පිළිගැනීම් විවිධාකාරයෙන් මට ලැබෙනවා
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වන මනු ප්රියදර්ශනි සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණා. මේ වන විට බොහෝ කලා නිර්මාණවලට දායක වි ඇති මනු ඉදිරියේදී රංගනයටද පිවිසීමේ බලාපොරොත්තුවකින් පසුවනවා. මේ ඒ පිළිබඳව ඇය අපිට පැවසු අදහස්.
ක්ෂේත්රයට ආවේ කොහොමද? කොයි කාලේද?
මීට වසර හතකට විතර කලින් තමයි ක්ෂේත්රයට නම් ආවේ. 2010 වසරේ "තරුණි" පුවත්පතේ සාරි විලාසිතා පිටුවේ ඡායාරූපවලට පෙනි සිටිමින්. ඊට පස්සේ මනාලියක් විදිහට විලාසිතා දැක්මවල් බොහොමයකට පෙනි සිටියා. ඔය විදිහට තමයි ක්ෂේත්රයට ආවේ.
ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වගේ දේවල්වලට පෙනී ඉඳලා නැද්ද?
ඒ වගේ දේවල්වලට නම් ගොඩක් ආරාධනා ලැබුණා. නමුත්, සමහරක් ඒවා පිටපත කියවන කොටම අකමැති වුණා. හොඳ නිර්මාණයක් ඒ වගේම මට ගැළපෙන එකක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මම එවැනි නිර්මාණවලට දායක වෙනවා. දැනට නම් මම ගොඩක්ම කරලා තියෙන්නේ ඡායාරූපවලට පෙනී ඉන්න එක තමයි.
නිරූපිකාවක් වුණ එක ගැන?
නිරූපිකාවක් වුණ එක ගැන නම් ගොඩක් සතුටුයි. මොකද අද මට නිරූපිකාවක් නිසා යම් පිළිගැනීමක් ලැබෙනවා. මම පොඩි කාලේ ඉඳලම ආසාවෙන් හිටියේ නිරූපණය පැත්තට යොමු වෙන්න. ඒ හිනේ දැන් සැබෑ වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන හිතෙද්දි ගොඩක් සතුටුයි.
නිරූපණය පැත්තෙන් ඉලක්ක තියෙනවාද?
ගීත රූප රචනා හා වෙළෙඳ දැන්වීම්වලට පෙනි ඉඳලා ඒ හරහා යම් ජනප්රියත්වයක් ගොඩ නගාගන්න තමයි කැමති.
රංගනයට පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?
ඒක මගේ ලොකු ආසාවක්. රංගනය පැත්තට යොමු වෙන්න දැන් ආරාධනා ලැබිලා තියෙනවා. පිටපත අනුව ලැබෙන චරිතය මොකක්ද කියලා බලලා ඒවාට සහභාගි වෙන්න සූදානමින් ඉන්නවා.
නිරූපිකාවක් විදිහට යම් පිළිගැනීමක් ඔබට ලැබෙනවා කිව්වා?
පිළිගැනිම් නම් විවිධාකාරයෙන් ලැබෙනවා. සමහර අය නම් හොඳයි වගේම නරකයි කියලත් කියනවා. එක එක කෙනා නිරූපිකාවක් විදිහට බලන කෝණය අනුව තමයි ඉතින්.
උදවු කරපු අය ගැනත් කියමු?
මේ තැනට එන්න මගේ හස්බන්ඩ් ඒ වගේම මගේ අම්මා, තාත්තා පවුලේ කට්ටිය තමයි ගොඩක් උදවු කළේ. ඒ වගේම හර්ෂනි සිරිවර්ධන හා දිනුෂා සිරිවර්ධන දෙන්නත් මට ගොඩාක් උදවු කළා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - ඉමේෂ් නුවන්දක