පොඩි කාලේ ඉදන්ම නර්තනයට ආදරේ කළා
රංගනයෙන් සහ නර්තනයෙන් දස්කම් පාන ඇය නමින් හිමාලි හේරත්ය. ක්ෂේත්‍රයේ නවකයෙකු ලෙස කටයුතු කරන ඇය ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.
මුලින්ම ඔයා හඳුන්වා දුන්නොත්?
මගේ නම හිමාලි හේරත්. පදිංචිය බණ්ඩාරවෙල. දැනට අධ්‍යාපන කටයුතු එක්කම නර්තන ශිල්පිනියක හා නවක රංගන ශිල්පිනියක විදිහට කටයුතු කරනවා.
කොයි කාලේද කලාවට එකතු වුණේ?
පොඩි කාලේ ඉදලම නර්තන විෂය හැදෑරුවා. උසස්පෙළට නර්තනයට අමතරව නාට්‍ය හා රංගකලාව විෂයත් හැදෑරුවා. නර්තන කෂේත්‍රයට ඇවිත් අවුරුදු 6ක් වෙනවා. රංගනයට නම් තාම අලුත්.
මේ ක්ෂේත්‍රය තෝර ගන්න විශේෂ හේතුවක් තිබුණද ?
පොඩි කාලේ ඉදන්ම නර්තනයට ආදරේ කළා. නර්තනය කියන්නේ ලෝක භාෂාවක්. නර්තනයක් රසවිඳින්න භාෂාව දැනගෙන ඉන්න ඕන නෑ. රංගනය කියන්නේ හැඟුම් සමුදායක එකතුවක්. ඉතින් මම ඒ හැමදේකටම ආදරේ කළා. මම මාව විඳිනවා. ඒ වින්දනය එක්කම මම මේ දේ තෝරගත්තා මට ගැළපෙන දේ කියලා.
ඔයාට ගැළපෙන දේට ගෙදරින් ලැබුණු සහයෝගය?
මම පාසල් කාලේ ඉඳන්ම නර්තනයට යොමු වෙලා හිටියේ. මීට අමතරව මම මෙරට කාන්තා රග්බි ක්‍රීඩිකාවක් විදියටත් කටයුතු කළා. දැන් ලංකාවේ වයසින් අඩුම කාන්තා රගර් පුහුණුකාරිනියක විදිහට කටයුතු කරනවා. මේ හැම දේකටම අම්මාගෙන් වගේම සහහෝදර සහෝදරියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මොන දේ වුණත් ඒක අම්මට කිව්වම එයාගේ දිරිගැන්වීමත් එක්ක අමුතුම පණක් එනවා.
කාර්යයන් කිහිපයක් තුළම නියැළෙන නිසා කාල වේලාව පිළිබඳ ලොකු ගැටලුවක් එනවා නේද?
කෙනෙකුට දෙයක් කරන්න ඕනි කියලා දැනුනොත් ඒ වෙනුවෙන් කාලය හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයි. මම හැමදේම කරන්නේ මගේම කාලසටහනකට අනුවයි. කොච්චර මහන්සි වෙලා ආවත් නිදාගන්න කලින් පොතක් කියවන එකත් මගේ පුරුද්දක්.
ඉදිරි බලාපොරොත්තු ගැන කිවුවොත්?
අරුමවන්ති නාට්‍යයෙන් පස්සෙ තව නාට්‍යවලට ඇරයුම් ආවා. ඒත් නර්තනයට මුල්තැන දෙන නිසා ඒවා පස්සට දැම්මා. නමුත් තවත් අලුත් නාට්‍යයක් පටන් ගන්නයි සූදානම. ඒ වගේම ජයසේකර අපෝන්සු මහත්මයාගේ තටු වේදිකා නාට්‍යයේ වැඩකටයුතු එක්කම නර්තන කටයුතු කරගෙන යනවා. ඉදිරි බලාපොරොත්තුව ලංකාවේ නම මුළු ලෝකයටම අරගෙන යන එකයි.
අවසාන වශයෙන්, මේ තරම් සාර්ථක ගමනක් පිටිපස්සේ හිටපු අය ගැන කිව්වොත්?
මුලින්ම අම්මා නංගි මල්ලි. මගේ ලොකුම ශක්තිය. පවුලේ අය වගේම පාසලේ ගුරුවරු. අමතක කරන්නම බෑ. ජගත් සර් ඉනෝකා ටීචර මගේ දෙවැනි දෙමව්පියෝ. නර්තන කෂේත්‍රයට ආවේ ප්‍රශාදි මිස්ගෙන්. ගයාන් ශ්‍රීමාල් සර් මගේ තාත්තා වගේ ගුරුහරුකම් දීලා මේ ක්ෂේත්‍රයේ ඉදිරියට එක්කන් එනවා. ඊට අමතරව නාලක අයියා හසි අක්කා සජි අක්කා ඉසුරි අක්කා කෞශි අක්කා මතක් කරන්න ඕනිමයි. නම් කියන්න අමතක වුණ ගොඩක් අය ඉන්නවා. වචනෙන් හරි උදව් කරන හැමෝම මගේ මේ ගමන පිටිපස්සේ ඉන්නවා.
Dilan Chryshantha