නිරූපණ ශිල්පිනියකට රූපයක් කියන්නේ එක් අංගයක් විතරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-07-ent-89

දක්ෂ නිරූපණ ශිල්පිනියක් වන මිතූ තෙන්නකෝන්ව අප මෙවර සාරවිට කතාබහට එකතු කර ගත්තා. ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර රූපලාවන්‍ය ශිල්පිනියක් වීමට ඉගෙනගන්නා තරුණියක්. ඉතින් මිතූ අපට එකතු වුණේ මේ විදිහට.

 

ඔබ ගැන කිව්වොත්?2019-01-07-ent-92

මගේ නම මිතූ තෙන්නකෝන්. මගේ පදිංචිය දෙල්ගොඩ. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා. මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන ඉන්නවා. අළුත් අවුරුද්දේ අළුත් වැඩ ගොඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

නිරූපිකාවක් ලෙස වැඩ කරන්නේ කොපමණ කාලයද ඉඳලාද?

මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා මේ වෙද්දි අවුරුදු දෙකක් පමණ වෙනවා.

 

කොහොමද මේ අවුරුදු දෙකට ඔබට ලැබුණු අත්දැකීම්?

අත්දැකීම් නම් ගොඩක් තිබෙනවා. අපි මේ ක්ෂේත්‍රයට ආවේ ගොඩාක් මහන්සියෙන්. නිරූපණය ගැන ඉගෙනගෙන, හැමදේම ගැන හදාරලායි ආවේ. දැන් නම් එහෙම එකක් නැහැ. ගොඩාක් අය හරි ලේසියෙන් ෆොටෝෂූට් වලින් මේ ක්ෂේත්‍රයට එනවා. අපි ආවේ හරිම කටුක ගමනක්. ඒ කටුක අත්දැකීම් නිසාම අද මම හොඳ තැනක ඉන්නවා. පොඩි තැනක් වුණත් මේ ඉන්න තැන ගැන මට ඇත්තටම හරිම සතුටුයි. මේ වෙද්දි මම ගොඩාක් නිර්මාණවලට දායක වෙලා තිබෙනවා.

 

ඔබ කිව්වා දැන් නිරූපණ ශිල්පිනියෝ හරි ලේසියෙන් ක්ෂේත්‍රයට එනවා කියලා. ඒක කෙහොමද ක්ෂේත්‍රයට බලපාන්නේ?

ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් නැතුව මේ ක්ෂේත්‍රයට ආවාම ඉදිරි ගමනක් යන්න බැරි වෙනවා. අපි අවුරුදු ගානක් ඉගෙනගෙන ආවේ. මම අවුරුදු එකහාමාරක් නික් ජයමාන්න සර් යටතේ ඉගෙනගත්තා. දැන් ගොඩාක් දෙනා මේ ක්ෂේත්‍රයේ ඉන්නේ ක්ෂේත්‍රය ගැන පොඩි දැනීමක්වත් නැතුව. වර්තමානයේ සිදුවුණු ගොඩාක් දේවල් නිසා නිරූපණ ක්ෂේත්‍රය පහතට වැටිලා තියෙනවා. ඒ දේවල් වෙන්නේ ක්ෂේත්‍රයට ආදරය නොකරන, ක්ෂේත්‍රය ගැන හැඟීමක් නැති, ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් නැති අය ක්ෂේත්‍රයට ආවාමයි. එයාලා ක්ෂේත්‍රය විනාස කරනවා. ඒ ගැන ඇත්තටම තියෙන්නේ දුකක්.

 

නිරූපණ ශිල්පිනියක් වෙන්න රූපය විතරක් මදිද?

ඔව්. නිරූපණ ශිල්පිනියකට රූපයක් කියන්නේ එක් අංගයක් විතරයි. නිරූපණ ශිල්පිනියකට අනිවාර්යෙන් හොඳ උගත්කමක් තියෙන්න ඕනේ. හැමදේම ගැන හොඳ දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ටැලන්ට් එක තමයි වැදගත්ම දේ වෙන්නේ.

 

වෙළඳ දැන්වීම් වලට දායක වෙලා තිබෙනවාද?

මම මුලින්ම දායක වුණේ ලංවා වානේ වෙළඳ දැන්වීමට. ඒකෙන් මම ගොඩාක් ජනප්‍රිය වුණා. එතනින් පස්සේ මම වෙළඳ දැන්වීම් රැසකට දායක වුණා.

 

මිතූ වෘත්තීය වශයෙන් තෝරාගත්තේ නිරූපණයද?

මගේ බලාපොරොත්තුව වෘත්තීමය වශයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න. මම තවම ඒකට ඉගෙනගන්නවා. මම ළඟදි තමයි උසස් පෙළ හැදෑරුවේ. නිරූපණයට ළඟම විෂයක් තමයි රූපලාවන්‍ය කියන්නේ. ඉතින් ඒ නිසා මගේ වෘත්තීව විදිහට මම තෝරාගත්තේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයයි. නිරූපණය මම අමතරව කරන දෙයක්. මම පුංචි කාලේ ඉඳලා හීන දැක්කා නිරූපණ ශිල්පිනියක් වෙන්න.

 

ඔබේ ඉදිරි වැඩකටයුතු සහ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඉදිරි වැඩකටයුතු නම් ගොඩක් තියෙනවා. සැලෝන් එකක් ආරම්භ කරන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවුරුද්දේ මට නිර්මාණ රැසකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබට අතහිත දුන් අය ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ ආච්චි අම්මාව. ඇය තමයි මට මෙච්චර දුර එන්න උදව් කරේ. එතකොට මට රංගනය හැදෑරුවේ සුගත් සමරකෝන් සර් යටතේ. ඔහුටත් ස්තූතියි කරනවා. එතකොට නික් ජයමාන්න සර්ටත් ස්තූතියි කරනවා. ඊට අමතරව මට ක්ෂේත්‍රය ඇතුළේ ගොඩාක් දෙනෙක් උදව් කරලා තිබෙනවා. ඒ හැමදෙනාටමත් මම ස්තූතියි කරනවා.

 

කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

2019-01-07-ent-88  2019-01-07-ent-90 2019-01-07-ent-91