පාරේ යනකොට සමහරු මට බණිනවා
පසුගියදාක, නිල්වලා කණ්ඩායම අපිව එයාලගෙ දර්ශන තලයට රැගෙන ගියා. නීලපබළු රූගත කරන හැටි සහ එහි රඟපාන අය ගැන කියන්න. එතැනදි තමයි ‘මන්දිරාව’ හමුවුණේ. මන්දිරා පිටරට සිට ආවේ තමන්ගෙ තාත්තාව සොයාගෙන. ඒත් ඇය එන විට තාත්තා වෙන දියණියකට තාත්තා වෙලා. ඇයගෙ නම කුරුළු. මේ නිසා මන්දිරා අසරණ වෙනවා. ඒත් මන්දිරා ඒ දිහා උපේක්ෂාවෙන් දරාගෙන ජීවිතයට මුහුණ දෙනවා.
ගීත්මා ශෂිනි බණ්ඩාර ඇයගෙ නාමයයි.
එතකොට මන්දිරා වූ මේ ගීත්මා කවුද?
මගේ ගම හොරණ. අම්මයි, තාත්තයි, මල්ලියි මමයි. ඉගෙන ගත්තෙ හොරණ ශ්රීපාලියෙ. උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටියා. දැන් දෙවැනිවර නැවතත් උසස් පෙළ ගණිත අංශයෙන් පෙනී සිටීමට අධ්‍යාපනය හදාරනවා.
ඒ කියන්නෙ තවම අධ්‍යාපන කටයුතු හමාර කරලා නැහැ?
නැහැ, ඉදිරියට දිගටම උසස් අධ්‍යාපනයෙ නියැලෙන්න ආසයි. ඒ අතරේ තමයි කලා කටයුතුවලට දායක වන්නෙ.
කලාවට එන්නෙ?
2018 හිරු අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය ලැබුණෙ මට. එයින් ජයග්‍රහණ කරන රුවැත්තියන්ට රංගන හා නිවේදන අවස්ථා ලැබෙන තේමාව යටතේ තමයි හිරු අවුරුදු කුමරිය තරගය පැවැත්වුණේ. ඒ අනුව ඒ තරගය ජයග්‍රහණය කළ අය අතරින් මුලින්ම රඟපෑමේ වරම් ලැබුණේ මට. ඒක ලොකු භාග්‍යයක්. හිරු ගෙනෙන අහස් මාලිගා නාට්‍යයේ ‘තාරු’ වුණේ එහෙමයි. හැබැයි ඊට පෙර රූපවාහිනී දැන්වීම් රැසකට පෙනී සිටින්නට අවස්ථා ලැබුණා. මගේ ප්‍රථම දැන්වීම තමයි ක්‍රීම් කැකර් එක. එය අධ්‍යක්ෂණය කළේ ඇන්ඩෲ පුල්ලෙ (කූඹියෝ නාට්‍යයේ රඟපෑ) ඒ විදියට දැන්වීම් 26කට විතර මේ දක්වා පෙනී ඉඳලා තියෙනවා. මේ දිනවල කා අතරත් ජනප්‍රිය වෙලා තියෙන්නෙ. සිමෙන්ති ‘බෝඩිංකාරයෝ’ ඇඞ් එක. එක්ස්ටෙන්ඞ් නිර්මාණ ආයතනය නිසා තමයි මට ඒ අවස්ථා ලැබුණෙ.
එතකොට ‘නීලපබළු’ මන්දිරා වුණේ?
ලලිත් වසන්ත මහතාගේ ආරාධනය ලැබීම සහ සඳුන් රාජකරුණා මහතා යටතේ රඟපෑමට ලැබීම භාග්‍යයක්. මේ දිනවල මන්දිරාට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. මම මන්දිරා වුණේ එහෙමයි.
දෙබස් අමතක වන ගැටලූවක් තියෙනවලූ නේද?
ඔව්, ඒක නිතරම වෙන දෙයක්. ඉතින් නීලපබළු එකේ රඟපාන ප්රවීනයින් වගේම අධ්‍යක්ෂතුමාගේ කරුණාව නිසා ඒ වැරදි හදාගෙන රඟපෑමට අත්දැකීම් එකතු කරගන්නවා. පාරේ යනකොට සමහරු මට බනිනවත් එක්ක. ඇයි කුරුළුට ආදරය නැති කරන්න රට ඉඳලා ආවේ කියලා සමහරු අහනවා.
මේ නාට්‍ය හැර වෙනත් නිර්මාණ මොනවද?
තවත් නාට්‍ය කීපයටම ආරාධනා ලැබුණා. ඒත් උසස් පෙළට නැවතත් සූදානම් වන නිසා කාලය අනුව මට ගැලපෙන චරිත තෝරා ගැනීම තමයි අරමුණ.
උසස් පෙළ ගණන් හරිම සංකීර්ණයි නේද? රඟපාන අතරේ මේ ඔක්කෝම කරන්න පුළුවනිද?
අමාරු නම් තමයි, ඒත් කලාව සහ විභාගයට සූදානම්වීම සමබරව බැලන්ස් කරලා කරන්න උත්සාහ ගන්නවා.
උසස් පෙළ කරන්න ‘මනස’ නිරවුල්ව තබාගන්න ඕනෑ නේද? වැඩ වැඩිවුණාම ඒක කොහොමද කරන්නෙ?
කලාවට මම බොහෝම ආසා කෙනෙක්. ඒ නිසා කලාව කරන්නෙත් හරිම ආසාවෙන්. ඒත් උසස් පෙළ අධ්‍යාපනයෙන් ඈත් වෙන්නෙත් නැහැ.
ඉදිරි අරමුණ රඟපෑමට විතර ද? නැත්නම් ගණංකාරියක වීමට ද?
ජනප්‍රිය දක්ෂ නිළියක් වෙන්න ආසයි. අධ්‍යාපනයෙන් ඉහළට යාම මේ වෘත්තියට ආභරණයක් වේවි. ඉදිරියේ දී උගත් නිළියක ලෙස ක්ෂේත්රයේ දුර ගමනක් යාම තමයි අරමුණ.
ගීත්මාට ගීත ගයන්නත් පුළුවනි ද?
සාමාන්‍ය විදියට පුළුවනි.
වඩා දක්ෂ?
පාසලේදී මම වඩා ජනප්‍රිය වුණේ නිවේදිකාවක ලෙසයි. චිත්‍ර අඳින්නත් දක්ෂයි. අදටත් ඉඳහිටලා චිත්‍ර අඳිනවා. දැන් නම් වැඩියෙන්ම ආසා කරන්නෙ නර්තනයටයි.
ගීත්මාගේ ආදරේ මොන වගේද?
ගෙදරින් සහ පුංචි අම්මා, බාප්පා වගේම ඒ දෙන්නගෙ දුලා දෙන්නාගෙන් ලැබෙන ආදරය තමයි. තවම මගේ වයස අවුරුදු 20 යි. මගේ මේ කලා ගමනට හෙවනැල්ලක් වෙලා මට ගොඩාක් උදව් කළේ පුංචි අම්මා සහ බාප්පා. අදටත් එහෙමයි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ