'පොඩි පත්තරකාරී' චරිතය ගොඩක් අය ආදරයෙන් වැලඳ ගත්තා
‘පොඩිපත්තරකාරී’ ලෙස ප්‍රේක්ෂකයන්ගේ සිත් දිනාගත් ඇය රංගනයට පිවිස ගත වන්නේ වසරක පමණ කාලයකි. ඒ කාලය තුළ නිර්මාණ කිහිපයකටම දායක වූ මිෂෙල් දිල්හාරා නම් ඇය මෙවර ‘තරුණයා’ කවරය සරසන්නීය. මේ කතාබහ ඇය සමගිනි.
ඔබ රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට පිවිස වසරක පමණ කාලයක් ගත වෙන්නවා. ඒ කාලය තුළ දායක වූ නිර්මාණ ගැන මුලින්ම කතා කළොත්? මම මුලින්ම දායක වුණේ සුසිල ආයතනය නිෂ්පාදනය කළ නාලන් මෙන්ඩිස් සර් අධ්‍යක්ෂණය කරන ‘සල් සපුනා’ ටෙලි නාට්‍යයට. නාලන් සර්ට හා සන්ධ්‍යා මැඩම්ට ස්තුති කරන්න ඕන. එතනින් තමයි මම රංගන ශිල්පිනියක් ලෙස නිර්මාණවලට දායක වෙන්නේ. ඉන් පසුව සංජය නිර්මාල් සර්ගේ ‘ඒමි’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට දායක වෙන්න හැකියාව ලැබුණා. ඉන්පසු ‘පූරි’ ටෙලි නාට්‍යය, ‘තුත්තිරි’ ටෙලි නාට්‍යය, ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ හා සමන් කුමාර ලියනගේ සර්ගේ ‘පිච්චමල සුවඳයි’ ටෙලි නාට්‍යයෙත් රෑගත කිරීම්වලට සම්බන්ධ වුණා. ඒ වගේම වෙළෙඳ දැන්වීමකටත් දායක වෙන්න හැකියාව ලැබුණා.
මේ වනවිට විකාශය වූ ටෙලි නිර්මාණවලින් ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙබඳුද?
ගොඩක්ම ප්‍රේක්ෂකයන් මාව හඳුනාගත්තේ මම රංගනයෙන් දායක වූ ‘සල්සපුනා’ ටෙලි නාට්‍යය තුළින්. එහි ‘පොඩි පත්තරකාරී’ චරිතය ගොඩක් අය ආදරයෙන් වැලඳ ගත්තා. ඒ වගේම මම දායක වූ මැලිබන් වෙළෙඳ දැන්වීමට හොඳ ප්‍රතිචාර ලැබුණා. මට වැඩිපුරම ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර ලැබෙන්නේ ෆේස්බුක් ජාලය හරහා. ලැබෙන ප්‍රතිචාර ගැන මම ගොඩක් සතුටු වෙනවා.
පසුගිය කාලයේ දී ‘සිඳූ’ ටෙලි නාට්‍යයටත් ඔබ දායක වුණා. එහි ඔබ දායක වුණේ වෙනස්ම චරිතයකට?
එහි සුරංගනාවියකගේ චරිතයකට තමයි මට දායක වෙන්න ලැබුණේ. ඒ තුළිනුත් ප්‍රේක්ෂකයන් අතරට මට යන්න හැකියාව ලැබුණා. ‘සිඳූ’ ටෙලි නාට්‍යයේ හා ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලි නාට්‍ය හා ‘සල් සපුනා’ යන නාට්‍යවල රූගත කිරීම්වල තිබුණු අපහසුතාව නිසාම තමයි ‘සිඳූ’ ටෙලි නාට්‍යයට රංගනයෙන් වැඩි වශයෙන් දායක නොවුණේ.
ඔබ පසුගිය වසරේ උපන්දිනය සැමරූ ආකාරය ගැන සමාජජාලා තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වුණා?
මගේ උපන්දිනය යෙදී තිබෙන්නේ මැයි මාසේ. ඉතින් පසුගිය වසරේ මගේ විසිඑක් වන උපන්දිනය දිනය වෙනුවෙන් ළමා නිවාසේ ළමයින් පහළොස් දෙනෙක් ‘සිනමන් ග්රූන්ඩ්’ හොටෙල් එකට මම එක්ක ගියා. ඔවුන්ට විනෝද වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. එය විවේචනය කරන්නත් බොහෝ දෙනෙක් යොමුව තිබුණා. ඒ කළ කටයුත්ත ගැන හොඳ දේවලුත් සඳහන් කරලා තිබ්බා. ඒ අතර බුද්දදාස ගලප්පත්ති සර් ඒ කටයුත්ත අගය කරලා තිබුණා. එතුමා ‘එදවස සොඳුරුමය’ කියන ග්‍රන්ථයෙත් ඒ ගැන සඳහන් කරලා තිබුණා. ඒ නිසාම ඊට වඩා දෙයක් කරන්න මට දිරිගැන්වීමක් වුණා. ඒ නිසා මම මෙවර සමාජයට හොඳ දෙයක් කරන්න තමයි මම බලාපොරොත්තු වුණේ. මම මෙවර මගේ උපන්දිනය නිමිත්තෙන් මීගමුවේ ශාන්ත ස්වාමීන් වහන්සේගේ උපකාර පන්තිවලට සහභාගි වන ළමයින් සම්බන්ධ කරගෙන පවුල් දෙසීයක් සඳහා හාල් කිලෝ දාහක ප්‍රමාණයක් ලබාදෙන්න අපි මෙවර කටයුතු කරන්න හිතාගෙන ඉන්නවා. මේ සියලු දානමය කටයුතු සිදුවන්නේ පින්න කැලේ වත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති පියදස්සි හිමියන්ගේ ආශිර්වාදය ඇතිව. මෙයට දායක වෙන්නේ මගේ වයසෙම ළමයි. එයට දායක වන සියලු දෙනාටම ස්තුති වන්ත විය යුතුයි.
උපන්දිනය වෙනුවෙන් මෙවැනි කටයුතු සිදුකිරීමේ අපේක්ෂාව මොකක්ද?
අනෙක් අයටත් ආදර්ශයක් වෙන කටයුත්තක් තමයි මට කරන්න අවශ්‍ය වුණේ. මගේ වයසේ අයව සම්බන්ධ කරගෙන හොඳ දෙයක් කරන්න මට අවශ්‍යය. කලාකරුවෙක් ලෙස සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න තමයි කටයුතු කළ යුත්තේ. ලොකු පාටි අරගෙන විනෝද වෙනවට වඩා, මෙවැනි දේයක් වඩා හොඳයි කියලා මට හිතෙනවා. මට අවශ්‍ය තවත් එක් රංගන ශිල්පිනික් නොවී, සමාජ වගකීමක් තිබෙන රංගන ශිල්පිනියක් වෙන්න. ඒ අරමුණ එක්ක තමයි මම මේ දේවල් සිදුකරන්නේ. මේ කටයුත්ත මැයි මස 06 වැනිදා නියමිතව තිබෙන්නේ. හැකි අයට දායක වෙන්න කියලා මම ආරාධනා කරනවා.
ඉදිරියේදිත් ටෙලි නාට්‍යය නිර්මාණවලට වැඩි ඉඩක් ලබාදීමටද අපේක්ෂා කරන්නේ?
මම දායක වූ ‘පුරි’ හා සුදු ඇඳගෙන කළු ඇවිදින්’, ‘ඒමී’ යන ටෙලි නාට්‍යය විකාශය වීමට නියමිතයි. ටෙලි නාට්‍යයට වගේම, චිත්‍රපටවලටත් වැඩි ඉඩක් ලබාදෙන්න මම හිතනවා. මේ වනවිට සංජය නිර්මාල් සර්ගේ චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තිබෙනවා. සිනමාව කියන්නේ ටෙලි නාට්‍යවලට වඩා වෙනස් ගැඹුරු විෂයක්. මම මේ ක්ෂේත්රයට ඇවිත් කෙටි කාලයක් වෙන්නේ. මට මේ තුළ ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. තවමත් මේ ගැන බොහෝ දේවල් ඉගෙන ගනිමින් සිටින්නේ. මම දායක වූ නිර්මාණවල ශිල්පීනුත් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. සිනමාව ගැන මේ වනවිට ඉගෙන ගනිමින් සිටිනවා. ඒ වගේම සංජය නිර්මාල් සර්ගෙනුත් සිනමාව ගැන ඉගෙන ගන්නවා. ඉදිරියේ දී සිනමාව තුළත් රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
නිදුක් මදුෂික / ඡායාරූප මිහිර බණ්ඩාර