ප්‍රමාද වෙලා හරි මටත් ප්‍රේමය ලැබේවි
ඇය පැවත එන්නේ මෙරට ප්‍රකට කලා පවුලක උරුමය රැගෙනය. එහෙත් හඬ කැඩම් ශිල්පිනියක, වේදිකා හා ටෙලිනාට්‍ය රංග ශිල්පිනියක ලෙස ඇය කටයුතු කරන්නේ ඒ උරුමය පමණක් දරා ගෙන නොවේ. හොඳ අධ්‍යාපනයකටද හිමිකම් ලබමිනි. තමුන් නියැලී සිටින විෂයයට සමගාමීව උපාධි ලද උපාධිධාරිනියක වන ඇය. ළසඳුනී ජයවර්ධනයි. ශ්‍රී ලාංකීය සිනමාවේ විශිෂ්ට රංග ශිල්පියකුව සිටි නැසීගිය, ඩොමී ජයවර්ධන ඇයගේ සීයාය. නැසීගිය ගායන ශිල්පී හා හඬකැවීම් අංශයේ ප්‍රවීනයකුව සිටි නිහාල් ජයවර්ධන ඇයගේ පියාය. අද ළසඳුනී ගැන වැඩි දෙනා කතා වන්නේ ශාන්ති දිසානායකගේ ගිරිදේවි නවකතාවට සමන්ත කුමාර ගමගේ ටෙලි පිටපත ලියූ, ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ ගිරිදේවි ටෙලි නිර්මාණය නිසාය. එහි වාසනා වූ ළසඳුනී සමග කළ කතාබහකි මේ.
ළසඳුනී, ඔබගේ සීයා සහ තාත්තාට අමතරව, පවුලේ කලාවට සම්බන්ධ තවත් අය ඇති?
මගේ බාප්පා කලාවට සම්බන්ධයි. ඒ වගේම අම්මා ශ්‍රියානි වත්තේගම කලාවට සම්බන්ධයි.
පවුලේ විස්තර කිව්වොත්?
මගේ තාත්තා නැතිවුණේ 2004දී. තාත්තා නිහාල් ජයවර්ධන.
ඉගෙන ගත්තෙ එහෙම මොනවගේ අරමුණකින්ද?
ඉගෙන ගත්තෙ නුගේගොඩ ශාන්ත ජෝෂප් බාලිකාවෙන්. උසස්පෙළ කලා අංශයෙන් සමත්වී, කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයෙන්. ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය ලබා ගත්තා. එහිදී මගේ විෂයය වුණේ නාට්‍ය හා රංග කලාවයි.
එතකොට ළසඳුනි ක්ෂේත්‍රයට ආවෙ කොයි කාලයේදීද?
මුලින්ම නම් මගේ වයස අවුරුදු 4දී, රෝයි ද සිල්වා මහතාගෙ රඹා සහ මධු චිත්‍රපටයේ හඬ කැවීම්වලට මාව එක්කර ගෙන ගිහින් අපේ තාත්තා ඒ චිත්‍රපටයේ හඬ කැවීම් කළා. තාත්තා එක්කගෙන යන්න ගෙදර ආවාම, මාව දැකලා මට ඒ අවස්ථාව ලබා දුන්නලු. ඉන්පසුව ළමා වියේ සිටම හඬ කැවීම් ශිල්පිනියක ලෙසත්, වෙළෙඳ දැන්වීම් සඳහා හඬ කැවීම් ශිල්පිනියක ලෙසත්, ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය රංග ශිල්පිනියක ලෙසත් කටයුතු කරමින් සිටිනවා.
මේ විදියට කලා ක්ෂේත්‍රයට ආවේ පවුලේ ආභාෂය නිසාද?
ඉස්සර බොහෝ දෙනාට හැකියාව තිබුණත්, අවස්ථා ලැබුණෙ නැහැ. ඒත් පවුලේ දැන හැදිනීම් එක්ක සහ දක්ෂතා තිබුණු නිසා මට අවස්ථා ලැබෙන්න පටන් ගත්තා. හැබයි O/L සහ A/L විභාග නිසා ඒ කාලයේදී කළේ ඉගෙනීම්වලට මුල්තැන දීමයි. තාත්තා කිව්වෙත් ඉස්සෙල්ලා හොඳින් අධ්‍යාපනය ලබන්න කියලයි. විද්‍යා හෝ වාණිජ අංශයෙන් වුණත් උසස් පෙළ කරන්න ඒ සාමාර්ථ තිබුණත් මගේ හිත තිබුණේ කලාවට. පවුලෙන් මට තහංචි තිබුණෙ නැහැ. අධ්‍යාපනයෙන් මම කැමති දේ කරන්න ඉඩ දුන්නා. සරසවි ප්‍රවේශය ලැබුවාට පසුව තමයි නැවතත් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.
ළමා වියේ සිට හඬ කැවීම් කළ චරිත කීපයක් සඳහන් කළොත්?
ඉසිවර වෙදැදුරු (ජින්යොන්) ජනහිතකාමී රැජිණ (ඩියොක්මාන්)
හිතට හොරෙන් (සම්සුන්) ධාරා (ධාරා) සිහින කුමරා (සේරියොන්) මේ වගේ තව බොහොමයක් තියෙනවා. කුංග්ෆු පැන්ඩා ටයිග්‍රස් සහ මෑතක් වනතුරු ආදරෙයි මං ආදරෙයි ආලියා ලෙසත් හඬ කැවීමෙන් එක් වුණා.
වේදිකා නාට්‍යයට එක්වූ හැටිත් කියමු?
මුලින්ම ක්ෂේත්‍රයට ආවේ ජෙහාන් අප්පුහාගේ හැපි ජර්නි (Happy Journy) නාට්‍යයෙන්. ඉන්පසුව සරත් කොතලාවලගෙ සුදු වලහා හිරෙන් පනී නාට්‍ය සහ ලූෂන් බුලත්සිංහල මහතාගේ ‘තාරාවෝ ඉගිලෙති’ නාට්‍යයේ රඟපෑමට ලැබුණා. එහි මා රඟපාන්නෙ එදා මර්සි එදිරිසිංහ ශිල්පිනිය රඟපෑ චරිතයයි. තාරාවෝ ඉගිලෙති’ මට ලැබුණු ලොකු අවස්ථාවක්. ඊට කලින් තවත් නාට්‍ය කීපයකටම දායක වෙලා තියෙනවා. පුන්තිලා නාට්‍යයේත් රඟපෑවා. සිංහල චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට හඬ කැවීම් කළේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ ඊතලයටයි.
අද ඔබ අපට හමුවන්නෙ. ගිරිදේවි නාට්‍යයෙන්, ඊට පෙර දායක වූ ටෙලි නිර්මාණ සිහිපත් කළොත්?
සරසවි අධ්‍යාපනය ලබන කාලයේදී සරා, මලී, සහ අහසින් වැටුණා නාට්‍ය වල රඟපෑවා. ඉන්පසුව උපාධියේ අන්තිම හරිය ඉගෙන ගනිමින් සිටි නිසා ලැබුණු චරිත කීපයක් මගහැරුණා. ඉන්පසුව මට හිතට දැනෙන චරිතයක් ලැබුණෙ නැහැ. ඒ අතරේ වේදිකාවේ හොඳ හරිත කීපයකට දායක වුණා. එහි සජීවී රංගනයට මම හරි ආසයි.
‘ගිරිදේවි’ චරිතය ගැන කියමු?
මේ නාට්‍යය හොඳ කතාවකට සහ තිර පිටපතකට අනුව නිර්මාණය වූ නාට්‍යයක්. දසුන් පතිරණ අයියා, නිසා තමයි මට මේ චරිතය ලැබුණෙ. එ්කත් එක්තරා විදියක අහම්බයක්. වසර හතකට විතර පසුව තමයි මම මේ විදියට ටෙලි චරිතයකට එක්වුණේ. මේ චරිතයට ප්‍රවේශ වීමට පෙර, ඒ ගෙවී ගිය වසර හතක කාලයේදී මට හොඳ නිර්මාණ රැසක් නරඹන්න ලැබුණා. රසවිඳින්න ලැබුණා. ඒත් ඒ රසවිඳීම් සහ හැදෑරීම් එක්ක දක්ෂතා පිට කරන්න අවස්ථා ලැබුණෙ නැහැ. හැබැයි ‘ගිරිදේවි’ නාට්‍යයේ ‘වාසනා’ චරිතය නැවතත් මට වාසනාව ගෙනැල්ලා දුන්නා. ප්‍රේක්ෂකයින් ඉතා ආසාවෙන් නරඹන නාට්‍යයක්. හොඳ රසයක් එක්ක, හොඳ බරක් තියෙන නාට්‍යයක්. අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක සහ මෙම නාට්‍යයේ සමස්ත කණ්ඩායම වෙතින් මෙම චරිතය රඟපාද්දී මට ලැබුණෙ විශාල සහයෝගයක්.
මේ විදියට අපට හමුවන මේ ‘ළසඳුනි’ මොන වගේ කෙනෙක්ද?
වෘත්තියෙන් මම ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස සේවය කරනවා. ගුරු වෘත්තිය ආදර්ශවත් විදියට ගත කරන චරිතයක්. ඒත් සාමාන්‍ය ජීවිතයේදී මගේ යාළුවෝ හිතවතුන් සහ මා වටා සිටින සියලු දෙනා ඉදිරියේ මම බොහොම සරල, සැහැල්ලු කෙනෙක්. හැමෝම එක්ක මිත්‍රශීලි චරිතයක්.
‘ළසඳුනී’ ප්‍රේමය නම් කුමක් කියලද ඔබට හිතෙන්නේ?
කෙනාගෙන් කෙනාට වෙනස්වන දෙයක්.
ඒ ප්‍රේමයට මැදිවෙලාද?
තවම එහෙම ප්‍රේමයක පැටලී නැහැ. සුදුසු දේ සුදුසු වෙලාවට ලැබේවි. එක් එක්කෙනාට ලැබෙන විදිය විවිධාකාරයිනෙ. ප්‍රමාද වෙලා හරි මටත් ප්‍රේමය ලැබේවි.
තාත්තාට වගේම ළසඳුනිට ගීත ගයන්න පුළුවන් ඇති?
ගායනයට මම ආසයි. මගේම නිර්මාණයක් කරලා තියෙනවා. වේදිකාවේ කෙටි නාට්‍යයක වගේම හේලී නාට්‍යයේ පසුබිම් ගීතයකටත් දායක වුණා. කොහොමටත් මට වේදිකාවේදී රඟපෑමට ලැබී තිබෙන්නෙත් ගීතමය රිද්මය රැගත් නිර්මාණයි.
තාත්තා ගැයූ ගී අතරින් වැඩිපුර කැමති ගීතය?
හැමෝම වගේ රොනට ඇදෙන ගීතයට ආසයි. ඒ වගේම අම්මා ලියූ තාත්තා ගැයූ දියණියනේ ගීයටත්, ආදර සීතල යහනාවේ ගීතයටත් ආසයි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ