නිරූපණයට වගේම ගීත ගායනයටත් මම දක්ෂයි
දෙරණ ‘අවුරුදු කුමරිය’ තරගයේ තෙවැනි ස්ථානය දිනාගත් වත්සලා කල්පනී සමගින් අදර ‘සාරවිට’ තරු කතා බහ මෙලෙස අපි ඇරඹුවෙමු. මේ වනවිට නිරූපිකාවක් ලෙස කටයුතු කරමින සිටින ඇය ඉදිරියේදී රංගනයටද පිවිසීමට සූදානමින් සිටියි. ඒ පිළිබඳව වත්සලා අපිට පැවසුවේ මෙවැනි අදහස් කිහිපයකි.
මේ වසරේ දෙරණ රූපවාහිනි නාලිකාව විසින් සංවිධානය කල ‘අවුරුදු කුමරිය’ තරගයේ තෙවැනි ස්ථානය දිනා ගැනිමත් එක්ක තමා කලා ක්ෂේත්‍රයට එන්නේ.
ඔබ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?
දැනට බ්‍රයිඩ්ල් මොඩල් කෙනෙක් විදිහට වැඩ කරනවා. මෑතකදී දෙරණ රූපවාහිනි නාලිකාව විසින් නිර්මාණය කරන ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. ඒකේ තිර පරීක්ෂණයට සහභාගි වුණා. තවමත් ඒ සඳහා තෝරා ගත්තාද නැද්ද කියලා දැනුම් දීමක් මට කරලා නැහැ.
ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකක්ද වත්සලා දරණ මතය?
නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ හොඳ තැනක්. අපේ දක්ෂතාවය හා අපේ ලස්සන අනිත් අයට පෙවන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ගොඩක් අය වැරදි විදිහට මේ ක්ෂේත්‍රය භාවිතා කරනවා ඉක්මණින් ජනප්‍රිය වෙන්න්‍තින් තෝරා බේරා ගෙන වැඩ කටයුතු කළොත් මේ ක්ෂේත්‍රයෙන් වැදගත් විදිහට ඉදිරියට යන්න පුළුවන් කියලා මම කියනවා.
වත්සලාට ගීත ගයන්නත් පුළුවන්?
ඔව්, ‘පින්සාර ආදරේ’ කියලා මා විසින් ගැයු ගීතයක් ‘යූ ටියුබ්’ සමාජජාල වෙබ් අඩවියට එකතු කරලා තියෙනවා. නිරූපණ ක්ෂේත්‍රය වගේම ගායන ක්ෂේත්‍රය තුළත් හොඳ ගමන් යන්න හිතාගෙන ඉන්නවා මම.
රඟපාන්න තියෙන කැමත්ත කොහොමද?
ලොකුවට නැහැ. නමුත් නිරූපණයෙන් හා ගීත ගායනයෙන් ලොකු ගමනක් යන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නවා. රඟපාන්න ආරාධනාවක් ලැබුණොත් මට ගැළපෙනවා කියලා හිතන හොඳ දෙයක් මම භාරගන්නවා.
වත්සලාගේ පාසල් කාලය?
පාසලේදී බාහිර කටයුතු විදිහට සංගීතය, නර්තනය හා නාට්‍යය වලට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩාවටත් මම ගොඩක් දක්ෂ කෙනෙක්. පාස්ල නෙට්බෝල් කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටත් කටයුතු කරලා තියෙනවා මම.
කලාවට නැඹුරු නොවුනා නම්?
සාමාන්‍ය විදිහට රැකියාවක නිරත වෙලා ඉදියි. දැනටත් මම නිරූපණ වැඩවලට දායක වුණාට රැකියාවක් කරන කෙනෙක්.
උදව් කළ අය?
මුලින්ම අම්මයි, තාත්තායි මතක් කරන්න ඕනා. ඒ දෙන්නා උදව් කළේ නැත්නම් මම අද මේ වගේතැනක නැහැ. ඒ දෙන්නා පොඩි කාලේ ඉඳලම මගේ යාළුවෝ දෙන්නෙක් වගේ ළඟින් ඉඳගෙන උදව් කළා. මගේ පාසල විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. යමක් ඉදිරිපත් කිරිමේ හැකියාව මට ලැබුණේ පාසලේදී.