පවුලේ හැමෝටම සින්දු කියන්න පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-10-16-ent-71

රංගනයට, ගායනයට, නර්තනයට, නිවේදනයට එකසේ දක්ෂතා දක්වන තරුණ පරපුරේ දක්ෂ කලාකාරිනියක් ලෙස ෂෙහානි කහඳවල හැඳින්විය හැකියි. මේ දිනවල පේ‍්‍රක්ෂක ආදරය නොඅඩුව ලබමින් ක්ෂේත‍්‍රයේ දිගු ගමනක් යමින් සිටින ඇය ගැන කතා කරන්නට මෙවර සැදැල්ලෙන් ඉඩක් වෙන් කළා. මේ සටහන ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන්.

 

ෂෙහානි හිරු මෙගා ස්ටාර් අවසන් තරගයට ලහි ලහියේ සූදානම් වෙනවා නේද?2018-10-16-ent-72

ඔව්. මේ දවස්වල ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ. අවසන් මහා තරගයට කණ්ඩායම් 5 ක් තේරීපත් වෙලා ඉන්නවා. මගේ පාට්නර් තමයි නුවන් ගුණසේකර, අපි දෙන්නා එක්ක තරග කරන්න අවසන් වටයට තේරිලා ඉන්නෙ කාවිංග තාරුකා, මේනකා රනිල්, රිතූ නිලංග සහ දුෂේනි අනුජ් ඉතින් මේ අය අතර හොඳ තරගයක් තියෙයි. හැමෝම ගොඩක් දක්ෂයි. රංගනයට නර්තනයට, ගායනයට ඒ හැමදේටම ඉතින් අපිත් හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ෂෙහානිගෙත් රංගන, ගායන, නර්තන හැකියාව ඒ තුළින් දැකගන්න හැකිවෙලා තියෙනවා. ඒ දක්ෂතා පොඩි කාලෙ ඉදන් ගෙනාපු දේවල් ද?

මම පාසලේ දී විතරයි හය වසරෙ සිට සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හැදැරුවෙ. එතැනින් පසුව හැදෑරුවෙ නෑ. සංගීතය පිළිබඳ මට එතරම් ලොකු දැනුමක් නෑ. ඒත් මගේ තාත්තාටත් පවුලෙ ගොඩක් දෙනෙකුට ගීත ගායනා කරන්න පුළුවන්. ඒ නිසා ඒ දක්ෂතා මටත් තියෙන්න ඇති. නර්ථනය, රංගනයටත් දක්ෂතා තිබුණා. ඊට අමතරව චිත‍්‍ර අඳින්නත් හැකියාවක් තියෙනවා.

 

ඒත් ෂෙහානි ක්ෂේත‍්‍රයට එන්නෙ නිවේදනයෙන්නෙ?

ඔව්. නිවේදිකාවක් විදියට දෙරණ නාළිකාවේ අවුරුද්දක් විතර වැඩ කළා. ඉන්පසුව තමයි රංගනයට අවතිර්ණ වෙන්න හැකියාව ලැබුණෙ. මෑතකදීත් මම හිරු නාළිකාවෙ ”සුපර් හීරෝ වැඩසටහන නිවේදනය කළා. ඒකත් වෙනම අත්දැකීමක් වුණා. මොකද රියැලිටි වැඩසටහනක නිවේදනය මීට පෙර කරලා තිබුණෙ නෑ. ඉතින් ඒ දේ මගෙ ජීවිතේට ලොකු අවස්ථාවක්. ලොකු දැනුමකුත් ඒ තුළින් ලබාගන්න හැකිවුණා.

 

ඊට අමතරව මේ දවස්වල පැකේජ් ටෙලිනාට්‍ය හරහාත් ෂෙහානි ගැන කතාබහ වෙනවා?

ඔව්. පැකේජ් කියන්නෙ මිනිස්සු අතරෙ කියවෙන තවත් නාට්‍යයක්. ඉතින් හැමෝම වගේ ඉතා සහයෝගයෙන් මේ වැඩකටයුත්ත කරගෙන යනවා. එහි සාර්ථකත්වය තියෙන්නෙත් අපි පවුලක් වගේ වැඩ කරන නිසා. මේ හාස්‍ය මුසු නාට්‍යයක්. මටත් මේ චරිතය අලූත් අත්දැකීමක්.

 

චරිතෙ ගැනත් කියමුද?

චරිතෙ මදුෂානි. ඇය එක අධිෂ්ඨානයක් තියාගෙන ඉන්න කෙනෙක්. සැලූන් එකක් දාලා ඇය අතින්ම කරන ලද නිෂ්පාදනයක් ලෝකෙටම යවන්න හිතන්නෙ. ඒ වෙනුවෙන් අත්හදා බැලීම් කරනවා. අමුතු අමුතු නිෂ්පාදන කරනවා. ඒ වගේ අත්හදා බැලීම් කරන්න ඇය යොදා ගන්නෙ අම්මව තමයි.

 

ඇත්ත ජීවිතේ ඒ වගේ අත්හදා බැලීම් කරන්න ගිහින් නැද්ද?

අපෝ නෑ. ඒ වගේ මෝඩ වැඩ නම් කරන්න යන්නෙ නෑ. මේ තරම් නිෂ්පාදන තියෙද්දි මම මොකටද ඕවා කරන්නෙ.

 

ඒ කියන්නෙ හිරේ විලංගුවේ වැටෙන්න කැමැති නෑ?

නෑ...නෑ.. එහෙම කැමැත්තක් නෑ.

 

ෂෙහානි චරිතයක් භාර ගනිද්දි ගොඩක් හිතනවද?

අපිට චරිතයක් භාර ගනිද්දි දැන් ගොඩක් හිතන්න වෙලා තියෙනවා. මොකද සමහරු ඔහේ චරිතවලට කතා කරනවා. කතා කරලා කියන්නෙ ෂෙහානි නාට්‍යයක් තියෙනවා කරමුද? කියලා. මට විතරක් නෙමෙයි හැමෝටම එහෙමයි කතා කරන්නෙ. චරිතය කොච්චර දුර යනවාද? කොයි තරම් කාලයක් දිවෙනවාද? ඒ මොකුත් නෑ. රූගත කිරීම්වලට ගියාම තමයි තිර පිටපත අතට දෙන්නෙ. ඒවත් එක්ක ඉතින් දැන් චරිතයක් භාරගනිද්දි හිතන්න වෙලා තියෙනවා. මිනිස්සු අතරට යන චරිතයක් කරනවා ඇරෙන්න කරන්නන් වාලේ චරිත කරලා වැඩක් නෑ. මිනිස්සු අතරට නොයන චරිතවලට අපි මහන්සිවෙලා වැඩකුත් නෑනෙ. ඉස්සර අපි චරිත භාර ගනිද්දි ලොකු දැනුමක් තිබුණෙ නෑ. මොකද අපිට ඒ ගැන කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නෑ. දැන් ඒ හැමදේම බලලා තෝරාගන්නෙ?

 

ඒ කියන්නේ ෂෙහානිගෙ පරමාර්ථය මුදල් ඉපැයීමම නෙමෙයි.

නෑ. මුදල් උපයන්න ඕනෑ නම් අපි හැම චරිතෙම භාරගෙන කරනවනෙ. මම එහෙම නෑ. හැමදාම මගෙ ඔළුවෙ තිබුණෙ මුදල් ඉපයීමටත් වඩා මිනිසුන් අතරට යන ආකර්ශනයක් ලැබෙන චරිත ඉදිරිපත් කිරීම පමණයි. මිනිසුන්ගෙ හිතට කාවදින චරිත ඉදිරිපත් කළොත් හොඳ ගමනක් යන්න පුළුවන්.

 

පේ‍්‍රක්ෂකයන්ගෙ හිතට කාවදින චරිත ඉදිරිපත් කරන්න කැමැති ෂෙහානිට ඔවුන්ගේ ආදරය දිනාගෙන ජනපි‍්‍රයම නිළිය සම්මානයට යන්න බලාපොරොත්තුවක් නැද්ද?

එහෙම ආසයි. ඒ වගේ දෙයක් ලැබෙනවට තමන්ට ලෝකයක් ඉදිරියේ ගෞරවයක් ලැබෙනවට කවුද අකමැති. ඉතින් මටත් ලොකු හීනයක් බලාපොරොත්තුවක් තියෙනවා.

 

මෑතකදී ෂෙහානිට ලොකු අවස්ථාවක් ලැබුණා නේද ලංකාව නියෝජනය කරමින් එංගලන්තයේ වැඩමුළුවකට සම්බන්ධ වෙන්න?

ඔව්. අගෝස්තු මාසෙ 6 වෙනිදා මම එංගලන්තයට ගියා. වැඩමුළුවකට රටවල් 13 කින් 35 දෙනෙක් ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියා. දින 4 ක් වැඩමුළුව පැවැත්වුණා. ඉතින් එහිදී ලොකු දැනුමක් ලබාගන්නත් හැකිවුණා. විශේෂයෙන්ම සුවඳ විලවුන් ගැන. ජීවිතේ මට ලැබුණ ලොකු අවස්ථාවක් තමයි ඒ.

 

ධනු විජේරත්න

 

2018-10-16-ent-69 2018-10-16-ent-70