ප්‍රධාන චරිතයක් ලබන්න තරම් මම තාම පිං කරලා නැද්ද කොහෙද?
ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වන ‘කෝටිපතියෝ’ ටෙලිනාට්‍යයේ ‘මධුකා’ චරිතය තුළින් මේ දිනවල ප්‍රේක්ෂක ඔබ අතරේ ජනප්‍රියව ඇති රුක්ෂානා දිසානායක සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අපි මෙලෙස ආරම්භ කළෙමු. ‘කෝටිපතියෝ’ ටෙලිනාට්‍යයට අමතරව ඇය ‘මෙඩි සිනා’, ‘සඳ පිණි වැස්ස’ හා ‘සඳ දිය සිත්තම්’ ටෙලි නාට්‍යය තුළින්ද මේ දිනවල දැක ගත හැකිය.
‘කෝටිපතියෝ’ ටෙලියේ ‘මධුකා’ කිව්වොත් දැන් හැමෝම වගේ දන්නවා නේද?
‘මධුකා’ කියන්නේ කාලයක් තිස්සේ මම බලාපොරොත්තුවෙන් සිටි චරිතයක් කිව්වොත් හරි. ‘කෝටිපතියෝ’ අධ්‍යක්ෂණය කරන ශිවගුරුනාදන් මහත්මයාත් එක්ක වැඩ කරන ප්‍රථම වතාව මේක. ඔහුත් එක්ක වැඩ කරන්න ගොඩක් ආසාවෙන් මම හිටියේ. මෙතෙක් මා රංගනයෙන් දායක වූ ටෙලිනාට්‍යය චරිත ගත්තොත් ‘මධුකා’ කියන්නේ වෙනස්ම විදිහේ චරිතයක්.
ප්‍රේක්ෂකයන්ගේ වැඩි ප්‍රතිචාර ලැබෙන්නේ මධුකාටද? ජූඩිටද?
‘මේඩි සිනා’ ටෙලියේ ‘ජූඩි’ කියන චරිතයට ගොඩක්ම ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක්ම පොඩි ළමුන්ගෙන්. පාර තොටේදී දැක්කත් ‘ජූඩි’ කියලා කතා කරනවා. ඒ වගේම තමයි ‘කෝටිපතියෝ’ ටෙලියේ ‘මධුකා’ කියන චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘සඳ දිය සිත්තම්’ හා ‘සඳ පිණි වැස්ස’ ටෙලි නිර්මාණවල මා රඟපාන චරිතය ලොකුවට කතා වෙන්නේ නැහැ.
ටෙලි නිර්මාණ ගොඩක අපි දැක්කත්, රුක්ෂානාට තවමත් ප්‍රධාන චරිතයක් ලැබිලා නැහැ?
ඒ වගේ දෙයක් ලබන්න තරම් මම තාම පිං කරලා නැද්ද කොහෙද? බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉතාම ඉක්මනින් ටෙලි නිර්මාණයක ප්‍රධාන චරිතයකට මට ආරාධනා ලැබෙයි කියලා. ප්‍රධාන චරිතයක් නොලැබුණා කියලා එහෙම ලොකු කනගාටුවක් මට නැහැ. මොකද, මම මෑතකාලයේ රංගනයෙන් දායක වුණ හැම චරිතයක් වගේම ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණා. මම හිතනවා ප්‍රධාන චරිතයක් ලැබෙනවාට වඩා, ප්‍රේක්ෂකයන් මා ගැන කතා කරන චරිත මට ලැබුණ එක මට ගොඩක් සතුටුයි.
‘උලත් එකයි පිළත් එකයි’ චිත්‍රපටයෙන් පස්සේ ඔබ සිනමාවේ දැක්කේ නැහැ?
මෑත කාලයේ නම් චිත්‍රපට සඳහා එකතු වෙන්න ආරාධනා ලැබුණේ නැහැ. නමුත්, ‘උලත් එකයි පිළත් එකයි’ චිත්‍රපටයට සම්බන්ධ වුණ කාලයේ තවත් චිත්‍රපට දෙකක වැඩ කළා. එකක් ‘පාටක් නැති ආදරේ’. අනෙක් චිත්‍රපටය ‘යම රජ සිරි’ කියලා. චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න දැන් තියෙන තරගකාරීත්වය මත මේ චිත්‍රපට දෙක කල්යන්න හේතුවක් වුණා කියලා හිතනවා. බොහෝ විට මම හිතන විදිහට මේ චිත්‍රපට දෙකම මේ වසරේදී ප්‍රදර්ශනය වේවි කියලා මම හිතනවා.
රුක්ෂානා දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒත්, ඇයි ඔබට රියලිටි තරග සඳහා ආරාධනා නොලැබෙන්නේ?
ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා රියලිටි වැඩසටහනකට ආරාධනයක් ලැබෙයි කියලා. නමුත්, අපි ලොකුවට ජනප්‍රිය නැති හින්දා වෙන්න ඇති එහෙම ආරාධනයක් අපිට ලැබුණේ නැත්තේ. මම විශ්වවිද්‍යාලයෙත් නර්තන පිළිබඳව තමයි හැදෑරුවෙ. දැනට මගේම කියලා නර්තන පන්තියකුත් පවත්වාගෙන යනවා. කොහොම වුණත් පොඩි හරි විශ්වාසයක් තියාගෙන ඉන්නවා ඉදිරියේදී රියලිටි වැඩසටහනක් සඳහා සම්බන්ධ වෙන්න ආරාධනයක් ලැබෙයි කියලා.
සිවුවසරක කාලයක් වෙනවා ඔබ නිළියක් විදිහට වැඩ කරන්න අරගෙන?
ඔව්, රංගන ක්ෂේත්රය තුළ ඉතාම හෙමින් ගමනක් තමයි මේ කාලය තුළ මම ආවේ. තවමත් ප්‍රධාන චරිතයකට රඟපාලා නැතත්, මම ටෙලි නාට්‍යය 50කට ආසන්න ප්‍රමාණයක් දැනට රඟපාලා තියෙනවා. එකෙන් 25ක විතරක් විනාඩි කිහිපයක් දිවයන චරිතවලට තමයි පෙනී ඉඳලා තියෙන්නේ. එහෙම හෙමින් ගමනක් ඇවිල්ලා අද ප්‍රේක්ෂකයන් කතාබහ කරන නිළියක් බවට මම පත්වෙලා තියෙනවා. ඒ ගැන තියෙන්නේ නිහතමානි සතුටක්.