'පැහැසරා' ටෙලි නාට්‍යයෙන් තමයි මම ප්‍රේක්‍ෂකයන් අතරට ගියේ
මේ දිනවල විකාශය වන ‘පැහැසරා’ ටෙලිනාට්‍ය තුළින් ඔබේ ආලින්දයට පැමිණෙන ඇය තරින්දි ප්‍රනාන්දුය. රංගන ශිල්පිනියක ලෙස ක්‍ෂේත්‍රයට යොමුවන ඇය, සිනමාව, පුංචි තිරය, වේදිකාව යන අංශ ත්‍රිත්වය ඔස්සේ දැකගත හැකිය. සිය ඉදිරි කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ඇය මෙලෙස ‘අද’ට සම්බන්ධ කර ගතිමු.
ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
මම තරින්දි ප්‍රනාන්දු. මම උසස් පෙළින් පස්සේ පෞද්ගලික බැංකු දෙකක සේවය කළා. ඊට පස්සේ තමයි මේ ක්‍ෂේත්‍රයට ආවේ. මගේ පවුලේ 04 දෙනයි. මමයි, අක්කයි, අම්මයි, තාත්තයි. අම්මා ජීවතුන් අතර නැහැ.
ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙන්නෙ කොහොමද?
ගිය අවුරුද්දේ මැදදී තමයි මම රංගන ක්‍ෂේත්‍රයට එන්නේ. මගේ අම්මා නැතිවුණ නිසා මම බැංකුවෙන් මාස 06ක කාලයකින් පසු නැවතුණා. ඒ මාස 06 ඇතුළතදී තමයි ‘බරතලී’ කියන නිර්මාණයට අවස්ථාව ආවේ. එය ළමා චිත්‍රපටයක්. තවම තිරගත වුණේ නැහැ. ඊට පස්සේ ගොඩක් දේවල් සඳහා ආරාධනා ලැබුණා. ඒ නිසා බැංකු ක්‍ෂේත්‍රයේ රැකියාව සඳහා හැරුණේ නැහැ. මගේ ආසාව තිබුණෙත් කලාව සඳහායි. පවුලේ උවමනාවට තමයි මම බැංකු ක්‍ෂේත්‍රයට එකතු වුණේ.
දැනට දායක වූ නිර්මාණ ගැන කිව්වොත්?
සංජය ලීලාරත්නගේ ‘කරපිංචා ඕනෑද’ කියන වේදිකා නාට්‍යයට දායක වුණා. ඒක මගේ පළමු වැනි වේදිකා නාට්‍යය. ඊට පස්සේ මට ආරාධනාවක් ලැබුණා ‘පැහැසරා’ ටෙලිනාට්‍යයට. ඒකෙන් තමයි මම ප්‍රේක්‍ෂකයන් අතරට ගියේ. දැනට මට චිත්‍රපට 02කට ආරාධනා ලැබිලා තියෙනවා. මේ දවස්වල නාට්‍ය 02ක රූගත කිරීම් කරගෙන යනවා. සමන් කුමාර ලියනගේගේ ‘පිච්ච මල සුවඳයි’ සහ නිශාන්ත වීරසිංහගේ ‘දංකුඩ බණ්ඩා’ කියල ළමා ටෙලිනාට්‍යයක්.
කලා ක්‍ෂේත්‍රය හොඳයිද?
ඔව්. කලාවට ආස කරන කෙනෙක් විදියට මට දැනෙන්නේ මේ ක්‍ෂේත්‍රය හොඳයි කියලා. අනිත් ක්‍ෂේත්‍රයන්ට වඩා මේ ක්‍ෂේත්‍රය නිදහස්. මම බැංකුවේ වැඩ කරද්දි දැනෙන්නේ එතැන හරිම ඒකාකාරී වගේ දෙයක්. මේ ක්‍ෂේත්‍රයේදී අපට විවිධ පුද්ගලයන් හමුවෙනවා. රට වටේම ට්‍රැවල් කරන්න පුළුවන්. අපට මුදලක් ලැබෙනවා මේවට අමතරව. ඉතින් හරිම නිදහස්.
රංගනය වෘත්තියක් විදියට කරන්න පුළුවන්ද?
බැහැ. මම පිළිගන්නෙත් නැහැ ඒක. මේකෙන් මුදල් හම්බ කරන්න අමාරුයි. චරිතාංග නිළියකට නම් යම්කිසි මට්ටමකට එහෙම කරන්න පුළුවන්. නමුත් අපට බැහැ. ඒකයි මම මේක විනෝදාංශයක් විදියට සහ කෙටිකාලීනව කරන්නේ.
‘පාර්ට් ටයිම්’ කරද්දි ඒ කාලය අපරාදේ කියලා හිතෙන්නෙ නැද්ද?
නැහැ. මොකද මම මේක ආසාවෙන් කරන්නේ. මගේ අරමුණත් එක පැත්තකින් කලා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න. ඒක නිසා ඒක අපතේ යන්නේ නැහැ කියලා හිතනවා.
රංගනය පිළිබඳ හැදෑරීමක් ඕනද කලා ක්‍ෂේත්‍රයට එන්න?
ඔව්, හැදෑරීමක් තියෙන්න ඕන. නමුත් මට එහෙම හදාරන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මොකද මම බැංකු ක්‍ෂේත්‍රයේ හිටිය නිසා. නමුත් මට ප්‍රවීණයන් සමග වැඩ කරන්න අවස්ථා ලැබිලා තියෙනවා. රම්‍යා වනිගසේකර, මාදිනී මල්වත්ත වගේ අය. එයාලාගෙන් ඉගෙන ගත් දේවල් සහ එයාලා රඟපානවා බලලා ඉගෙන ගත් දේවල් එක්ක මම ඒවා අධ්‍යයනය කරගෙන යනවා. ඉදිරියේදී වැඩමුළුවලටත් සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා.
තරින්දිට කවුරුහරි කිව්වද රඟපාන්න පුළුවන් කියලා? නැත්නම් ඔයාම හොයාගත් දෙයක්ද?
මම කලා ක්‍ෂේත්‍රයට එන්න කලින් විශ්වාසයක් තිබුණා මට රඟපාන්න පුළුවන් කියලා. මාව ‘බරතලී’ චිත්‍රපටයට ගත්තු චරිත් අබේසිංහ අයියා සහ ගොඩක් අය කිව්වා ඔයාට දක්ෂතාවක් තියෙනවා කියලා. ඉතිං ඉස්සෙල්ලාම ‘බරතලී’ ෆිල්ම් එකේ ටීම් එක තමයි කිව්වේ ඔයාට රඟපාන්න පුළුවන් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න කියලා.
අද ක්‍ෂේත්‍රයට නවකයන් එනවා. මේ අයත් එක්ක තිබෙන තරගය කොහොමද?
මෙහෙමයි, මමත් අයිති වෙන්නෙ ඔය නවකයන් කියන ගොන්නට. නවකයන් එනවා. නමුත් අරමුණක් සහිතව එන්නේ ටික දෙනයි. තරගයක් තියෙනවා. එක එක අයට එක එක විදියේ තරග තියෙනවා. එයාලට අරමුණක් නැහැ. හැබැයි අරමුණක් තියාගෙන එන අයට ඔය තරගකාරීත්වය අදාළ වෙන්නේ නැහැ. මටත් අරමුණක් තියෙන නිසා මට කවුරු එක්කවත් තරගයක් නැහැ.
වෙළෙඳ දැන්වීම්වලට දායක වෙලා තියෙනවාද?
ඔව්, මම වෙළෙඳ දැන්වීම් හතකට විතර දායක වෙලා තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ වෙළෙඳ දැන්වීමක් කළා. මිල්ක් මේඩ් අලුත් වෙළෙඳ දැන්වීමක්, අභිෂේක මණ්ඩපයේ වෙළෙඳ දැන්වීමක් කළා. ස්වර්ණමහල් එකේ වෙළෙඳ දැන්වීමක් කළා. මැලිබන් එකේ වෙළෙඳ දැන්වීමක් කළා. එල්.ඕ.එල්.සී. එකේ වෙළෙඳ දැන්වීමක් කළා. ඒ දෙකම තාම විකාශය වුණේ නැහැ.
අපි කතා කළොත් ඉදිරි බලාපොරොත්තු සහ ඉදිරි කටයුතු ගැන?
මම දැනට ‘zumba class’ කරනවා. ඒක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ලැබෙන හොඳ නිර්මාණ බාරගෙන කරනවා. මගේ අරමුණ සිනමාවෙන් ඉස්සරහට යන්න.
අපි මතක් කරමු ඔයාට මේ ගමනට උදව් කරපු අයව?
මගේ දෙවියන් වහන්සේට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. එතකොට මගේ පවුලේ අය, මගේ අක්කා, මගේ අම්මා ගොඩක් ආසාවෙන් හිටියා මම කලාවට එනවට. එතකොට චරිත් අබේසිංහ අයියා, ධනුෂ්ක රේමන් අයියා, ලලිත් වසන්ත හා උපුල් ජයසිංහ ඇතුළු ‘නිල්වලා’ ටීම් එක, ශිරෝමිකා ප්‍රනාන්දු අක්කා, සඳුන් රාජකරුණා අයියා මේ හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද