පේ‍්‍රමය ඒක දිග කතාවක්
වැල්පෙනෙල, හාතාවාරිය කොතලහිඹුටු දාලා හැදුවෙ මගේ අයියට යෝධබල, යෝධ ශක්තිය ලැබෙන්න
රුක්ෂානා දිසානායක මේ විදියට කිව්වෙ විකාශය වන ඉරුදේව නාට්‍යයේ ඇය රඟපාන චරිතය වෙනිවෙනුයි. රුක්ෂානා ඉරුදේව නාට්‍යයේ නෑනන්ඩියගේ රඟපෑමට අමතරව නීලපබළු නාට්‍යයේ වෙස්මා ලෙසත් සිල්ලර සමනල්ලූ 2 නාට්‍යයේ ඩයනා චරිතය සමගත් මේ දිනවල ටෙලි තිරයෙන් හමුවන්නීය.
රුක්ෂානා, ඔබ රඟපෑමට පැමිණීම අහම්බයක් කියලද හිතන්නෙ? නැත්නම් රඟපෑම අරමුණු කරගෙන ආ ගමනක්ද?
රඟපෑමම අරමුණු කරගෙන ආ ගමනක්. මම ගියේ දේවිබාලිකා විද්‍යාලයට. කලා අංශයෙන් සෞන්දර්යය සරසවි වරම් ලබාගත්තා. නාට්‍ය හා රංග කලා අංශයෙන් උපාධිය ලබාගත්තෙ. ඒ එක්කම ජාතික තරුණ සේවා සභාවේ රංග පාඨමාලාව හැදෑරුවා. ඊට අමතරව දුරුතු සිනමා පාසල වෙතින් පාඨමාලාවක් හැදෑරුවා. ඉගෙන ගත්තෙ ඇත්තටම කලා අංශය මුල්කරගෙනයි.
ඒකට විශේෂ හේතුව වුණේ?
පොඩි කාලයේ ඉඳලාම ආසා කළා. පාසල් අධ්‍යාපනයේදී කලා අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ වගේම දකුණු ආසියාතික තරග වලිනුත් ජයග්‍රහණ ලැබුවා. ඒනිසා කලාව කෙරෙහි ඇතිවුණේ තව තවත් උනන්දුවක්.
ගෙදර වටපිටාව ගැන කිව්වොත්?
අපේ අම්මා නම් කලාවට ලැදියි. ඒත් පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ.
රඟපෑමට පැමිණීම ගැන අද කොහොමද හිතන්නෙ?
අද යම්කිසි තැනක ඉන්නවා කියලා හිතෙනවා. ඇත්තටම ආපු ගමන ගැන සතුටක් තිබෙන්නෙ. වැඩිදෙනෙක් මුලින්ම මාව හඳුනාගත්තෙ උතුම් පැතුම් නාට්‍යයෙන්. ඉන්පසු මෙඩිසිනා නිසා තවත් ප්‍රතිචාර වැඩිවුණා. අද වන විට ටෙලි නාට්‍යයට අමතරව චිත්‍රපටයකටත් දායකවීමේ අවස්ථාව ලැබී තිබෙනවා. එය සිවදාසන් මහතාගේ අධ්‍යක්ෂණයක්.
රඟපෑම ගැන රුක්ෂානා හිතන්නෙ කොහොමද?
ඉතා පුළුල් විෂයයක්. දවස ගානේ අපට ඉගෙන ගන්න තියෙන දේ බොහෝමයි. එහෙම වුණොත් තමයි දිගටම ක්ෂේත්රයේ රැඳෙන්න පුළුවන් වෙන්නෙත්.
‘නිළියක’ කියන චරිතය කොහොම වියයුතුය කියලද හිතන්නෙ?
රංගනයේ දී සීමාවක් නැහැ. සමාජයේ ඇති බොහෝ චරිත අනුකරණය කළයුතු වෙනවා. ඒ නිසා තමුනට ගැලපෙන චරිතය තෝරාගෙන රඟපෑම වගේම සැබෑ ජීවිතයේ දී චරිතයකට එහා ගිය යථාර්ථයකින් ජීවත්වීම වැදගත් කියලා හිතනවා.
රුක්ෂානා කොහොමද තමුන්ගෙ සීමාවන් හඳුනාගෙන සිටින්නෙ?
මම ලොකු දේවල් ගැන හිතන්නෙ නැහැ. සරලව ඉතා සතුටින් ජීවත් වෙන්න කැමතිියි. ලංකාවේ විවිධ තැන්වල ගෙදර අය එක්ක සංචාරයට හරිම ප්‍රියයි. ක්ෂේත්රයේ රඟපෑමට දායකවෙලා කා එක්කත් හොඳින් මිත්රශීලීව සහ ප්රවීනයන්ට ගරු කරමින් ජීවත්වීම තමයි මගේ සීමාව. ඒ හැර ජීවිතයේ අනවශ්‍ය දේ පසුපස හඹා යන කෙනෙක් නෙවෙයි.
රුක්ෂානා මේ දිනවල හරිම සතුටින් කියලා තමයි ඔයාගේ යාළුවෝ නම් කියන්නෙ?
මම කොහොමටත් සතුටින් ඉන්න ආසයි.
ඒකට හේතුව පෙම්වතා නිසා කියලා කිව්වොත්?
එහෙම හිතමු.
රුක්ෂානාගේ පේ‍්‍රමය ගැන ඇහුවොත්?
ඒක දිග කතාවක්. ඒ නිසා පසුව කියන්නම්.
රඟපෑමට විතරද දක්ෂ?
ඇයි නර්තනයටත් දක්ෂයි. රුක්ෂානා දිසානායක නමින් නර්තන පාසලක් පවත්වාගෙන යනවා. පාසල් විෂය නිර්දේශයට අදාලව තමයි නර්තන විෂය එහිදී උගන්වන්නෙ. ඊට අමතරව නර්තන කණ්ඩායමක් පවත්වාගෙන යනවා. ප්රසංගවලටත් අපි දායකත්වය ලබාදෙනවා.
රුක්ෂානාට රඟපෑමේදී ප්‍රධාන චරිත ලැබෙන්නෙ නැද්ද?
තවමත් ලැබිලා නැහැ. මම ඒකට කළබලත් නැහැ. වෙලාවට ලැබෙන දේ ලැබේවි.
රඟපෑම යටතේ පමණක් රැුඳෙන්න පුළුවනි කියලා හිතනවද?
වෘත්තීය මට්ටමින් කිරීම තරමක් අසීරුවෙලා. ප්‍රමිතිය පිළිබඳව තියෙන්නෙත් ගැටලූවක්. අද වන විට නිර්මාණයන්හි ප්‍රමිතියේ තත්ත්වය තරමක් අඩුවෙලා. කොහොම වුණත් අපට ලැබෙන දේට උපරිමයෙන් දායක වීම තමයි වැදගත්ම දේ. ඉරුදේව ඓතිහාසික කතාවක්. පළවැනි වතාවට මම ඒ වගේ නිර්මාණයකට දායක වුණේ. ඒ විදියෙ වෙනස් චරිත රංගනයන්ට හරිම ආසයි.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ