පුහුණුවීම්වලදී නංගිටයි, මටයි එකට මුණගැහෙන්නත් බැරි වුණා
කලා ක්ෂේත්රය තුළ නිතර කතා බහට ලක්වන රංගන ශිල්පිනයක් ලෙස දිනක්ෂි ප්‍රියසාද් හැඳින්විය හැකිය. පසුගියදා පැවැති දෙරණ ‘ස්ටාර් සිටි 20.20’ රියලිටි තරගයට එක්ව එය ජයග්‍රහණය කරන්නටද දිනක්ෂි හා ඇයගේ නැඟණිය ශනුද්‍රි සමත් වූහ. මෙම ජයග්‍රහණය ගැන දිනක්ෂි පැවසුදේ.
මෙවර ‘ස්ටාර් සිටි’ රියලටි තරගයේ ජයග්‍රහණය ඔබටත්, ශනුද්‍රිටත් හිමිවුණා?
ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද, මේ තරගාවලිය වෙනුවෙන් මාත්, මගේ නැඟණිය ශනුද්‍රිත් මාස හයක් විතර කැපකිරීම් කළා. ඉතින් ඒ තරගාවලිය අවසානයේ අපිට ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබුණා කියලා මම හිතනවා.
මේ තරගාවලිය දිනක්ෂිගේ දෙවැනි ‘රියලිටි’ තරගය නේද?
ඔව්, මම දෙරණ රූපවාහිනි නාළිකාව විසින් සිදුකළ ‘ස්ටාර් සිටි’ පළමු අදියරයටත් සහභාගි වුණා. තරාවලිය ජයගත් ‘සුපර් ගැන්ජෙස්ටර්’ කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටයි මම එම තරගාවලියේදී කටයුතු කළේ. හැබැයි මේක මගේ නංගි ශනුද්‍රිගේ පළමු රියලිටි තරගාවලිය.
තරගාවලිය ආරම්භ වුණේ මීට මාස හයකට උඩදී. තරගාවලියකට එකතු වෙන කොට ජයග්‍රහණයක බලාපොරොත්තුවක් තිබුණද?
නැහැ. මටත්, නංගිටත් මේ තරගාවලියේ යම් දුරකට යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තිබුණා. ජයග්‍රහණය ගැන නම් අපිට හීනෙකින්වත් විශ්වාසයක් තිබුණෙ නැහැ. අපි තරගාවලියේ මුල ඉඳලාම සැලසුම් කළේ එදා දවසේ හැටියට අපේ නිර්මාණ ඉදිරිපත් කරන්න. අපි බලාපොරොත්තු වුණේ නැහැ අපිත් එක්ක තරග කරන අනෙකුත් කණ්ඩායම්වලට අභියෝගයක් වෙන විදිහේ දේවල් කරන්න. මේ හැම නිර්මාණයක්ම අපි ඉදිරිපත් කළේ ප්‍රේක්ෂකයාගේ අවධානය දිනාගන්න. මම හිතන්නේ බොහෝ විට මේ ජයග්‍රහණයට ඒ දේ ඉවහල් වුණා කියලා.
අවසන් තරගයේ දී ඔබලා සමග තවත් කණ්ඩායම් දෙකක් හිටියා?
ඔව්, අශාන්ති එක්ක රන්දීර් වගේම; රොමේෂ් එක්ක තීක්ෂණත් අපිත් එක්ක අවසන් තරගයට ආවා. මම හිතන විදිහට ජයපැරදුම කෙසේ වෙතත්, අවසන් තරගයට ආපු අපි හැමෝම දක්ෂයෝ. අවසන් තරගයේ දී පවා අපි අතර තිබුණේ ලොකු තරගකාරිත්වයක්. හැමෝම එකිනෙකාට අභියෝගයක් වුණා.
ජයග්‍රහණයක්, බලාපොරොත්තුවක් අවසන් තරගයේ දී ඔබට තිබුණද?
ජයග්‍රහණයක් ගැන ලොකුවට එහෙම බලාපොරොත්තුවක් මටත්, නංගිටත් තිබුණේ නැහැ. මොකද, ඕක අපිට හමුනොවුණා නම්, ටිකක් විතර අපිට දුක හිතෙන නිසා. නමුත්, පොඩ්ඩක් විතර බයකින් හිටියේ, මොකද, ප්‍රේක්ෂකයෝ අපි කරන නිර්මාණය කොයි විදිහට වැලඳගනියිද කියලා. අපි තරමක් අසීරු නිර්මාණ අංග තමයි ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම පන්දම් පාවිච්චි කරලා ගිනි නිවෙන අංගයක් අපි කළා. ඒ අංගයට එනකොට අපේ පන්දමක් නිමිලා තිබුණා. සජීවී අංගයක් නිසා එවැනි පීඩනයකින් තමයි අපි තරගයට මුහුණ දුන්නේ. කවුරුවත්ම පරද්දන්න අදහස් අපිට තිබුණෙ නැහැ.
තරගය පුරාවට කළ ඉදිරිපත් කිරීම් ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් අය කියපු දෙයක් තමයි හැම කෙටසකම අපි එකිනෙකට වෙනස් නර්තන අංග තමයි ඉදිරිපත් කළේ. සමහර නර්තන අංග වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ අවධානයට ලක්වුණා. නමුත්, ඒ නර්තන අංග ඇතුළේ නිර්මාණයක් තියෙනවා. ඒ හැම නිර්මාණයක්ම සිදු කළේ අපිට වඩා දැනුම් තේරුම් තියෙන ලංකාවෙ ඉන්න දක්ෂතම නිර්මාණ ශිල්පීන් තමයි. නිශා කොතලාව හා රසික කොතලාව අපි දෙන්නට එක නර්තන අංගයක් හදලා දුන්නා. තරගාවලිය පුරාම අපිට ගොඩක් උදව් කළේ ගයාන් ශ්‍රීමාල් අයියා. ඔහු තමයි බොහෝ නර්තන නිර්මාණ අපිට ඉගැන්වුයේ. එයාට මමත්, නංගීත් සම්පූර්ණ නිදහස දීලා තිබුණා අපිට අවශ්‍ය ගැළපෙන නිර්මාණ කරන්න. මොකද ඔහු දැනගෙන හිටියා අපි දෙන්නට නටන්න පුළුවන් සීමාව මෙන්න මේක කියලා. හැමෝටම හැම ශෛලියක්ම නටන්න බැහැ.
රංගන ශිල්පිනියක් විදිහට කාර්ය බහුල වෙලා තිබෙද්දි, මේ තරගාවලියට කාලය සොයා ගත්තේ කොහොමද?
ඔව්, මම විතරක් නෙවෙයි; නංගිත් ටෙලි නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්න නිසා පසුගිය කාලය පුරාවටම කාර්ය බහුල වෙලා හිටියේ. මේ තරගයේ දී සමහර පුහුණුවීම් කටයුතුවලදී අපි දෙන්නට එකට මුණගැහෙන්නත් බැරිවුණා. පසුගිය මාස කිහිපය ගත්තොත් එක දවසක්වත් අපිට නිවාඩුවක් තිබුණෙ නැහැ. කොහොම හරි අපි දෙන්නා තරග ජයගනිමින් දිගින් දිගටම මේ තරගාවලියේ හිටියා. මේ රියලිටි තරගය නිසා කලා කටයුතුනම් අත්හැරියේ නැහැ. පුළුවන් විදිහට ඒ වැඩවලටත් කාලය බෙදාගනිමින් හැම පැත්තක්ම සමබර කරගෙන මේ තරගයට එකතු වුණා.
ඔබගේ හා ශනුද්‍රිගේ ජනප්‍රියත්වය මේ තරගයේ ජයග්‍රහණයට බලපෑවාද?
මම හිතනවා. මොකද, මේ තරගයේ ප්‍රතිඵලය කියැවුණේ ප්‍රේක්ෂක මනාපයෙන් සියයට 60ක් හා විනිසුරු මඩුල්ලෙන් සියයට 40ක් විදිහට. සෑම තරගයකදීම අපිට විනිසුරුවන්ගේ හොඳ ප්‍රතිචාර ලැබුණා. අවසන් තරගයේදිත් අපිට ඔවුන්ගෙන් එවැනිම ප්‍රතිචාර හිමිවුණා. මගෙත්, නංගීගෙත් ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. ඒ හරහා අපේ ජනප්‍රියත්වය ඉහළ මට්ටමක තිබුණා කියලා හිතනවා. ප්‍රේක්ෂක මනාපය අපිට වැඩිපුර ලැබෙන්න ඒක හේතුවක් වුණා කියලා මම හිතනවා.
සටහන - බුද්ධික සේනාධීර
ඡායාරූප - සජීව ලක්ෂාන්