නිරූපණයට යම් වටිනාකමක් ලබාදෙන්නයි මගේ බලාපොරොත්තුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-02-ent-14

සිය සංස්කෘතියට හානියක් නොකර, තම අනන්‍යතාවන් ඔස්සේ නිරූපණයට පැමිණ නව යුගා දමිල තරුණියකි. වෘත්තියෙන් ගුරුවරියක වන ඇය යුද්ධය පවතින සමයේ යාපනය ප්‍රදේශයේ ජීවත්ව සිට ඇති අතර, යුද්ධය නිමාවත් සමග කොළඹට පැමිණ තම දක්‍ෂතා ඔප නංවාගෙන ඉදිරියට යමින් සිටින්නීය. දමිළ කවි රචනයට හුරුව ඇති යුගා, දමිළ කෙටි චිත්‍රපටය මෙන්ම දමිල සිනමාව සඳහාද සිය දායකත්වය ලබාදී තිබේ. ඇගේ ඉදිරි කලා කටයුතු හා තමන් අත්විඳපු කටුක අත්දැකීම් ගැන ‘සාරවිට’ සමගින් ඇය පැවසුවේ මෙවැන්නකි.

 

ඔබ ගැන මුලින්ම කිව්වොත්?

2017-08-02-ent-03මගේ නම නව යුගා. මම ගුරුවරියක්. St. Anthony’s Collage එකේ තමයි කටයුතු කරන්නේ.

 

එතකොට නිරූපණය කරන්නේ?

ඒ මට තියෙන නිදහස් කාල වේලාවේදී තමයි මම ඒ දේවල් කරනවා. රංගනය, ගීත ලිවීම ලියනවා. මම දැනට දමිළ ගීත ගොඩක් ලියලා තියෙනවා. මේ දවස්වල ‘ගිරි වැසිපුර’ සිංහල Movie එකක් Act කරනවා. තව දමිළ චිත්‍රපටයක් කරලා තියෙනවා. ඒ ‘කෝමාලි කින්ග්ස්’ කියලා කින්ග් රත්නම්ගේ චිත්‍රපටයක්. තව දමිළ මියුසික් වීඩියෝ කිහිපයක් කරලා තියෙනවා. කෙටි චිත්‍රපට කිහිපයක් සඳහාත් මම දායක වෙලා තියෙනවා. Best Short Film Actress සම්මානය මට දෙපාරක් හම්බ වෙලා තියෙනවා.

 

නිරූපණය කරන්නේ කොයි කාලේ ඉඳන්ද?

මම ගොඩක් කල් ඉඳන් ලියන කෙනෙක්. රංගනය කියන දේවල් මම මේ අවුරුද්දේ තමයි පටන් ගත්තේ. ඊට කලින් කෙටි චිත්‍රපට වගේ දේවල් කර කර තමයි හිටියේ. 2007 වගේ කාලයේ ඉඳන්ම මම ලියන දේවල් කරනවා. මම පොතක් එළිදක්වලා තියෙනවා.

 

ලියන දේවල් ගැන කිව්වොත්?

මම වැඩියෙන්ම කළේ කවි ලියන එකයි. ඉතිං ඒවා එකතු කරලා මම පොතක් එළිදැක්වූවා. 2010 වර්ෂයේදී. ඊට පස්සේ සිංදු ලියනවා. මම දැනට දමිළ ගීත 15ක් විතර ලියලා තියෙනවා. ඒ අතරින් ගීත 10ක් විතර එළිදක්වලා තියෙනවා.

 

ගුරුවරියක් වෙලා ඉද්දි කාල වේලාව තියෙනවාද?

ඇත්තටම හරි අමාරුයි. වෙලාවකට කාර්යය බහුල වෙනවා. රැකියාවෙන් නිවාඩු ගන්න සිද්ධ වෙනවා. ගොඩක් දුරට මම හවස 2න් පස්සේ නිදහස් නිසා ඒ වෙලාව උපරිමයෙන්ම භාවිත කරනවා. සෙනසුරාදා ඉරිදා සහ අවුරුද්දට හම්බෙන පාසල් නිවාඩුවෙන් මම උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්නවා.

 

මේ දවස්වල තරගයක් සඳහා දායක වෙලා තියෙනවා නේද?

ඔව් මේදවස් වල Mrs Sri Lanka තරගයට දායක වෙලා තියෙනවා. ඒකේ අවසන් 14 දෙනාට මාව තේරිලා තියෙනවා. ඒක තමයි මේ දවස්වල කරගෙන යනවා.

 

කලාව කියන දේට ආසාව ආවේ කොහොමද?

මම ගුරු වෘත්තියේ ඉඳගෙන මේ දේවල් අමාරුවෙන් සමබර කරන්නේ මේක මගේ ලොකුම සිහිනයක් හින්දයි. පොඩිකාලේ ඉඳන් හරිම ආසාවෙන් හිටියා නමුත් මට ගොඩක් දේවල් බැරිවුණා. මොකද මම හිටියේ යාපනේ, වවුනියාවේ ඒ කාලේ යුද්ධෙ තිබ්බා. ඒ නිසා ගොඩක් දේවල් අතපසු වුණා. දැන් මට හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. කොළඹට ඇවිල්ලා මේ වැඩටික කරගෙන ඉන්න. ඒ කාලේ මේ දේවල් කරගන්න බැරිවුණ එක ගැන මම ගොඩක් දුක්වෙනවා. පොඩි කාලේ ඉඳන්ම ගොඩක් කැමැත්තෙන් හිටපු ක්ෂේත්‍රයක් තමයි කලාව කියන එක.

 

නිරූපණය නිසා ගුරුවෘත්තියට හානියක් නැද්ද?

ඇත්තටම මම එහෙම හිතන්නෙ නැහැ. ලෝකයේ විද්‍යාඥයන් ඉඳලා තියෙනවා මේ කලාවට සම්බන්ධ වුණ. මම උපාධිධාරියෙක්. මම ඉස්සරහටත් ඉගෙන ගන්න කටයුතු කරනවා. ඒ වගේ කට්ටිය මේ වගේ වෘත්තීයක් සඳහා දායක වෙනකොට හැමෝටම ඒක බලපානවා නේද? මොකද මෙච්චර ඉගෙන ගත්ත කට්ටියත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා කියන එක ගැන. ගොඩක් අයගේ වැරදි අදහස් නැති වෙයි. දමිළ පැත්තෙන් ගොඩක් අය මේ ක්ෂේත්‍රයට කැමති නැහැ. මගේ ගෙදරිනුත් ඒ දේවල්වලට කැමැත්තක් තිබුණේ නැහැ. මම ඒ අයගේ කැමැත්තට එහා ගිහින් මේ දේවල් කළේ. මම හරි විදිහට මේ දේවල් කරනවානම් අනිත් අයටත් ආදර්ශයක් වෙනවානේද? අනිත් අය කියයි නේද ‘මෙයා ගුරුවරියක්, වැඩකටයුතු හරියට කරගත්තා’ කියලා. ඒ වගේ කියයි නේද? ඒ වෙනස කරන්න ඕනේ අපිම තමයි. ගොඩක් තියෙන්නේ අපිම දාගත්තු ප්‍රශ්න තමයි.

 

ඉගෙන ගත්ත අය නිරූපණ ක්ෂේත්‍රය එන එක හොඳයි කියන්නේ ඇයි?

එතකොට යම්කිසි ක්ෂේත්‍රයක ප්‍රමිතියක් තියෙනවා වගේම මේ සඳහාත් ප්‍රමිතියක් හැදෙයි. මම අහල තියෙනවා සමහර අධ්‍යක්ෂකවරු කියනවා සමහර කලකරුවන් එක්ක වැඩ කරන්න බැහැ. ඒ අයට කියන දේවල් තේරෙන්නෙ නැහැ. ඒ වගේ දේවල්. ඉගෙන ගත්ත කට්ටියටත් මෙහෙම දක්ෂතාවන් තියෙනවා. එයාලත් මේ සඳහා හොඳක් කරන්න පුළුවන් කියලා හිතනවානම් එන්න පුළුවන්. එහෙම වුණොත් මේ ක්ෂේත්‍රය ගොඩක් ශක්තිමත්වෙයි කියලා මම හිතනවා. කලාව තුළ ගොඩක් අය ඉන්නවා හොඳට අධ්‍යාපනය හදාරලා ආවා. ඒ වගේ දේවල් හොඳයි කියලා තමයි මම හිතන්නේ.

 

දමිළ සිනමාවට ඇති ඉඩකඩ කොහොමද?

ඇත්තටම ලංකාවේ දමිළ සිනමාව සඳහා ඉඩක් තවම හැදිලා නැහැ. හැමෝම දැන් යුටියුබ් මත්තෙ තමයි රැඳිලා ඉන්නේ. අපි චිත්‍රපටයක් කරලා තියෙනවා ‘කෝමාලි කින්ග්ස්’ කියලා. ඒක කළේ අවුරුදු 40කට පස්සේ වගේ තමයි මට හිතන්නේ. ලෝක සිනමාවට අපි පෙන්නන් ඕනේ අපි ගාවත් මෙච්චර දක්ෂතාවන් තියෙනවා කියලා. ජාත්‍යන්තරයත් එක්ක තරග කරන්න පුළුවන් හැකියාවක් ඒ චිත්‍රපටයට තියෙනවා. අවුරුදු 40ක තිබ්බ හිස්තැන පුරවන්න පුළුවන් කියලා හිතනවා. එතකොට හොඳ දමිළ සිනමාවක් හැදෙයි. දක්ෂතා තියෙන ගොඩක් දමිළ අය යාපනේ, මඩකලපුව, වවුනියාවේ සහ කොළඹ ඉන්නවා. හැබැයි අවස්ථාවන් නැහැ. ඒක උපයාගන්න තැනක් නැහැ. ඒ නිසා තමයි ඒ අය හිරවෙලා ඉන්නේ. ‘කෝමාලි කින්ග්ස්’වලින් පස්සේ ලංකාවේ දමිළ සිනමාවට තැනක් හැදෙයි.

 

ඉදිරි වැඩකටයුතු?

ඉදිරියේදී සිංහල චිත්‍රපටයක් වගේම දමිළ චිත්‍රපට දෙකක වැඩකටයුතු කරන්න තියෙනවා. ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. Mrs Sri Lanka පැජන්ට් එකෙනුත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අවසාන තරගය තියෙන්නේ අගෝස්තු 07 වැනිදා. ඊට පස්සේ ඒ පැත්තෙනුත් යමක් කරන්න පුළුවන් නම් මම ඒ දේවලුත් කරනවා. ඇත්තටම ඉදිරියට වැඩගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඡායාරූප - දිස්ණ ධර්මරත්න

 

2017-08-02-ent-01 2017-08-02-ent-02  2017-08-02-ent-04 2017-08-02-ent-05 2017-08-02-ent-06 2017-08-02-ent-07 2017-08-02-ent-08 2017-08-02-ent-09 2017-08-02-ent-10 2017-08-02-ent-11 2017-08-02-ent-12 2017-08-02-ent-13