නිවේදිකාවක් වීම තමයි මගේ එකම බලාපොරොත්තුව වුණේ
පුංචි තිරයේදී නිතර හමුවන චරිතයක් ලෙස අරුණි කොඩිතුවක්කු හඳුන්වාදිය හැකිය. රූපවාහිනී හා ගුවන්විදුලි නාළිකා කිහිපයකම නිවේදිකාවක ලෙස කටයුතු කළ ඇය, සිය වෘත්තීය ජීවිතය පිළිබඳව මෙලෙස "අද" සමග අදහස් දැක්වුවාය.
අරුණි කියන්නෙ වෘත්තීමය නිවේදිකාවක්ද?
මම නිවේදිකාවක්. මම නිවේදයට පිවිසෙන්නෙ ස්වර්ණවාහිනිය හරහා ඒ 2004දී. ඒ අවස්ථාව මට දෙන්නෙ කැළුම් පාලිත මහීරත්න මහත්මයා. ඉන් පසු මම "සියත" එෆ්.එම්. ආරම්භක සාමාජිකවක ලෙස එයට සහභාගි වුණා. ඉන් පසු 2009දී "සියත ටී.වී." පටන් ගන්නවා. ඒ අවස්ථාව මට ලබාදෙන්නෙ නිමල් ඒකනායක මහතා. එහි මුල්ම නිවේදිකාව ලෙස මම තමයි කටයුතු කරන්නෙ. ඉන් පසු මම ජාතික රූපවාහිනියේ "නුග සෙවණට" දායක වෙනවා. මට ඒ අවස්ථාව සලසා දෙන්නෙ රවීන්ද්‍ර මුණසිංහ අයියා. සියත අලුත් වීමත් සමග කැළුම් පාලිත මහීරත්න මහත්මයා මට නැවත සියතට ආරාධනා කළා. ඉන් පසු තමයි මම රූපවාහිනියෙන් නැවතත් සියතට ආවේ. දැන් සියතෙ තමයි වැඩකටයුතු කරන්නෙ.
නිවේදිකාවක වීමේ ආසාව එන්නෙ කොයි කාලයේදීද?
පුංචි කාලයේ ඉඳන් මම හරි ආසයි, නිවේදිකාවක් වීම තමයි පොඩි කාලයේ ඉඳන්ම මගේ එකම බලාපොරොත්තුව වුණේ. මම පොඩි කාලයේ ඉඳන්ම ගොඩක් නිවේදන කටයුතු කළා. උසස් පෙළ ප්‍රතිඵල එන්නත් කලින් තමයි මට ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ. මගෙ අයියා කාංචන කොඩිතුවක්කු. අයියාගේ මාර්ගයෙන් තමයි මේ අවස්ථාවන් ලැබුණෙ.
ඔබ නිවේදිකාවක වීමේදී පවුලේ අයගෙන් ලැබුණු ප්‍රතිචාරය මොනවගේද?
අම්මයි, තාත්තයි, අයියයි විතරයි මට ඉන්නෙ. මුලින්ම හොඳ රැකියාවක් කළොත් හොඳයි කියන තැන තමයි අම්මා හිටියෙ. මොකද මම වාණිජ අංශයෙන් තමයි උසස් පෙළ කළේ. ඒ අය හැමවෙලාවෙම කිව්වේ බැංකුවක වගේ හොඳ තැනක ජොබ් එකකට යන්න කියලා. මගේ තිබ්බ ආසාව හින්දා ඒ ගොල්ලො ඉඩදුන්නා මට එහෙම කරන්න. ඒ ගොල්ලො මට ලොකු ශක්තියක් වුණා.
නිවේදනය පිළිබඳව ඔබ හැදෑරීමක් කරලා තියෙනවාද?
"NITT" ආයතනයේ මම නිවේදනය පිළිබඳ හැදෑරුවා. කරන දේවල් එක්ක නිවේදනය පිළිබඳව හැදෑරීමක් සිදුවෙනවා.
දැනට සියතහි සිදුවන වැඩකටයුතු මොනවගේද?
සියත උදෑසන වැඩසටහන කරනවා උදේ 8 සිට 11.00 දක්වා. ඊට අමතරව සියතෙ ලස්සන වැඩසටහනක් තියෙනවා 'හඳ පහන් රැය' කියලා. ඒවාගේ වැඩසටහන් කිහිපයක්ම කරනවා.
ඔබ නිවේදන කටයුතුවලදී කැමැති කුමන ආකාරයේ වැඩසටහන්වලටද?
'මුල් පිටුව' වැඩසටහනෙන් තමයි මම නිවේදනය පටන් ගත්තෙ. එතැනින් පසු "සියත එෆ්එම්" නිවේදිකාවක් ලෙස කටයුතු කළා. සියත ටීවී වගේ මාධ්‍ය ආයතන කිහිපයකම කටයුතු කළා. සංගීත වැඩසටන්වලත් නිවේදන කටයුතු කරනවා. උදෑසන වැඩසටහනුත් කරනවා. ඕනෑම වැඩසටහනකට දායක වෙන්න පුළුවන් විදියෙ හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා.
ප්‍රමිතියෙන් තොර නිවේදිකාවන් බිහිවීමේ රටාවක් අද තියෙනවා. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?
හැම ක්ෂේත්රයකට වගේම නිවේදන ක්ෂේත්රයටත් ඒ දේ වෙලා තියෙනවා. නිවේදිකාවක් වීම ඇත්තටම ලේහෙසි වැඩක් නෙවෙයි. ක්ෂේත්රය තුළ ලොකු හැදෑරීමක් තියෙන්න ඕන. ඒ වගේම හොඳ කතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේම කැපවීමත් අත්‍යවශ්‍යයි. අලුත් අය එනඑක හොඳයි. මොකද ක්ෂේත්රයක තරගකාරීත්වය තියෙන්න ඕන.
රැකියාවේ කාර්යබහුලත්වයත් එක්ක ජීවිතයේ හොඳම අවස්ථා මගහැරිලා නැද්ද?
ජීවිතයේ හොඳම අවස්ථා මගහැරිලත් තියෙනවා, උදාවෙලත් තියෙනවා. මගේ ජීවිතේ වැඩියෙන්ම මම විඳින්නෙ මගේ රැකියාව. නිවේදනය නිසා මගේ ජීවිතේ මම සතුටින් ඉන්නෙ. ඒක නිසා මම නැතිවෙච්ච දේවල් ගැන මට එච්චර දැනිලා නැහැ. මම එච්චරම මේ ක්ෂේත්රයට ආසයි සහ ආදරෙයි.
රැකියාවත් සමග පවුලේ අයත් සමග ගතකිරීමේ කාලය අඩුවෙලා තියෙනවා. මේ ගැන ඔබ මොකද හිතන්නෙ?
ඔව්. එහෙම දෙයක් නම් තියෙනවා. වෘත්තීය මට්ටමේ ස්ථිර නිවේදිකාවක් ලෙස මට වගකීම වැඩියි. වැඩකටයුතු සමබර කරන්න උත්සාහ ගන්න ඕන කියලා මම හිතනවා. මම ඒ දේ කරන්න උපරිම උත්සාහ කරනවා.
ඉදරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
පෞද්ගලික ජීවිතයේ බලාපොරොත්තු කියලා ලොකු දෙයක් නැහැ. වෘත්තීය මට්ටමින් හොඳ නිවේදිකාවක් ලෙස හොඳ නමක් තියන එක තමයි එකම බලාපොරොත්තුව. සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න තියෙනවා නම් හොඳයි.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha