පෙර පාසලක් දානවා කියන හිනේ අදටත් මගේ තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20201001-06

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින අශිකා මතසිංහ ප්‍රේක්ෂක ඔබගේ ආදරය නිරන්තරයෙන්ම දිනාගත් දක්ෂ රංගන ශිල්පිනියකි. දශකයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේ විවිධ කලා කටයුතුවලට දායකත්වය සපයා ඇති ඇය අද "සරවිට" අප සමගින් තරු කතාබහට මෙසේ එක් වුණේමු.

 

කලා ශිල්පිනියක් විදිහට ඔබ නිතරම වගේ කාර්යබහුලද?

මම ලොකුවට කාර්යබහුල නිළියකුත් නෙමෙයි. ගොඩක් වෙලාවට මම වැඩ භාරගන්නේ මාසේට දවස දහයක් වගේ. ඉතුරු දවස් ටිකේ සැමියායි දරුවොයි එක්ක කාලය ගත කරනවා. මොකද, මම මොනදේ කළත් මුලික තැන දෙන්නේ මගේ සැමියටයි දරුවොන්ටයි. පෞද්ගලික ජීවිතෙයි කලා කටයුතුයි මම පටලව ගන්නේ නැහැ.

 

කලා කටයුතු නිසා බිරිඳක්, මවක් විදිහට තමන් අතින් සිදුවිය යුතු දේවල් අතපසු වුණා අවස්ථා නැද්ද?

අතපසු වෙච්ච අවස්ථා තියෙනවා. අපි දෙයක් කැප කරන්න ඕනා තව දෙයක් ලබාගන්න නම්. මම ඒ මතයේ ඉන්නවා. කලා කටයුතු නිසා මගේ දරුවොන්ගේ සැමියාගේ දේවල් අතපසු වෙනවා ඇති කියලා. ඒ අයත් දන්නවා. හැබැයි ඒ අය ඒවා තේරුම් අරගෙන ඉන්නේ. මගේ දරුවෝ පුංචි කාලේ ඉඳිද්දි පවා මම රූපගත කිරිම් කටයුතුවලට සහභාගී වුණ. ඒ අයට මාව රූපවාහිනියෙන් දකින කොට, සමාජය මා ගැන කතා කරන කොට ගොඩක් සතුටුයි. මගේ දුව තමයි මාව කලා කටයුතුවලට යොමු කරන්න උනන්ඳු වෙන්නේ. මගේ දරුවෝ වගේම සැමියාත් දන්නවා මම කවමදාකවත් ඔවුන්ව ලැජ්ජාවට පත්වෙන දේවල් කරන්නේ නැහැ කියලා. මවක් බිරිඳක් විදිහට මම බොහෝම ආඩම්බර වෙනවා අද රංගන ශිල්පිනියක් විදිහට මට කටයුතු කරන්න ලැබුණ එක ගැන.

 

විවාහ වෙලා දරුවෝ ලැබුණාට පස්සේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අවස්ථා ලැබුණේ අඩුවෙන්ද?

ඒ කතාව නම් ඇත්ත තමයි. ගොඩක් කට්ටිය හිතනවා දරුවෝ ලැබුණාම ඔවුන්ගේ වැඩ රාජකාරිත් එක්ක රූපගත කිරිම්වලට එන්නේ නැති වෙයි කියලා. නමුත්, මාව විශ්වාස කරලා අධ්‍යක්ෂකවරු පිරිසක් ඔවුන්ගේ නිර්මාණවලට මාව සම්බන්ධ කරගත්තා. මේක මම අවස්ථාවක් කරගන්නවා ඒ අයට ස්තුති කරන් මම. දරුවෝ ලැබුණත් මම බාරගත්ත වැඩ වගකිමක් ඇතිව මම කළා. ඒ හින්දා තමයි අදටත් මාව කලා නිර්මාණවලින් මාව දකින්න පුළුවන් වෙන්නේ.

 

රංගන ශිල්පිනියකට රුව කියන දේ ඉතා වැදගත්. අශිකා මොනවද රුව රැකගන්න කරන්නේ?

මම නිතර ජලය පානය කරනවා. ජලය කියන්නේ අපේ ශරිරයේ පැවැත්මට ගොඩක් වැදගත් දෙයක්. ඊට අමතරව මම දරුවොත් එක්ක ඇවිදින්න යනවා. දරුවොත් එක්ක ඉතින් ඇවිදිනවා කියන්නේ ජිම් එකකට ගියා හා සමානයි නේ. ඒ අය සෙල්ලම් කරන කොට මාත් ඒවාට සහභාගි වෙනවා. ගෙදර වැඩ ගොඩක් මම කරනවා. වොෂින් මැෂින් එක තියෙද්දිත් මම අතින් ඇඳුම් හෝදනවා. නිතරම වගේ ගෙදර වැඩ කරද්දි මගේ ශරිරය ලොකුවට වර්ධනය වෙන්නේ නැහැ නේ. ඉතින් ඔය වගේ දේවල් තමයි මම මගේ රුව රැකගන්න කරන්නේ.

 

ආයුතු යෝජනා කලා ක්ෂේත්‍රය තුළ නිතරම ඇහෙන දෙයක්. ඔබටත් එවැනි දේවල්වලට මුහුණ දෙන්න වෙලා තියෙනවාද?

එහෙම කතාවක් තියෙනවා. හැබැයි මට නම් එහෙම සිද්ධියකට මුහුණ දෙන්න වෙලා නැහැ මේ වෙනකම්. සමහර විට මම එදා ඉඳලා අද වෙනකම් හිටිය විදිහත් එක්ක වෙන්නැති. මම පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. ඒක බෞද්ධ පාසලක්. මමත් බෞද්ධ කෙනෙක්. අපිට හොඳ හැදියාවක් ඒ පාසලෙන් ඉගැන්වුවා. අපිට හොඳ ගුරුවරු ලැබුණා. ඒ වගේම මගේ මාපියන් හොඳ අය. ඒ පසුබිමත් එක්ක මම දැනගත්තා මේ සමාජය තුළ හැසිරෙන්නේ කොහොමද කියලා. ඒ හින්දා ඔය වගේ දේවල්වලට මට මුහුණ දෙන්න අද වෙනකම් සිදු වෙලා නැහැ.

 

රංගන ශිල්පිනියක් නොවුණා නම් ඔබගේ වෘත්තිය අද කුමක් වෙයිද?

පොඩි කාලේ ඉඳලා මගේ හීනයක් තිබුණා ගුරුවරියක් වෙන්න. පෙර පාසල් ගුරුවරියක් වෙන්න තමයි ගොඩක්ම මම ආස කළේ. පොඩි අයට මම ගොඩක් කැමතියි. ඒ වගේම ආදරේයි. පුංචි ළමයි ඉතින් මල් වගෙනේ ඉතින්. ඒ අයත් එක්ක ගත කරද්දි වෙලාව යනවා තෙරේන්නේ නැහැ. රංගන ශිල්පිනියක් වෙලා ඉඳිද්දිත් මම පෙර පාසල් ගුරුවරියන් කරන පාඨමාලාවක් කළා. මගේ දුව ලැබුණට පස්සෙත් මම හිතාගෙන හිටියේ පෙර පාසලක් ආරම්භ කරනවා කියලා. අදටත් ඒ අදහස මගේ තියෙනවා. බලමු ඉදිරිය්දී ඒ හීනේ සැබෑ කරගන්න පුළුවන් වෙයිද කියලා.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - දුලීත ශ්‍රීනාත්