නිරූපිකාවක් ලෙස ගෙවුණු කාලය ගැන සතුටුයි
වසර හතක කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්රය තුළ කටයුතු කරන සජිනි ප්‍රියංගිකා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ ආරම්භ කරන්නට අපි සූදානම් වුණෙමු. දැනට ගීත රූප රචනා කිහිපයකින්ම ඔබ දැක ඇති සජිනි ඉදිරියේදී තවත් එවැනි කලා නිර්මාණ කිහිපයක් තුළින්ද ඔබ හමුවට පැමිණිමට සූදානමින් සිටියි.
සජනි නිරූපණ ක්ෂේත්රයට ආපු හැටි මුලින්ම කියමු?
ක්ෂේත්රයට ආවෙනම් අහම්බෙන්. නිරූපිකාවක් විදිහට පළමු වතාවට ප්‍රසිද්ධ වුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති නිරූපණ ප්‍රසංගයකදී. දැනට ක්ෂේත්රයට ඇවිල්ලා අවුරුදු 7ක් විතර වෙනවා. හැබැයි මේ අවුරුදු හත තුළ මම නිරූපණ ක්ෂේත්රය තුළ ආවේ හෙමින් ගමනක්. මොකද ගොඩක්ම වැඩ කළේ තෝරා බේරාගෙන.
පුංචි කාලේ සජනිට තිබුණේ මොන වගේ හීනයක්ද?
පොඩි කාලේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හැඩ වැඩ වුණා කියල මතකයි. ඒ දවස්වල ඉඳලාම විලාසිතාවලට ආස කළා කියලා අම්මා මට නිතරම කියනවා. නමුත් නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා වැඩ කරන්න කොහෙත්ම මගේ හිතේ අදහසක් තිබුණේ නැහැ. මම ගොඩක්ම ආස කළේ නර්තන ගුරුවරියක් වෙන්න. මම පාසල් අධ්‍යාපනය ලබන කාලේ තෝරගත්තෙ නර්තනය. පාසලේදී මම නර්තන ශිල්පිනියක් විදිහට ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි ඒ හරහා සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ පවා මා හිමි කරගත්තා.
ඔබ අවුරුදු කුමරිය තරගයකටත් ඉදිරිපත් වුණා නේද?
2013 අවුරුද්දේ දෙරණ රූපවාහිනි නාළිකාව මගින් සංවිධානය කළ ‘දෙරණ අවුරුදු කුමරිය’ තරගයට.
දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?
ගොඩක්ම කළේ ගීත රූප රචනාවලට දායක වුණ එක. බන්දු කරුණාරත්නගේ ‘හාදු ගෙනෙන මල් පෙති’ ඒක තමයි මම මුලින්ම දායක වුණ ගීත රූප රචනාව. ‘සුපෙම් ගීතාව’ කියලා තවත් රූප රචනාවක් කළා. නමුත්, කුමන හෝ හේතුවක් මත ඒක නාලිකාවල විකාශය වුණේ නැහැ. මෑතකදී මම කළේ සිරස සුපර් ස්ටාර් කිරුළ හිමිකරගත් අජිත් බණ්ඩාරගේ ‘මගේ සන්තකේ’ කියන ගීතය. ඒක තවත් නොබෝ දිනකින් දකින්නට පුළුවන් වේවි.
මේ ගෙවුණු අවුරුදු හත තුළ ආපසු හැරිලා බැලුවොත් නිරූපිකාවක් විදිහට ඔබට සතුටු වෙන්න පුළුවන්ද?
ඔව්, සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම පුංචි දුකකුත් තියෙනවා. මොකද, මට ලැබුණු ගොඩක් අවස්ථා මට මඟහැරුණා. සමහරක් අවස්ථා අවශ්‍ය නැහැ කියලා අත්හැරියා. නමුත්, ඒ අත්හැරි අවස්ථා ගැන ගොඩක් දුකයි. වෙලාවකට හිතුණා අපරාදේ කියලා. කොහොම වුණත් සාපේක්ෂව හිතුවොත් අද මම ගොඩ නගාගෙන තියෙන තැන මට ගොඩක් සතුටුයි.
නිරූපණ ක්ෂේත්රය තුළ ඉදිරි ඉලක්ක තියෙනවාද?
ඉලක්ක කියලා ලොකු දේවල් මට නැහැ. බොරු ආටෝප නැතුව මෙහෙම සරලව නිරූපිකාවක් විදිහට ජීවිතේ ගෙවලා දාන්නයි මට අවශ්‍ය. මුල් කාලයේදී ගොඩක් ආස වුණ මගේ නම කිව්වාහම කිහිප දෙනෙක් මාව හඳුනගන්නවා නම්. අද ඒ තත්ත්වය මට තියෙනවා. ඉතින් මම හිතනවා ඒ තැන ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න තියෙනවා එපමණයි කියලා.
උදවු කළ අයත් ඇති?
ඔව්, මගේ පවුලේ අය හා මගේ සැමියා මට ගොඩක් උදවු කළා. අනිත් අයගේ නම් ගම් එක්ක කියන්න අමාරුයි. මොකද කාගේ හරි නමක් අතපහසු වෙලා මඟ හැරුණොත් කියලා. ඉතින් මට නන් අයුරින් සහාය දැක්වූ සැම දෙනාවම මේ වෙලාවේදී කෘතවේදීව මතක් කරන්න ඕනා.
බුද්ධික සේනාධීර