නිරූපිකාවට තියෙන්නේ අඩු වටිනාකමක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-983

මේ දිනවල විකාශය වෙන ටෙලිනාට්‍ය කිහිපයකම දකින නිලූෂි පවන්යා වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින යොවුන්, ජනප්‍රිය රංගන ශිල්පිනියකි. වසර පහක කාලයක් තිස්සේ නිරූපිකාවක් ලෙස කටයුතු කරමින් සිටින නිලුෂි පවන්යා, රංගනයට එක්වන්නේ එරංග සේනාරත්න විසින් අධ්‍යක්ෂණය කළ ‘නිලූ මං ආදරේයි’ චිත්‍රපටය හරහායි. මේ ඇය ‘සාරවිට’ අප සමග කළ කතා බහයි.2019-12-18-ent-985

 

මේ දිනවල නිලූෂි කියන්නේ නිතර දකින මුහුණක්?

ඔව්, මම රංගනයෙන් දායක වෙන ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. දෙරණ නාලිකාවේ විකාශය වෙන ‘හේලී’, හිරු රූපවාහිනි නාලිකාවේ විකාශය වෙන ‘හුස්මක් තරමට’ හා සිරස නාලිකාවේ විකාශය වෙන ‘රැස්’ කියන ටෙලිනාට්‍යය තුනේම මම රංගනයෙන් දායක වෙනවා.

 

නිර්මාණ කිහිපයක නිතර දකින එක පාඩුවක්ද?

මම හිතන්නේ නැහැ. මොකද, මේ ටෙලිනාට්‍ය තුන ගත්තොත් මම රංගනයෙන් දායක වෙන්නේ එකිනෙකට වෙනස් චරිතවලින්. ‘හේලී’ නාට්‍යයේ ‘දිල්ෂි’ කියන්නේ ප්‍රභූ පැලැන්තියේ තරුණියක්, ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යයේ ‘ශ්‍යාමි’ කියන්නේ තරුණ ගුරුවරියක්. එතකොට ‘රැස්’ ටෙලි නාට්‍යයේ ‘උපේඛා’ කියන්නේ දරුවෙක් ඉන්න මවක්. එකම විදිහේ චරිතයකින් මාව දකින්නේ නැති නිසා ප්‍රේක්ෂකයන්ට මාව නිතර දකින එක ගැටලුවක් වෙන එකක් නැහැ. කොහොමත් මම හැම වෙලාවෙම චරිත භාර ගනිද්දි බලාපොරොත්තු වෙන්නේ හොඳ නිර්මාණාත්මක චරිත. බොළඳ චරිතවල රඟපාන්න කොහොමත් මගේ කැමැත්තක් නැහැ.

 

නිර්මාණ නිසා කාර්යබහුල රංගන ශිල්පිනියක්ද ඔබ?

ටිකක් විතර කාර්යබහුලයි. ‘හේලී’ හා ‘හුස්මක් තරමට’ ටෙලි නාට්‍යවල රූපගත කිරීම් කටයුතු තවත් දින කිහිපයකින් අවසන්. එතකොට වැඩ තියෙන්නේ ‘රැස්’ ටෙලිනාට්‍යයේ විතරයි. ඒ නිසා දැන් තියෙන කාර්යබහුලත්වය ඉදිරියේදී අඩුවෙයි කියලා මම හිතනවා.

 

ඔබ රංගන ක්ෂේත්‍රයට එන්නේ සිනමා නිළියක් විදිහට නේද?

ඔව්, එරංග සේනාරත්න මහත්මයාගේ ‘නිලූ මං ආදරේයි’ කියන චිත්‍රපටය තුළින්. එහි මම ප්‍රධාන චරිතයට තමයි දායක වුණේ. කුමන හෝ හේතුවක් මත ඒ චිත්‍රපටය තවමත් ප්‍රදර්ශනය වුණේ නැහැ. නමුත්, මම බලාපොරොත්තු වෙනවා මේ වසරේදී මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වේවි කියලා.

 

මේ චිත්‍රපටයෙන් පස්සේ සිනමාවට එකතු වෙන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද?

ලැබුණා. සුනිල් ආරියරත්න මහත්මයාගේ චිත්‍රපටයකට. නමුත්, ඒ ආරාධනා ලැබුණ කාලයේ මම අසනීප වෙලා හිටියේ. ඒ නිසා ඒ අවස්ථාව මඟ හැරුණා. මම ටෙලිනාට්‍යවලට වඩා කැමැති සිනමා නිර්මාණවලට. ඉතින් ඉදිරියේදී සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම භාර ගන්නවා.

 

රංගන ශිල්පිනියක් වුණ නිසා නිරූපණයට එකතු වෙන කාලය දැන් අඩුද?

නිරූපණ ක්ෂේත්‍රයට මම මුලින්ම සම්බන්ධ වුණේ 2015 වසරේදී. වසර පහක කාලයක් තිස්සේ මම නිරූපිකාවක් විදිහට දැන් වැඩ කරලා තියෙනවා. නමුත්, දැන් නම් නිරූපිකාවට තියෙන්නේ අඩු වටිනාකමක්. සමාජයේ වුණත් බලන්නේ වෙනස්ම නිරූපිකාවන් දිහා කෝණයකින්. ඒ හින්දා නිරූපණයට වඩා මම දැන් වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ රංගනය පැත්තට. නමුත්, හොඳ නිරූපණ වැඩක් ආවොත් මම භාර අරගෙන වැඩ කරනවා.

 

නිරූපිකාවක් විදිහට ඔබ ක්ෂේත්‍රය තුළ නමක් හදාගෙන තියෙනවාද?

මම හිතනවා මම නිරූපිකාවක් විදිහට නමක් හදාගෙන තියෙනවා කියලා. වසර පහක කාලයක් තිස්සේ මට නිරූපණ වැඩ ලැබුණේ ඒ හින්දනේ.

 

නිරූපිකාවක් ලෙස නමක් හදාගත්තා වගේම රංගනය පැත්තෙනුත් නමක් හදාගන්න ඔබ උත්සාහ කරනවාද?

අනිවාර්යයෙන්ම මම උත්සාහ කරනවා. නමුත්, නිරූපණය ගැන මට ලොකු දැනුමක් තිබුණත් රංගනය ගැන තවමත් මට තියෙන්නේ අඩු දැනුමක්. ඒ වගේම අඩු අත්දැකිමක්. මම හිතෙන විදිහට රංගනය කියන දේ මට තවත් හදාරන්න අවශ්‍යයි.

 

බුද්ධික සේනාධීර

 

2019-12-18-ent-982  2019-12-18-ent-984