පැණි මකුළුවන්ට මැදිවූ අයිෂාරා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-12-ent-87

නිරූපණ ක්‍ෂේත‍්‍රයට අමුත්තියක නොවූ ඇය, අයිෂාරා අතුකෝරාළය. ‘‘අයිෂ්’’ ලෙස නිරූපණ ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින ඇය ගැන මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ ඉසුරු වීරසිංහ මුදලිගේ අධ්‍යක්‍ෂණයෙන් සහ උදාර පල්ලියගුරුගේ නිෂ්පාදනයෙන් තිරගත වන ‘‘පැණි මකුළුවෝ’’ චිත‍්‍රපටය නිසාය. එහි ප‍්‍රධාන නිළි චරිතය සමග සිනමාවට පෑයූ මේ අලූත් ශිල්පිනියට මෙවර සඳැල්ල කතාබහට අපි ඇරයුම් කළෙමු.

 

අයිෂ් කියන්නද ? අයිෂාරා කියන්නද?

2017-05-12-ent-86නිරූපණ ක්‍ෂේත‍්‍රයේ හැමෝම වාගේ කතා කරන්නෙ අයිෂ් කියලයි.

 

රඟපාන්න එන්න හිතුවෙ ?

විලාසිතා නිරූපණ ශිල්පිණියක ලෙස කටයුතු කරද්දී රඟපෑමට බොහෝ ආරාධනා ලැබුණා. එයින් ලබාගත් එක් අවස්ථාවක් කියලා මේ චිත‍්‍රපටය නම් කරන්න පුළුවනි.

 

ඉගෙනීම් කළෙත් කලා ක්‍ෂේත‍්‍රයට ඒමේ අරමුණ ඇතිවද?

මගේ විෂයයන් සීමා වුණේ නීති අංශයට. නීතිය ගැන තමයි හදාරමින් සිටින්නෙ.

 

ඒ කියන්නෙ හෙට දවසේ ‘‘නීතිඥවරියක්’’

නීතිඥවරියක වීම තමයි ප‍්‍රධාන අරමුණ.

 

රඟපෑම ගැන විශේෂත්වයක් ඇති වුණේ ?

විලාසිතා නිරූපණ ශිල්පිනියක ලෙස සිටියදී රඟපෑම සඳහා අවස්ථා ලැබුණාම ප‍්‍රවීන රංගවේදී මහේන්ද්‍ර පෙරේරාගේ රංග අභ්‍යාස ආයතනයට ගොස් පුහුණුවක් ලබාගත්තා. රඟපෑම ගැන ලොකු ආසාවක් වගේම උනන්දුවක් ඇති වුණේ එහිදීයි.

 

ඊට පෙර රඟපාලා තිබුණෙම නැද්ද?

නැහැ, මේ තමයි මගේ ප‍්‍රථම අවතීර්ණ වීම.

 

ඒ හැර ටෙලිනාට්‍යවල රඟපාලත් නැද්ද?

මේ දිනවල රූගත කිරීම් පටන්ගත්ත සනත් ගුණතිලක මහතාගේ මංගල තෑග්ග ටෙලි මාලාවේ රඟපෑමට එක්ව සිටිනවා.

 

මංගල තෑග්ග චිත‍්‍රපටය ද ටෙලිනාට්‍යයක් ලෙස නිර්මාණය වන්නේ?

චිත‍්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වන ටෙලි චිත‍්‍රපටියක්.

 

‘‘පැණි මකුළුවෝ’’ ගැන ඊළඟට කතා කළොත්? එය වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත‍්‍රපටයක්ද?

කොහෙත්ම නැහැ. මම හිතන්නේ එය මුළු පවුලටම නැරඹිය හැකි චිත‍්‍රපටයක්. විශේෂයෙන් කාන්තා පරපුර නැරඹිය යුතුම චිත‍්‍රපටයක්.

 

ඇයි ඔබ එහෙම කියන්නෙ? කාන්තාවන් විශේෂයෙන් නැරඹිය යුත්තේ ඇයි?

මම හිතන්නේ මම චිත‍්‍රපටයේ කතාව කියනවාට වඩා එය නරඹන්න ආවොත් ඒ අපූරු චිත‍්‍රපටයේ රසය විඳගන්න පුළුවන් වේවි කියලා.

 

මෙහි ප‍්‍රචාරක පෝස්ටර් දැන්වීම ගැන බොහෝ දෙනා කුතුහලයෙන් කතා කරන බවත් පෙනෙනවා. නිරාවරණය වූ ඡායාරූපයක් එහි දකින්ට ලැබෙනවා?.

ඒ කුතුහලය ඇතිව මේ චිත‍්‍රපටය නැරඹීමට ආවොත් මොකක්ද වෙන්නේ කියලා දැනගන්න පුළුවනි. දියණිවරු, අම්මාවරුන්ට අනිවාර්යෙන්ම පැණිමකුළුවෝ නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ‘‘කාන්තාවනට සිදුවන අසාධාරණයක්’’ ගැන තමයි කතා වෙන්නෙ.

 

ඔබගෙ චරිතය මොන වගේ එකක්ද?

ගමක සිට නගරයට පැමිණි තරුණියක්. ඇය ව්‍යාපාරිකයකු සමග විවාහ වෙනවා. අන්තර්ජාලය භාවිතා කිරීම නිසා ඇයට මොන වගේ දේවලටද මුහුණ දෙන්න වෙන්නෙ? ඒ ගැන ඔක්කොම මම කියන්නෙ නැහැ. මේක හරිම ආදර්ශවත් කතාවක්.

 

අන්තර්ජාලය ඔබ කොහොමද භාවිතා කරන්නෙ?

ඕනෑම දෙයක් හරි විදියට සහ සමාජයට කරදරයක් නොවන විදියට භාවිතා කිරීම තමයි වැදගත්. අන්තර්ජාලය යනු අද ඕනෑම කෙනෙකට නැතුවම බැරි දෙයක්.

 

එක පැත්තකින් ඔබ නීතිය හදාරනවා. තවත් පැත්තකින් විලාසිතා නිරූපණ ශිල්පිනියක්. දැන් සිනමා හා ටෙලි රංගන ශිල්පිනියක්? මොකක්ද ඔබගෙ ප‍්‍රධාන අංශය වෙන්නෙ?

නීතිය ගැන තමයි මම විදේශගතව හැදෑරුවෙ. ඉන්පසුව ලංකාවට ඇවිත් නීතිය හදාරන්න අවශ්‍ය වුණා. රඟපෑමට මම කැමතියි. සිනමා නිර්මාණ නැරඹීමට කුඩා කාලයේ සිටම පුරුදු වුණා. හොඳ සිනමා නිර්මාණවලට දායකවීම තමයි මගේ අරමුණ.

 

අද පවතින ශ්‍රී ලාංකීය සිනමාව ඔබ දකින්නෙ මොන විදියටද?

සිනමාව යනු සැබැවින්ම ඉතා වින්දනීය කලා මාධ්‍යයක්. මගේ මූලික කැමැත්ත තියෙන්නෙත් සිනමා රංගනයටයි. වින්දනීය දෘෂ්‍ය මාධ්‍ය අතරින් සිනමාව ඇත්තෙන්ම ප‍්‍රබලම මාධ්‍ය බව මගේ හැඟීමයි.

 

මේ චිත‍්‍රපටය ඔබට දැනෙන්නෙ මොන විදියටද?

ඇත්තෙන්ම එක් චරිතයක් රඟපෑ පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නෙ නැහැ. මෙහි රඟපාලා ඉවරවුණාම මට හැඟුණේ මීටත් වඩා හොඳට තව කරන්න තිබුණනෙ කියලයි. තවදුරටත් මම රංගනය ගැන හදාරමින් සිටින්නෙ. මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ තවම රංගනය ගැන හදාරනවා. ඉදිරියටත් රංගනය ගැන තව තව සෙවුම් බැලූම් කරාවි.

 

වේදිකාවට ඔබ අවතීර්ණ වුණේ. ප‍්‍රවීණ අධ්‍යක්‍ෂ ජයන්ත චන්ද්‍රසිරිගෙ ‘හංකිති දහතුන’ සමගයි. ඒ අත්දැකීම ගැන කිව්වොත්.?

ඒක ඇත්තටම සරසවියකට ගිහින් රංගනය ගැන හැදෑරුවා වගේ දෙයක්. ජයන්ත සර් මෙන්ම එහි රඟපාන ප‍්‍රවීණ රංග ශිල්පීන් වෙතින් ලද ගුරු හරුකම් සහ අත්දැකීම් බොහොමයි. ජයලාල් රෝහණxශි‍්‍රයන්ත මෙන්ඩිස් වැනි දැවැන්ත රංගවේදීන් එක්ක රඟපෑමට ලැබීමට භාග්‍යක් වුණා.

 

මේ විදියට කලාවේ නිරත වෙමින් ඔබ මොන විදියෙ දෙයක් කරන්නද හදන්නෙ? අනාගතයේදි දේශපාලනයට ඒමේ අරමුණ ඇතිව ඒ වටපිටාවද මේ සකස් කර ගනිමින් සිටින්නේ?

මගේ ජීවන රිද්මය සහ ආසාව කලාවයි. එහිදී හොඳම නිර්මාණවලට දායක වී බොහෝ පිරිසකට වින්දනීය බවක් මෙන්ම සමාජයට යම්කිසි පණිවුඩයක් දිය හැකි නම් එය හොඳ දෙයක්. ඒ නිසා හොඳම නිර්මාණවලට දායකවීම තමයි අරමුණ. නීතිය මගේ වෘත්තීය වේවි.

 

අලූතින් එන කෙනෙකුට අපේ සිනමාවේ වටපිටාව මොන විදියටද නිර්මාණය වී තිබෙන්නෙ?

අලූතින් එන කෙනෙකුට එක්වර පැහැදිලි බවක් ඇතිවෙන්නෙ නැහැ. ක්‍ෂේත‍්‍රය මොකක්ද වෙන්නෙ කියන එක ගැන හරි අවබෝධයක් ගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. මූලිකම දේ රංගනය ගැන හදාරන්න ඕනෑ. ඒ වගේම ක්‍ෂේත‍්‍රයේ හැසිරිය යුතු ආකාරය ගැනත් හිතන්න වෙනවා. මූලිකවම අපි ඉතා හොඳ විනයක් ඇතිව වැඩ කළ යුතුයි. එවිට අපට අනෙක් අයගෙ ගරුත්වය ලැබේවි ක්‍ෂේත‍්‍රයේ ස්වභාවය ඒ වගෙයි.

 

ඔබගෙ ඉදිරි නිර්මාණ ගැන කිව්වොත්?

පැණි මකුළුවන්ට අමතරව ප‍්‍රදීප් ධර්මදාසගෙ ‘‘අයිස්කී‍්‍රම්’’ චිත‍්‍රපටයේ රඟපෑවා. ඊට අමතරව චිත‍්‍රපට දෙකක රඟපෑමට එක්ව සිටිනවා.

 

අයිස්කී‍්‍රම් චිත‍්‍රපටයේත් රඟපෑ ‘‘අයිෂ්’’ මොන වගේ කෙනෙක්ද?

මම හිතන්නේ මම ගැන මම කතා කළයුතු නැහැ. අනෙක් අය මා ගැන කියන අදහස් මට ඊට වඩා වටිනවා. හැබැයි එක දෙයක්, නිතරම මම හරි දේ කරන්න උත්සාහ ගන්න කෙනෙක්.

 

හැඩගැන්වීම් ලක්කිත උක්වත්ත

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-05-12-ent-82 2017-05-12-ent-83 2017-05-12-ent-84 2017-05-12-ent-85