පාසල් යන කාළේ මම කලා විෂයන් ඔක්කොම කළා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201012Hot (1)

කවී වික්‍රමසිංහ කියන්නේ කවූද?

කවී කියන්නේ හරිම සරළ චරිතයක්. හැබැයි බොහෝ පිරිසක් මාව අඳුනගත්තේ සිරස රූපවාහිනි නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට. අද මම ප්‍රවෘත්ති නිවේදිකාවක් වගේම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට කටයුතු කරමින් සිටිනවා.  

නිවේදිකාවක් ලෙස ඔබගේ ගමන ඇරඹෙන්නේ කොහොමද?

උසස් පෙළ විභාගයට මුහුණ දෙන කාළේම මම නිවේදනය පිළිබඳව පාඨමාලාවක් කළා. මොකද, ක්ෂේත්‍රයට එන්න කළින් ඒ පිළිබඳව දැනුමක් ලබාගන්න අවශ්‍ය නිසා. මගේ පවුලේ අය දන්නෙත් නැහැ. අම්මා, තාත්තා ගොඩක් උනන්ඳු කළේ කොහොම හරි ඉගෙන ගන්න කියලා. මට අයියා කෙනෙක් ඉන්නවා එයා තමයි උදව් කළේ. අවශ්‍ය දේවල්වලට සල්ලි දුන්නෙත් අයියා. ගෙදරට හොරෙන් තමයි මේ දේවල් කළේ. කොහොම හරි පාඨමාලාව කරගෙන යනකොට පුහුණුවට වගේ අපිව නාලිකාවලට දැම්මා නිවේදන කටයුතුවලට. ඔය විදිහට තමයි නිවේදිකාවක් විදිහට මගේ ගමන ආරම්භ වුණේ.

මුලින්ම වැඩ කරපු රූපවාහිනි නාලිකාව මතකද?

ඔව්, %ශ්‍රී ටිවි^ නාලිකාව. පාඨමාලාව කරපු තැනින් කිව්වා මේකට අයදුම් කරන්න කියලා. සම්මුඛ පරික්ෂණය තිබ්බේ මරදානේ. ළමයි ගොඩක් ඇවිල්ලා හිටියා මේකට. අවසානයේ මාව තමයි තේරුණේ.  'ශ්‍රී ටිවි' එකේ මම වැඩ කළෙත් උසස් පෙළ විභාගයට මුහුණ දෙන ගමන්. ගොඩක් අමාරු වුණා. මොකද උසස් පෙළ විභාගයට පන්තියන ගමන් තමයි එකේ වැඩ කළෙත්.  'ශ්‍රී ටිවි' එකේ මට දින පහක් ලැබුණා සජිවි වැඩසටහන් ඉදිරිපත් කරන්න. මම මාස 08ක් විතර ඒ නාලිකාවේ වැඩ කළා. පස්සේ ඒ නාලිකාවෙන්ම කිව්වා වෙන හොඳ නාලිකාවට යොමු වෙන්න උත්සාහ කරන්න කියලා. ඔය අතරේ මට අවස්ථාවක් ලැබුණා සිරස නාලිකාවට සම්බන්ධ වෙන්න. මේ වෙලාවේ මතක් කරන්න ඕනා ඒ ආයතනයේ සියළුම නිලධාරින්ව ඉතා කෘතවේදිව. මොකද, මට ලංකාවේ ජනප්‍රියම රූපවාහිනි නාලිකාව වැඩ කරන්න අවස්ථාව ලබාදුන්න එක ගැන. ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට මාව රටම අඳුන ගත්තේ සිරස නාලිකාව තුළින්. කාලයක් මම සිරසේ වැඩ කරලා මේ මෑතක ඉඳලා මම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ස්වාධින රූපවාහිනි නාලිකාවකත් සමග සම්බන්ධ වෙලා වැඩ කරන්න ගත්තේ.  

පාසල් යන කාලයේදීත් ඔබට නිවේදන හැකියාව තිබුණද?

නැහැ. නමුත්, මම කාලෙන් කාලයට විවිධ කලා විෂයන් හදෑරුවා. කාලයක් නර්තනය හැදැරුවා. ඊට පස්සේ සංගීතය කළා. පස්සේ නාට්‍යය හා රංග කලාවට යොමු වුණා. නිවේදිකාවක් වෙන හිනයක් නම් මගේ හිතේ තිබුණේ නැහැ. සිරසේ තනුජා අක්කා එහෙම වැඩසටහන් කරනවා බලන්න හරි ආසයි. ඒ ආසාව කැමැත්ත තමයි මාව නිවේදිකාවක් විදිහට යොමු කරන්න හේතු වුණේ කියලා මම හිතනවා. ඒත්, පාසල් කාලේදි නම් මට අදහසක් තිබුණේම නැහැ මේ වෘත්තියට යොමු වෙන්න.

නර්තනය, සංගීතය හදාරපු ඔබ ඇයි නිවේදන වෘත්තිය තෝර ගත්තේ?

සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ අපිට කලා විෂයන් තෝර ගන්න තියෙනවා නේ. මම ඉතින් මාසයක් සංගීතය කළා. ඊට පස්සේ නර්තනයට යොමු වුණා. චිත්‍ර හැරෙන්න මම හැම කලා විෂයකටම ඔය කාලේදී සම්බන්ධ වුණා. පාසලේ මාධ්‍යය සංගමයේ වුණත් මට තැනක් තිබුණේ නැහැ. පන්තියේ පළමු දෙවැනි හා තෙවැනි ස්ථාන ගන්න ළමයි ටිකම තමයි ඔය හැම එකේම මුලීකත්වය අරගන වැඩ කළේ. මම ඉතින් කතා කළොත් ඇරෙන්න හැම දෙයක් පස්සේ යන්නේ නැහැ. මගේ පවුලේ අයත් අහනවා ඇයි ඔයා මොකටවත් නැත්තේ කියලා. ඇත්තම කියනවා නම් මට පාසලේ තැනැක් තිබුණේම නැහැ ඔය වගේ දේවල්වලදී.

නිවේදිකාවක් නොවුණා නම් කවී ඔබ අද මොන වගේ වෘත්තියක නිරත වෙයිද?

තාත්තාට, අම්මාට හා අයියාට තිබුණේ ගිණුම් අංශයෙන් මාව රැකියාවකට යොමු කරන්න. නමුත්, මගේ හිතේ තිබුණේ නැහැ ඒ වගේ රැකියාවකට යන්න. මගේ පවුලේ අයගේ හිතේ තිබුණේ නැහැ මම නිවේදිකාවක් වෙයි කියලා. මටත් මේක අහම්බෙන් ලැබුණ දෙයක්. මගේ හිතේ තිබුණේ සැලුන් එකක් කරන්න. මොකද, එක තමයි මගේ හීනේ වෙලා තිබුණේ. පාසල් යන කාළේ ඉතින් මම ගොඩක් වෙලාවට හැඩ වැඩ වුණේ ඔය වගේ දේවල් කරලා. උසස් පෙළ කරලා ගෙදර ඉන්න කොට මගේ පවුලේ අය විවිධ දේවල්වලට මාව උනන්දු කරද්දි මම කිව්වේ සැලුන් එකක වැඩට යන්න තියෙනවා නම් නියමයි. ඒ වගේ එකක් දාගන්න පුළුවන්  හොඳයි කියලා. ඔය අතරේ තමයි මම පුවත්පතක දකින්නේ නිවේදනය සම්බන්ධව පාඨමාලාවක්. ඊට පස්සේ ඒකට යොමු වෙනවා මම.

ආකාර්ශණීය රුවක් ඔබට තියෙනවා. රඟපාන්න එහෙම ආරාධනා ලැබුණේ නැද්ද?      

රංගනයට දායක වෙන්න කැමතියි නැත්තෙමත් නැහැ. මම කලින් වැඩ කළේ සිරස රූපවාහිනි නාළිකාවෙ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට නේ. එතකොට ඔය වගේ බාහිර දේවල්වලට යොමු වෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඇත්තටම ඒකට යන්න බැහැ කිව්වොත් හරි. ඉතින් රඟපාන්න අවස්ථා කිහිපයක්ම ලැබුණත් මා කලින් කිව්ව දේවල් නිසා ඒකට යොමු වෙන්න බැරි වුණා. දැන්නම් මට ඒ වගේ ආරාධනාවක් ආවොත් භාරගන්නවා. දැන් වුණත් මම නිරූපණ කටයුතුවලට සුළුවට සම්බන්ධ වෙලා වැඩ කරනවා.

බුද්ධික සේනාධීර

ඡායාරූප - දුලීත ශ්‍රීනාත්

20201012Hot (2) 20201012Hot (3)