පාසල් කාලයේ ඉඳලම වේදිකාව හුරුපුරුදුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-735

ලාංකීය කලා ක්ෂේත‍්‍රයේ තරුණ රංගන ශිල්පිනියන් අතරින් මේ දිනවල වැඩි කතාබහකට ලක්වෙන චරිතයක් මෙවර සඳැල්ල කතා බහකට එකතු කරගත්තා. ඇය නමින් සචිනි වික‍්‍රමසිංහ.

 

සචිනි මේ දිනවල අලූත්ම ටෙලිනාට්‍යයක දකින්න ඉන්නවා?

ඔව්. අලූත්ම නිර්මාණය මම දායකවන ‘හදවතේ කතාව’ මේ දිනවල රාත‍්‍රී 9ට ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. ඒ වෙනුවෙන් මේ වෙද්දි හොඳ ප‍්‍රතිචාර තියෙනවා. මගේ චරිතය යුවනිකා. ඇය නපුරු චරිතයක්.2019-09-19-ent-737

මේ කතාවෙ ප‍්‍රධාන චරිතය වෙන්නෙ නිමේෂ්, ඔහුගේ මව කුඩා කාලයේදීම නැතිවෙනවා. නමුත් මවගේ බලාපොරොත්තු ආශාවන් ඉෂ්ට කරන්න නිමේෂ් බොහෝ මහන්සිවෙලා වැඩ කරනවා. කුලී වැඩ පවා කරමින් ජීවිතේ ගැටගහගන්න වෙරදරන තරුණයෙක් ඔහු. කාගෙත් ආදරයට ලක්වෙනවා. ඒ ඔහුගේ දක්ෂතා නිසා. කෙසේ හෝ ඔහු ජීවිතය ජයග‍්‍රහණය කරනවා. ඒ පිළිබඳව කතාව දිවෙන්නෙ. නමුත් ඉතින් යුවනිකා නම් ඔහුට දුෂ්ටකම් තමයි කරන්නෙ.

 

සචිනිට වැඩිපුර ලැබෙන්නෙ දුෂ්ට චරිත නේද?

ඔව්. ගොඩක් වෙලාවට මට ලැබෙන්නෙ නපුරු චරිත. මට ඒ චරිත ගැළපෙනවා කියලා හිතෙන නිසාද දන්නෙ නැහැ. වැඩිපුර ඒ චරිත ලැබෙන්නෙ. නමුත් මම ඇත්තටම නම් නපුරු නැහැ. ඒත් මම හිතනවා මට එවැනි චරිත රංගනයන් හොඳට කරන්න පුළුවන් කියලා. මම ඇත්තටම නපුරු නැති වුණත් නපුරුයි වගේ පේනවා.

 

සචිනි වැඩි කතාබහකට ලක්වුණේ දෙවෙනි ඉනිම නිසා නේද?

ඔව්, මම දෙවෙනි ඉනිමෙන් තමයි රංගන ක්ෂේත‍්‍රයට අවතීර්ණ වෙන්නෙ. ඊට පෙර පුංචි කාලෙදි ෂඔභ නාළිකාවෙ විකාශය වුණු සෙල්ලම් ගෙදර නිර්මාණයට සම්බන්ධ වෙලා හිටියා. ඊට අමතරව ටිකිරි පැය, සමනළ උයන ආදී වැඩසටහන්වලට සම්බන්ධ වෙලා හිටියා. ඉන් පසුව අධ්‍යාපන වැඩ කටයුතු නිසා ටිකක් මේ ක්ෂේත‍්‍රයෙන් ඈත් වෙන්න වුණා.

ඉන්පසුව තමයි 2017 වසරෙ මුලින්ම දෙවනි ඉනිමට සම්බන්ධ වුණේ.

 

දැන් දෙවෙනි ඉනිමෙන් ඉවත් වෙලාද?

මේ වසරේ ජනවාරි මාසයේ සිට මම දෙවෙනි ඉනිමෙ නැහැ. මොකද මගෙ චරිතය එතනින් ඉවත් වුණා. ඉන්පසුව තමයි අනෙකුත් නාට්‍යවලට සම්බන්ධ වුණේ.

 

මේ දිනවල නියැළෙන අනිකුත් නිර්මාණ?

ස්වර්ණවාහිනියේ විකාශය වන නෝ පාකින් සහ සියත නාලිකාවේ විකාශය වන ඉත්තෝ ටෙලි නිර්මාණ වලට සම්බන්ධ වෙලා ඉන්නවා.

නෝ පාකින්හි වෙනස්ම චරිතයක් කරන්නෙ. ඒ කොමඩි පැත්තට ටිකක් බර චරිතයක්. මීට පෙර එවැනි චරිත රංගනයක් කරලම තිබුණෙ නැහැ. ඒ වෙනුවෙනුත් හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම ‘ඉත්තො’් ටෙලිනාට්‍යයේ චරිත රංගනයත් ගොඩක් වෙනස් විදියෙ චරිතයක්. ඒ බොහෝ නිශ්ශබ්ද ගැහැණු ළමයෙකුගෙ චරිතයක්. ඉතින් මේ වෙද්දි විවිධාකාර චරිත ලැබිලා තියෙනවා එකිනෙකට වෙනස්. ඉතින් මාව විශ්වාස කරලා මට මේ චරිත ලබාදුන්නට සාරංග මෙන්ඩිස්, චාමිකා මෙන්ඩිස්, ප‍්‍රසාද් රත්නායක, සඳුන් රාජකරුණා, සුනෙත් ලොකුහේවා, තිලින බොරලැස්ස, තිමිර උඩලමත්ත යන අධ්‍යක්ෂවරු හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඔවුන් නිසා තමයි මට කලා ක්ෂේත‍්‍රයේ මේ දුර එන්න හැකිවුණේ.

 

රංගනයට අමතරව සචිනි නිවේදිකාවක් විදියටත් වැඩ කරනවා නේද?

ඔව්. ස්වර්ණවාහිනියේ වැඩසටහනක් මෙහෙයවනවා. ඒ අවස්ථාව මට ලබා දුන්නෙ ස්වර්ණවාහිනියේ මුදිත විජේසුන්දර අයියා. ඔහුවත් විශේෂයෙන් සිහිපත් කරන්න ඕනෑ

.

කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

මම පොඩිකාලෙ ඉඳන්ම කලාවට ගොඩක් ආසයි. මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්න ලොකු ආසාවක් තිබුණා. මම පාසල් ගියේ නුගේගොඩ සුජාතා විද්‍යාලයට. පාසලේත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම වේදිකා නාට්‍ය, නර්ථන කටයුතුවලට සම්බන්ධ වුණා. තරඟවලට සම්බන්ධ වුණා. ඒ නිසා වේදිකාව කොහොමත් හුරු පුරුදුයි.

නමුත් උසස් අධ්‍යාපන කටයුතු නිසා කලාවෙන් ටිකක් ඈත්වෙන්න වුණා. ඉන්පසුව අධ්‍යාපනය දිගටම කරගෙන මේ ජූනි මාසයේ තමයි උපාධිය ලබාගත්තෙ. මම දැන් එයාර් ක‍්‍රාෆ්ට් ඉංජිනියර් කෙනෙක්. ඒ වුණත් මම තවම රැුකියාවකට අයදුම් කළේ නැහැ. ඒ කලාවට තියෙන ආසාව නිසා. තව අවුරුදු දෙකකින් විතර රැුකියාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

වේදිකාවට/ සිනමාවට ආරාධනා ලැබුණෙ නැද්ද?

වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා. කුමුදු නිශාන්ත මහත්මයා අධ්‍යක්ෂණය කරන ‘කලූම කලූ මහත්තුරු’ වේදිකා නාට්‍යයට. ඒකත් වෙනස්ම අත්දැකීමක්. ඊට අමතරව සිනමාවටත් ආරාධනයක් ලැබුණා. නමුත් තවම එහි වැඩ කටයුතු ආරම්භ කළේ නැහැ. ඉදිරියට බලමු.

මේ ආපු ගමන් මග ගැන ගොඩක් සතුටුයි. ඉදිරියේදීත් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙලා හොඳ නමක් දිනාගෙන දක්ෂතම නිළිය වෙන්න ලොකු හීනයක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම මේ ගමනට දිරියක් වුණු මගේ පවුලේ අයවත් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.

 

ධනු විජේරත්න

ඡායාරූප: ගයශාන් කාවින්ද

 

 2019-09-19-ent-736