පේ‍්‍රමය ගැන හිතන්නට තරම් තවම වයසක් නැහැ
ජනිතා පෙරේරා වන මේ රුවැත්තිය පදිංචිව සිටින්නෙ ඕස්ටේ්රලියාවේ. ගණකාධිකරණ අංශයේ උපාධිධාරිනියක වන ජනිතා ටෙලි තිරයට එක්වූ අලූත්ම රුවැත්තියයි. සඳරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කළ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘නිරාශා’ ටෙලි මාලාවේ චරිතයක් සමග එලෙසින් හමුවන ජනිතා සඳැල්ල සමග පිළිසඳරකට එක්වුණේ මේ විදියටයි.
මම ජීවත්වන්නේ ඕස්ටේ්රලියාවෙ. රැකියාවක් කරන අතරේ චාටඞ් ගණකාධිකරණ අංශයේ උපාධිය හදාරනවා. පවුලේ අම්මා තාත්තා සහ මට ඉන්නෙ එක නැගණියක් විතරයි. තාත්තා ඉංජිනේරුවරයෙක්. අම්මා හෙදියක්. නංගි පාසල් අධ්‍යාපනය ලබනවා. වයස අවුරුදු 11 දක්වා මම හිටියෙ ලංකාවේ. හය වසර දක්වා ඉගෙන ගත්තෙ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. අපි ජීවත්වෙන්නෙ ඕස්ටේ්රලියාවේ ඇඩිලේඞ් නගරයේ. එහේ ජීවත් වුණත් අපි හිතින් ඉන්නෙ ලංකාවේ. මෙහි නිර්මාණය වන නාට්‍ය සහ අනෙකුත් කලා නිර්මාණ අපි නිරන්තරයෙන් නරඹනවා. ගීත අහනවා. ඒ බැඳීම අපට තියෙනවා. ඒත් කලා අංශයේ වැඩවලට දායකවීමේ අවස්ථා නම් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා නිරාශා නාට්‍යයේ රඟපෑමට ලැබුණු මේ අවස්ථාව ගැන හරිම සතුටුයි.
කොහොමද ඔබට ඒ අවස්ථාව ලැබුණෙ?
නිරාශා නිෂ්පාදනය කළේ අසිත රොහාන් සහ ප්‍රදීප් ජයවීරයි. ඔවුන් තමයි සඳරුවන් ජයවික්‍රම මහතාට මාව හඳුන්වා දුන්නෙ. ඒ වගේම ක්‍රිෂාන්ති නැන්දාගේ නම සඳහන් කළ යුතුමයි. එයා තමයි මේ මාර්ගයට මාව යොමු කළේ.
මේ පළමු වතාවට ද රඟපාන්නෙ?
ඔව්.
රඟපාන චරිතය ගැන කිව්වොත්?
දිනිති යන චරිතය රඟපාන්නෙ. දිනිති කියන්නෙ ගෙදර පවුලේ අය එක්ක හරි සතුටින් ජීවත්වන තරුණියක්. සැබෑ ජීවිතයේ දී මාත් එහෙමයි. අම්මා තාත්තා සහ නංගී එක්ක හරිම එකමුතුවෙන් සතුටින් ගෙවන පවුලක් අපට තිබෙන්නෙ. නමුත් දිනිතිට එයාගේ යාළුවෝ දෙන්නා නිසා ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. අන්තිමට මොනවද වෙන්නෙ කියලා නිරාශා නරඹා බලන්න පුළුවනි. එය වෙනස්ම තේමාවක් රැුගත් අපූරු ටෙලිනාට්‍යයක්.
රඟපෑම අද දැනෙන්නෙ කොහොමද?
හරි අපූරු වින්දනීය අංශයක්. බොහෝ දේ ඉගෙන ගන්න තියෙන අංශයක්. රඟපෑම ගැන විතරක්ම නෙවෙයි, ජීවිතය ගැනත් ඉගෙන ගන්න තියෙන අපූරු අවස්ථාවක්. සඳරුවන් අයියා රඟපෑම ගැන විතරක් නෙවී ඒ ක්ෂේත්රය හා බැඳී පවතින තාක්ෂණික මෙන්ම අනෙකුත් අංශ ගැනත් අපට කියා දුන්නා. ආශා එදිරිසිංහ අක්කගෙන් ලැබුණු උපදෙස් සහ මගපෙන්වීම් ගැනත් සිහිපත් කරන්නම ඕනෑ. වැඩ කරන්න ලැබුණෙත් සාරංග, දිනක්ෂි වගේ ක්ෂේත්රයේ පළපුරුදු අය එක්කයි. ඊට අමතරව චන්දීප ජයකොඩි, හිරුනි වීරක්කොඩි සහ හසිත් ලක්ෂිතවත් ආදරයෙන් මතක් කරන්න ඕනෑ. අපි ඔක්කෝම ප්‍රථම රංගන අත්දැකීම නිරාශා නාට්‍යයේ.
මෙහි අමතක නොවූ මතකයන් මොනවද?
මම සහ හිරුනි, ලක්ෂිත සහ චන්දීප ඇතුළු අපි ඔක්කෝම හොඳ යාළුවෝ. ඉතින් ඒ යාළුකමයි බැඳීමයි එක්ක අපට එතැන නුහුරු නුපුරුදු පරිසරයක් වුණේ නැහැ.
නිරාශා නාට්‍යයේ දිනිති පේ‍්‍රමවන්තියක්, සැබෑ ජීවිතයේ දී ජනිතා පේ‍්‍රමවන්තියක් ද?
සැබෑ ජීවිතයේ දී මගේ පේ‍්‍රමය තිබෙන්නෙ අධ්‍යාපනය වෙතයි. ඒ වගේම පේ‍්‍රමය ගැන හිතන්නට තරම් තවම වයසක් නැහැ. අධ්‍යාපනයෙන් තව බොහෝ දේ හදාරන්න තිබෙනවා. ඒ වගේම මේ වගේ ලැබෙන අවස්ථා ගැන තමයි මම හිත යොමුකර තිබෙන්නෙ.
ආදරය ගැන කොහොමද හිතෙන්නෙ?
මම හිතන්නෙ ඒක සුන්දර හීනයක් වගේ සොඳුරු වූ දෙයක් වෙන්නැති. මට මගේ අම්මා තාත්තා නංගි සහ යාළුවන්ගෙන් වගේම ඥාති හිතවතුන්ගෙන් ලැබෙන ආදරය හරිම සුන්දරයි.
මේ කතාවේ (නිරාශා) ගීත ගයන්නත් තියෙනවා නේද? ඔබට ගීත ගයන්නත් පුළුවන්ද?
ගීත ගයන්නත් පුළුවනි. ඊට වඩා මම ගීත අහන හොඳ රසිකාවියක්.
නිරාශා නාට්‍යයේ ඔබ සමග ආදරණීය චරිතයක් රඟපාන චන්දීප ජයකොඩි ගැන කිව්වොත්?
එයා හරිම හොඳ කෙනෙක්.
මියුසික් වීඩියෝවලට දායක වීමටත් ආසද?
හොඳ නිර්මාණයකට අවස්ථාව ලැබුණොත් බාරගන්නවා.
රඟපෑම සහ නිරූපණ අංශය දිගටම කරන්න ලැබුණොත්?
එහෙම වුණොත් ඒ අංශය මගේ විනෝදාංශය සඳහා වෘත්තීය තත්ත්වයෙන් කරාවි. නමුත් මගේ වෘත්තිය වන්නෙ ගණකාධිකරණ අංශයයි. වාණිජ අංශයේ උපාධිය හදාරා ඉවරයි. දැන් ඉවර කරන්න තියෙන්නෙ ගණකාධිකරණ අංශයේ චාටඞ් උපාධියයි. ඉන්පසුවත් තවදුරටත් උසස් අධ්‍යාපනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඕස්ටේ්රලියාවේ දී කොහොමද විවේකය එහෙම ගෙවන්නෙ?
අපේ පවුලේ විවේකය වන්නෙ සෑම වසරකම ලංකාවට පැමිණීමයි. නිවාඩුවට අපි වෙන්කරගෙන තිබෙන්නෙ ඒ විදියටයි.
ලංකාවට ආවාම?
අපේ රටේ විවිධ කෑම ජාති කන්න තියෙන තැන්වලට යනවා. ඒ වගේම අපට මෙතෙක් නරඹන්නට බැරිවූ තැන්වලට යනවා. ඒ ගමන්වලට අපි හරි ආසයි.
ජනිතා සැබෑ ජීවිතයේ දී මොන විදියෙ කෙනෙක්ද?
නිරාශා කතාවේ දිනිති වගේම චරිතයක්. බොහොම සරල ගති තියෙන කෙනෙක්. ජීවිතය ගැන සැහැල්ලූවට හිතන, ගොඩාක් සතුටින් ඉන්න වගේම මම ආදරය කරන අයට සහ මට ආදරය කරන අයට බෙහෙවින් ආදරය කරන කෙනෙක්.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ