පාසල් වේදිකාවටත් මම නැතුවම බැරි කෙනෙක්
ස්වාධීන රූපවාහිනි නාළිකාවේ දිගහැරෙන ‘තෝඩු’ ටෙලි නාට්‍යයේ ‘දිනිති’ ලෙස රංගනයෙන් දායක වන සෙව්වන්දි නයනතාරා මෙවර ‘තරුණයා’ මුල්කවරය සරසන්නීය. ඇය රංගනයෙන් දායක වෙන පළමු ටෙලි නාට්‍ය රංගනයද මෙය වන අතර, සෙව්වන්දි ගීත රූප රචනා කිහිපයක් සඳහාද මේ වනවිට රංගනයෙන් දායක වී ඇත. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතාබහකි.
‘තෝඩු’හි ‘දිනිති’ට ලැබෙන රසික ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳයි. ඒක මගේ පළමු රංගනය. බොහෝ අය මාව අඳුනගෙන දැන් කතා කරනවා. ඒ අය මට ආදරේයි. ඒ වගේ දේවල් අත්විඳන්න ලැබෙන කොට ලොකු සතුටක් දැනෙනවා.
මේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ?
නිල්වලා ආයතනයේ ලලිත් වසන්න සර්ගේ ආරාධනයක් හරහා. ගෙදරින් නම් කැමති නැහැ මම රඟපානවට. ‘තෝඩු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් තවත් නිර්මාණ රැසකටම මට ආරාධනා ලැබුණා. නමුත්, ගෙදර අයගේ අකමැත්ත මත මම ඒවා ප්‍රතික්ෂේප කළා. ලලිත් සර් මගේ තාත්තාගෙන් කිහිප සැරයක් අහලා තමයි ‘තෝඩු’ ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරගත්තේ.
‘දිනිති’ චරිතය ඔබට ගැළපෙන එකක්ද?
පෞද්ගලික ජීවිතේට ගොඩක් දුර සමානයි. හැබැයි ‘දිනිති’ තරම් නම් මම අහිංසක නැහැ. ‘දිනිති’ කියන්නේ ප්‍රශ්න තිබුණත්, හිනාවෙලා ඉන්න කෙනෙක්. මගේ පෞද්ගලික ජීවිතේට මේ චරිතය ගොඩක් සමාන නිසා මේ චරිතය කරන්න පුළුවන් වුණා. ඒ වගේම මම එයට උපරිම සාධාරණයක් කරා කියලා මට හිතෙනවා.
ඉදිරියටත් රඟපාන්න කැමතිද?
රඟපාන්න නම් කැමතියි. ඒත්, ගෙදර අය කැමැති නැහැ මම රඟපානවාට. මේ අවස්ථාව ලැබුණේ ලලිත් සර්ගේ ඉල්ලීම මත. බොහෝ විට මේ මගේ පළමු හා අවසන් රංගනය වේවි කියලා හිතනවා.
පාසල් යන කාලයේ කලාවට තිබුණ කැමැත්ත මොන වගේද?
මම මුලින්ම පාසල් ගියේ කොළඹ සංඝමිත්තා විද්‍යාලට. ඊට පස්සේ සාමාන්‍ය පෙළ කරන්න කොළඹ ගෝතුමි බාලිකාවට ගියා. උසස් පෙළ කරන්න කොළඹ සිරිමාවෝ විද්‍යාලයට සම්බන්ධ වුණා. පාසල් යන කාලේ මම කලා කටයුතු එක්ක තමයි වැඩිපුරම හිටියේ. සංගීතය හා නර්තනයට තමයි මම ගොඩක්ම දක්ෂ. පාසල් වේදිකාවටත් මම නැතුවම බැරි කෙනෙක්. කොටින්ම කියනවා නම්, පාසල් යන කාලයේ වැඩිපුර හිටියේ සංගීත කාමරේ.
‘තෝඩු’ තුළින් ඔබව දකින කොට ගෙදර අයගේ තියෙන පිළිගැනීම කොහොමද?
ඒ අයට ගොඩක් ආසයි. විශේෂයෙන්ම තාත්තාට. නෑදෑයෝ, යාළුවෝ වුණත් කතා කරලා මට සුබ පතනවා. බලමු ඉදිරියට ගෙදර අයගේ අදහස වෙනස් වුණොත්, මම දිගටම රඟපාවි.
බුද්ධික සේනාධීර
ඡායාරූප - කවීත් මිලින්ද