද වනතෙක් මට ලැබුණ ජනප්‍රියත්වය එක දශමයකින් හෝ අඩුවෙලා නැහැ කියලා මට හිතෙනවා. ලංකාවෙ වර්ගීකරණය වී සිටින ජනප්‍රිය නිළියන් මුල් දසදෙනා අතර හැමදාම මම ඉන්නවා. මම හිතනවා ඒක මගේ වාසනාවක් කියලා.
මේ දිනවල වොල්ගාව අපිට දකින්න ලැබෙන්නේ?
ස්වර්ණවාහිනි නාළිකාවේ ‘ජෝඩු ගෙදර’ ටෙලි නාට්‍යයේ ‘වොල්ගා’ විදිහට මාව දකින්න පුළුවන්. ඊට අමතරව පසුගිය වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය වුණ සියත නාළිකාවේ විකාශය වන ‘අපේ ආදරේ’ ටෙලි නාට්‍යයේ ‘ආත්මා’ කියන චරිතය හරහාත් මාව මේ දිනවල දකින්න පුළුවන්. ඊට අමතරව පසුගිය දිනවල සුදත් දේවප්‍රිය මහත්මයාගේ ‘සුළඟ මහ මෙර’ කියලා අලුත් ටෙලි නාට්‍යයක වැඩ කළා. ඒ එක්කම මේ දවස්වල ජයප්‍රකාහ් ශීවගුරුනාදන්ගේ අලුත් ටෙලියකට සම්බන්ධ වෙලා වැඩ කරනවා.
බුද්ධික සේනාධීර