පළමු දේ පිරිසුදුකම දෙවැනි දේ පිළිවෙල
ඇය දෙවැනි ඉනිම, පාවෙන වළාකුළු නරඹන ඔබට නම් ඇගේ රුව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත.
රංගන ශිල්පිනියක් වෙන්න හීනයකින්වත් නොසිතූ ඇගේ දෛවය වෙනස් වී ඇත්තේ අහම්බෙනි. සෞන්දර්යය සරසවියෙන් සංගීතය හැදෑරු ඇය අද වනවිට රටම දන්නා ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන දක්ෂ රංගන ශිල්පිනියකි. සුන්දරත්වය ගැන දැනගැනීමට බොහෝ කරුණු ඇති නිසාම, අපි නඳුනි කරුණාතිලක සමඟ කතා කළෙමු.
රහසක් නෑ. පුළුවන් හැම වෙලාවකම හිත පිරිසිදුව සතුටින් තියාගන්න උත්සහ කරනවා. ඊට අමතරව හම ලස්සනට තියා ගන්නයි, ඇඟ හැඩට තියාගන්නයි පුංචි පුංචි දේවල් ටිකක් කරනවා.
අපිත් ආසයි ඒවා දැන ගන්න.
උදේ නැගිට්ට ගමන්ම ලොකු උණුවතුර වීදුරුවක් බොනවා. ඊට පස්සේ තමයි තේ එකක් හරි කැඳ එකක් හරි බොන්නේ. මම දවසට වතුර ලීටර් 4ක් විතර බොන්න පුරුදුවෙලා ඉන්නවා.
ඊට අමතරව තැඹිලි බොන්න ආසයි. කෝමාරිකා මදය බ්ලෙන්ඩර් කරලා දෙහි බිංදු දෙක තුනක් දාලා බොනවා. ගස්ලබු, කොමඩු වගේ පලතුරු සීනි නොදා යුෂ විදියට පිළියෙල කරලා පානය කරනවා.
ඇඟ මහත්වෙන නිසා බත් නම් කන්නේ හරිම අඩුවෙන්. උදේට ඕට්ස් වගේ පෝෂ්‍යදායී කෙටි ආහාරයක් ගන්නවා. දවල්ට මාළු හරි මස් හරි පොඩ්ඩක් තම්බලා, ඔලිව් ටිකක් දාලා, එළවළුයි බත් ටිකකුයි එක්ක ගන්නවා. රෑට නම් එළවළු සුප් එකක් වගේ පොඩි දෙයක් තමයි ආහාරයට ගන්නේ.
ඩයට් කරන දවසට බත් කන්නේ හරිම අඩුවෙන්. එළවළු පලතුරු වැඩිපුර කනවා. ඊට අමතරව බිත්තර සුදු මදෙත් කනවා. ඔය වගේ දේවල් ටිකක් තමයි කරන්නේ. ඇඟේ හැඩය නියමිතව තියා ගන්න ඉස්සරනම් නිතරම ව්‍යායාම කළා. ඒත් දැන් වැඩ වැඩි නිසා ඉඳහිට ඇවිදිනවා, දුවනවා හැරෙන්න ලොකු ව්‍යායාමයක් නම් කෙරෙන්නෑ. ඉස්සරහට නර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා.
මුහුණට මොනවගේ සත්කාරයක්ද කරන්නේ.
මේකප් ගොඩක් ගොඩ වෙලාවක් මුහුණේ තියෙන නිසා නිවසේ නිවාඩු පාඩුවේ ඉන්න දවසට කෝමාරිකා මදය මුහුණේ ආලේප කරනවා.
ඊට අමතරව මුදවපු කිරි, කස්තුරි කහ, මී පැණි මිශ්‍ර කරලා මූණේ ගානවා. එයත් හිතකර ස්වභාවික ආලේපනයක්.
හම සුදු කරගන්න මොකුත් කරන්නේ නැද්ද?
නැහැ. හම සුදු කරගන්න ආසාවක් තියෙන්නේ අපේ රටේ අයට. හමේ පාට වෙනස් කරගත්තා කියලා අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. මම පෞද්ගලිකව හිතනවා අපිට හොඳ පෞරුෂයක් තියෙනවා නම් තමන්ට තමන් ගැන විශ්වාසයක් තියෙනවා නම් තමා නියැලෙන ක්ෂේත්රය ගැන අවබෝධයක් හැකියාවක් තියෙනවා නම් සමේ පාට කුමක් වුණත් අපිට ඒ වෘත්තිය තුළ නොබියව ජීවත් වෙන්න පුළුවන් කියා.
කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?
ඔව්. මම හිතනවා අපිට උපතින් ලැබුණ සුන්දරත්වය පවත්වාගෙන යෑමට උත්සහ දැරීම සෑම කාන්තාවක්ම කළ යුතු දෙයක් කියා. එහිදී මා හිතන්නේ පළමු දේ තමයි පිරිසිදුකම. දෙවැනි දේ පිළිවෙළ. පිරිසිදුවට පිළිවෙළට ඉන්න කාන්තාවකගේ සුන්දරත්වය ඉබේම ඉස්මතු වෙනවා.
හදවතින් ලස්සන වෙන්න මොනවාද කරන්නේ.
හදවතේ සිතිවිලිවලින් අපි හැමදාම ලස්සනනම්, අපේ මුහුණෙනුත් ඒ දේවල් ඉබේම පේන්න ගන්නවා. වෛරයක් තරහවක් නැතුව හදවත පිරිසිදුව තියා ගන්නයි අපි උත්සහ ගත යුත්තේ.
ලස්සනට වර්තමානයේ ලෝකයේ තැනක් ලැබෙනවාද?
තැනක් ලැබෙනවා. නමුත් මම නම් හිතන්නේ මේ ලෝකයේ ලස්සන විතරක්ම තිබිලා මදි. හැදියාව දක්ෂතාවය අධ්‍යාපනය කියන අංගත් රූපයක් සුන්දරව පේන්න වැදගත් කියා.
ක්ෂේත්රයකින් ඉදිරියට යෑමටනම් රූපය විතරක් තිබිලා ඇද්ද.
බැහැ. රූපය ලස්සන වුණ පමණින් කිසිම රැකියාවක රැඳෙන්න බෑ. ඒ සඳහා වෘත්තිය දැනුම දක්ෂතාවය හැකියාව කියන මේ හැමදේම තිබිය යුතුයි.
ඔය තරම් ලස්සනට ඉපදුනේ කුමක් නිසා කියලද හිතන්නේ?
පෙර පින වගේම වාසනාවත් බලපාන්න ඇති නේද.
ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු දෙයක්ද?
නැහැ. කොහෙත්ම නෑ. ලස්සන කියන්නේ මොහොතක් පාසා වැහැරී යන දෙයක්. ඒ නිසා ඉතිං ඒ වගේ දේකට ආඩම්බර වෙනවා කියන්නේ අනුවණ දෙයක්.
ජීවිතයේ ලස්සනටම හැඩ වුණ දවස.
මනාලියක් ලෙසට නිරූපණය වෙනුවෙන් හිසේ කෙස් ගණනට හැඩවෙලා තියෙනවා. ඒත් මට මාව ගොඩක්ම ලස්සනට පෙනුනේ මාගේ විවාහ උත්සවය දවසේ හැඩවුණ දා.
ගෙදරක බිරිඳ සුන්දරව ලස්සනට ඉද්දී එය නිවසට බලපාන්නේ කොහොමද?
බිරිඳක් පිළිවෙළට පිරිසිදුව ලස්සනට ප්‍රියමනාපව ඉන්නවා කියන්නේ එය මුළු නිවසම ආලෝකමත් කරනවා කියලා මම හිතනවා. ඒත් එක්කම බිරිඳ ලස්සනට ඉන්නවා කියන්නේ ඇයටත් එය හිතට මානසිකව සතුට වැඩිවෙන දෙයක්. කෑගහලා නොකිව්වට හැමදාම බිරිඳ ලස්සනට ඉන්නවාට ස්වාමියා කැමතියි.
ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව
මම ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව මගේ අම්මි.
ඔබ ලස්සනයි කියලා කෙනෙක් ඔබ ළඟට ඇවිත් කිව්වොත් මොකද හිතෙන්නේ.
ලොකු සතුටක් දැනෙනවා. ඇත්තටම මම හිතනවා ප්‍රේක්ෂකයා අපිට ආදරේ කරනවාට වඩා වැඩිපුර ආදරයක් අපි ඔවුන්ට ලබාදිය යුතුයි කියලා. ඒ නිසා නිහතමානීව සතුටු වෙනවා කෙනෙක් මා අගය කළොත්. ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණා කියන දෙයින් ප්‍රසිද්ධ වුණා කියන එකවත් ආඩම්බර වෙන්න හේතුවක් කියලා මා දකින්නේ නෑ.
විලාසිතා කිරීමේදී සැලකිලිමත්ද?
ඔව්. අලුතින් එන මට ගැලපෙන විලාසිතා කරන්න මම ගොඩක් කැමතියි. දිග ගවුමට මම ගොඩක් ආසයි. පාටවලට නම් මම සීමාවෙලා නෑ. හැම පාටක්ම ඇඟට ගැලපෙනවා කියලා හිතනවා.
අසුන්තා එදිරිසූරිය
හැඩගැන්වීම: Salon Lanka Fernando