පුදුම ද‌ාංගලයක් මටත් තියෙන්නෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200805-25

පාසල් සමයේ දී ඇය පොත පතේ වැඩවලට වඩා වැඩිපුර කාලය වැය කළේ ක්‍රීඩා සහ කලා අංශයේ වැඩවලටය. එහෙත් එහෙම කළත් සාමාන්‍ය පෙළ සමත් වුණේ විශිෂ්ට සමාර්ථ හෙවත් 'A' 9 ක් ලබා ගනිමිනි. ඉන්පසුව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරු අයට වෛද්‍ය අංශයට යොමුවීමේ අවකාශය නොලැබී ගියේ යාන්තමට ලකුණක් දෙකක් අඩු වූ නිසාය. මේ දක්ෂ හැඩකාරිය අද රූපවාහිනී දැන්වීම් නිරූපණ ශිල්පිනියක හා ටෙලි මෙන්ම සිනමා රංගන ශිල්පිනියකි. රූ රැජිණක ලෙස ද කිරුළ පැළැඳි රුව ගුණ සපිරි ඇය ඩිස්නි උමාරියෝ රාජපක්ෂය. අද දවසේ ඇය අපට හමුවන්නේ සත්‍යා (ITN), ද‌ාංගලී (ස්වර්ණවාහිනී) නාට්‍ය සමගය. මෙවර සඳැල්ල කවරය සමග කතාබහ හැඩකරන්නේ ඇයයි.ENT-20200805-26

 

• ඩිස්නි උමාරියෝ රාජපක්ෂ මොන විදියේ කෙනෙක් ද?

මට හිතෙන විදියට මම හරිම ආදරණීය කෙනෙක්. සෑම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන්නෙ හොඳක්. හැමෝම දිහා අනුකම්පාවෙන් බලන කෙනෙක්. අපේ අම්මා නිසා මට ඒ මෘදු කරුණා ගුණය ලැබෙන්න ඇති. වෙලාවකට ඕනෑවටත් වඩා සංවේදී කෙනෙක්.

 

• කියමුකො බලන්න පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි මමයි. සරලා සද‌ාදරී සහ යශෝදරා නංගිලා දෙදෙනායි.

 

• මේ දිනවල ඩිස්නිගෙ රංගනයන් ගැන සඳහනක් කළොත්?

සත්‍යා සහ ද‌ාංගලී විකාශය වෙනවා. සූස්ති චිත්‍රපටයේ නම් කෙටිම කෙටි චරිතයක් කළේ. ඉදිරියේ විකාශයට නියමිත අපූරු චිත්‍රපටයක හොඳ චරිතයකට ද‌ායක වෙන්න ලැබුණා. ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනි සහ දසුන් පතිරණ ඇතුළු රංග ශිල්පීන් පිරිසක් සමග එහි රඟපෑමට ලැබුණා. ඒ චරිතය එක්තරා විදිහක පෙරළිකාර චරිතයක්.

 

• ද‌ාංගලී වගේ ඩිස්නිටත්, ද‌ාංගලේ ද?

අම්මේ ඔව්, පුදුම ද‌ාංගලයක් මටත් තියෙන්නෙ. හැබැයි ඉතින් ඒ දැඟලිල්ල තියෙන්නෙ හොඳ වැඩවලටයි.

 

• මොනවටද හැබෑවටම මෙච්චර ද‌ාංගලේ?

දැඟලිල්ල කියන්නෙ ඉතින්. පාසල් කාලයේ දී වැඩිපුරම කලේ දැඟලිල්ලම තමයි. කොයි වෙලාවෙ බැලුවත්, දැල්පන්දුව අතේ එක්කෝ වෙනත් ක්‍රීඩාවක යෙදුණා. දැල්පන්දු කණ්ඩායමේ නායිකාව වගේම පාසලේ ක්‍රීඩා නායිකාවත් වුණා. ශිෂ්‍ය නායිකාව වෙලත් හිටියා. ඔන්න ඕවාට තමයි දැඟලිල්ල තිබුණෙ.

අවුරුදු 30ක ගුරු ජීවිතේ දී එයා දැකපු දැඟලිලිම ළමයා මම කියලා එක්තරා අවස්ථාවක ගුරුවරියක් මට කියලා තිබුණා. කොහොම වුණත් ඒ වගේ ද‌ාංගලයක් තිබුණු මම සා/පෙළ සමත් වුණේ 'A'-9 ක් අරගෙන. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සරසවි නොගියෙ ලකුණු දෙකක් විතර මදි වූ නිසයි. උසස් පෙළ කරද්දිත් බාහිර වැඩ වැඩි වූ නිසා කාර්යබහුල වුණා. ඒ ලෙවල් කරද්දී බයෝ කරපු අයගෙන් නැටුම් සහ නාට්‍යවලට ගියේ මම විතරයි.

 

• ඒ කියන්නෙ පාසලේ කප් ගහපු චරිතයක්?

එහෙම කිව්වොත් හරි. උසස් පෙළ කළාට පස්සේ තොරතුරු තාක්ෂණයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඉන්පසුව වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට්‍රේලියාවට ගියා. අමතරව ළමා මනෝ විද්‍යාව ගැනත් ඉගෙන ගත්තා. අද මම පවත්වාගෙන යන ජාත්‍යන්තර පෙර පාසලට එය ඉතා වටිනා දෙයක් වුණා. වසර 21 ක් තිස්සේ අම්මා තමයි එම පෙර පාසල පවත්වාගෙන ගියේ.

 

• ඇයි ඕස්ට්‍රේලියාවෙ නතර නොවුණේ?

එක නංගි කෙනෙක් නම් ඉන්නෙ එහේ. ඒත් මම එහි නතර නොවුණේ කලාවට තියෙන කැමැත්ත සහ ගෞරවය නිසාමයි. අම්මා තාත්තා එපා කියද්දීත් මම කලාවට ආවෙ ඒ නිසාමයි. ඒ හින්ද‌ාම කලා ක්ෂේත්‍රයේදී මගේ ගරුත්වයත්, කලාවේ ගරුත්වයත් රැකගෙන ඉන්න පරිස්සම් වෙනවා. ඇත්තටම කලා ක්ෂේත්‍රය කියන්නේ හරිම සුන්දර තැනක්. හැකිතාක් කාලයක් කලාවේ නිරත වෙලා බොහෝ විට පසු කාලයක මාත් විදෙස්ගත වේවි.

 

• කොහොමද මේ දවස්වල ජීවිතය?

රඟපාන වැඩවලට අමතරව ළමයින්ට උගන්වන වැඩ එක්ක කාලය කළමනාකරණය කරගෙන කාර්යබහුලව සිටිනවා. පොඩි අයට උගන්වන එකට අමතරව චිත්‍ර අඳිනවා. පොත් ලියනවා. ඒ අතරේ ආගම දහමටත් ළැදියි. හැබැයි මගේ තියෙන දුර්වලතාවය වන්නේ නෑදෑයින් සහ යහළුවන් හමුවන්නේ නැති එකයි. මම ටිකක් හුදෙකලාව ඉන්න කැමැති කෙනෙක්.

 

• ‘සත්‍යා’ නාට්‍යයේ චරිතය ගැන කිව්වොත්?

එය නාමල් විජේසිංහගේ පිටපතක්. මේ චරිතය ලැබුණාම කවද‌ාකටත් වඩා මට ලොකු අපහසුතාවයක් ඇතිවුණේ. චරිතය රඟපාන හැටි සෑහෙන දුරට කල්පනා කළා. චරිතය වෙනුවෙන් මනස හද‌ාගන්න ඕනෑ නිසා. ඒ කාල සීමාවේදී දුරකථන ඇමැතුමක්වත් ගත්තෙ නැහැ. මේ චරිතයේ නම ‘ශාඛ්‍යා’. ඒක හරියට භාවනාවක් කරනවා වගේ කළ චරිතයක්. මේ තාක් බොහෝ විට මට ලැබුණෙ. දඟකාර, කටකාර චරිත. ඒත් ශාඛ්‍යා චරිතය එහෙම එකක් නෙවෙයි. තැන්පත් චරිතයක්.

 

• මේ සියල්ල අතරේ ඩිස්නිගෙ ‘ආදරේ’ එහෙම කොහොමද?

ආදරේ නිසා ජීවිතය උපරිමයෙන් විඳිනවා. ඒ නිසා ජීවිතය හරිම සුන්දරයි. ඒ ආදරේ නිසා සහ එයාගෙන් ලැබුණු සහයෝගය නිසා තමයි කලා ක්ෂේත්‍රයේ යම්තාක් දුර ගමනක් එන්න පුළුවන් වුණේ. පුදුමාකාර විදියට එයා මට සහයෝගය ලබා දුන්නා.

 

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

හැඩගැන්වීම්: (Salon Marina) මරීනා පෙරේරා

 

  ENT-20200805-27