නිතර හිනාවෙන අය ගොඩක් ලස්සනයි
දෙරණ අවුරුදු කුමරි 2020 තරගාවලියේ තෙවන ස්ථානය දිනාගත් ඇය එම ජයග්‍රහණය නිසාම අද බොහෝ දුර පැමිණ ඇත. කැලණිය සරසවියේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරණ ඇය දිලුෂි හංසිකා ය. රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක් ලෙස ඉතාම කෙටි කලකදී ඔබේ ආදරය නොඅඩුව ලබාගත් ඇය ගැන අපි අද ලස්සන රහස් පිටුවෙන් කතා කරන්නෙමු.
• අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන විදිහට රඟපෑම් කටයුතු කරගෙන යනවාද?
අම්මෝ ඔව්. අධ්‍යාපනයට තමයි කොයි වෙලාවෙත් මුල්තැන දෙන්නේ. රඟපෑමත් ආසාවෙන් කරනවා. ලෝකයේ විවිධ භාෂාවල් හැදෑරීමටත් මම ගොඩක් කැමතියි. දැනට ජර්මන් භාෂාවත් කැම්පස් එකේදි ඉගෙන ගන්නවා.
• ලස්සන නිසා බොහෝ දුර යන්න පුළුවන් කියලා හිතන සමාජයක ඔබ ඔය තරම් අධ්‍යාපනයට මුල්තැන දෙන්න හිතන්නේ?
ලස්සන කියන දේ, ඒ නිසා ගොඩනැගුණ සමාජ මට්ටම් ආදිය දිනෙක නැති වෙන්න පුළුවන්. නමුත් අධ්‍යාපනයෙන් අපි ඉහළට ගිහින් අපි උගත් දැනුමෙන් හරඹපෑමට ගත්තොත් එහි ඇති ශක්තිය සදාකාලිකයි. මම පෞද්ගලිකව හිතනවා ගැහැනු දරුවෙක් තමන්ගේ රූපය කුමක් වුණත් හමේ පාට මොකක් වුණත් හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න ඕනේ කියලා. එතකොට කාන්තාවකට ලැබෙන වටිනාකම හරිම ඉහළයි. රූපයකට ලැබෙන වටිනාකම තාවකාලික විය හැකියි. නමුත් උගත්කමකට බුද්ධිමත් බවට ලැබෙන වටිනාකම හරිම ඉහළයි.
• කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?
ලස්සන කියන දේ තීරණය වන්නේ අපි දකින දේ අනුව. ලංකාවේ නම් ගොඩක් වෙලාවට හැමෝම හිතන්නේ හම සුදු නම් ලස්සනයි කියලා. නමුත් මා පෞද්ගලිකව කෙනෙකුගේ සුන්දරත්වය දකින්නේ හමේ පාටින්වත්, ඇඟේ හැඩයකින්වත් නොවේ. පිරිසිදුව, පිළිවෙලට ඉන්නවා නම්, හැමතින්ම කෙනෙක් එක්ක ප්‍රසන්නව කතා කරනවා නම් හිනා වෙනවා නම් ඒ අයව ගොඩක් සුන්දරව පේනවා.
• සුන්දරත්වය නිසා අද ඇයට වටිනාකමක් ලැබී තිබෙනවාද?
ඔව්. ගැහැණියක් පිරිමියකුගෙන් වෙන්වෙන්නේ ඇයටම ආවේණික වූ සුන්දරත්වය, ලාලිත්වය නිසා. ස්වභාව දහමෙන්ම කාන්තාවක් මෙලොවට එවා තිබෙන්නේ කුමන හෝ සුන්දරත්වයකින්.
ඇය සතු දක්ෂතාවය, හැකියාව, පෞරුෂත්වය අනෙකා සමග කටයුතු කරන ආකාර අනුව ඇයට වටිනාකමක් එකතුවෙනවා. ඒ හැම දේම තියෙන කෙනෙකුට සුන්දරත්වය කියන්නේ වෙනස් එකක්.
• බාහිරෙන් ලස්සන වෙන්න ඕනේම කෙනෙකුට පුළුවන්. හදවතින් ලස්සන වෙන්නේ කොහොමද?
ඒක තමයි හැමෝටම කරන්න අමාරුම දේ. හදවතේ සිතුවිලි පිරිසිදුව තියාගන්න පුළුවන්නම් අපි ඉබේම ලස්සන වෙනවා.
• උපතින් ලැබුණ සුන්දරත්වය ආරක්ෂා කරගන්න මොනවාද කරන්නේ?
අම්මයි, තාත්තායි පැහැපත් නිසා මටත් ඒ අයගේ ලස්සන පැහැපත් බව ලැබිලා තියෙනවා. ඒත් මම හැම වෙලාවකම ඒ දේ පරිස්සම් කර ගන්න ලොකු වෙහෙසක් ගන්නවා.
ඒ වෙනුවෙන් කරන ප්‍රධානම දේ තමයි වතුර බොන එක. ඊට අමතරව හැමදාම උදේට අම්මා කැරට් හරි බීට් හරි ජූස් එකක් හදලා දෙනවා. අලිගැටපේර ජූස්වලටත් මම ගොඩක් ආසයි. කෑම ගැනීමේ දී ගොඩක් සැළකිලිමත් වෙනවා. ව්‍යායාම නොකරන නිසා ඇඟේ හැඩය මම අනිවාර්යයෙන්ම පාලනය කරන්නේ කෑමබීම පාලනයෙන්. අර කියමනක් තියෙනවා නේද උදේට රජෙක් වගේ කන්න ඕනේ, දවල්ට හිඟන්නෙක් වගේ කාලා, රෑට කුරුල්ලෙක් වගේ කන්න ඕනේ කියලා. ඒ කියමන නම් මම හරියට අනුගමනය කරනවා. දවල්ට කන්නේ හරිම අඩුවෙන්. රෑට සුප් එකක්, එළවළු සලාදයක් වගේ දෙයක් ගන්නවා. උදේට තමයි ඉතින් හොඳටම කන්නේ.
• මූණට කරන සත්කාරයක් ගැන දැනගන්න කැමතියි.
කිව්වට විශ්වාස කරයිද දන්නෑ මම අද වෙනකං facial එකක් කරලා නෑ. සැලොන් යන්නේ eye bros හදන්න විතරයි. මූණට කරන හොඳම සත්කාරය තමයි මූණ හොඳට බේබි සබන් දාලා හෝදන එක. වෙනනම් දෙයක් ඇත්තටම කරන්නෑ.
• පුංචි කාලේදී අම්මා දුවගේ හම ලස්සන කරන්න කියලා කරපු සත්කාර මොනවාද?
අම්මා මට අවුරුදු 5 වෙනකම්ම මාව නාවලා තියෙන්නේ වෙනිවැල්ගැට තම්බපු වතුරෙන්. අම්මා හැම තිස්සේම කියනවා රත්තරං පාට හමක් ලැබිලා තියෙන්නේ ඒ නිසා කියලා.
• ඔබ ලස්සනයි කියලා ඔබට දැනෙන්නෙ පටන් ගත්තෙ?
ම්... පාසලේ 9-10 වසරවල ඉන්නකොට තමයි මට එහෙම දැනුනේ. දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය තමයි මගේ පාසල. පුංචි කාලේ ඉඳලාම හැමදේටම මම දක්ෂයි. ඒ දක්ෂතාවය නිසාත් හැමෝගේම ලොකු පිළිගැනීමක් නිරතුරුවම මට ලැබුණා. රූපයේ සුන්දරත්වයත් සියලු දක්ෂතාවලින් එළියට එන්න පිටිවහලක් වුණා.
• ඔබට විශ්වාස කරන විදිහට කෙනෙක් මේ ලෝකයට ලස්සන වෙලා උපදින්නේ?
මම හිතන්නේ ඒකට අප පෙර ආත්මයක සිදුකළ යහපත් කර්ම ඵලය හේතුවක් වෙන්න ඇති. ලස්සනට ඉපදෙන්න වගේම මේ ආත්මයේදී හොඳට ඉන්නත් මම පෙර සංසාරේ ගොඩක් පිං කරලා ඇති.
• ඔබ අද ඔතන ඉන්නේ ලස්සන නිසාද?
නැහැ. මට වඩා ලස්සන ළමයි ඕනෑ තරම් මේ රටේ ඉන්නවා. අවුරුදු කුමරිය තේරීමේ තරගාවලියේදීවත් ලස්සනට විතරක් මුල්තැන දුන්නේ නැහැ. අධ්‍යාපන සුදුසුකම්, අනෙකුත් කලා හැකියාවන්, දක්ෂතා, පෞරුෂත්වය කියන මේ හැමදේ ගැනම බලනවා. ඒ නිසා අද කෙනෙක් මා දන්නවා නම් ඒ නිකම්ම නිකං රූපයක් නිසා නොඩනැගුණ දෙයක් නොවේ. හැකියාව, දක්ෂතාවය, බුද්ධිමත්ව කියන මේ හැම දේකම එකතුවක්.
• ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
ලෝකයේ නම් මම ඕනෑ තරම් ලස්සන කාන්තාවන් දැකලා තියෙනවා. ඒත් මගේ අම්මා තරම් මතුපිටින් වගේම හදවතින් ලස්සන කෙනෙක් අද වෙනකම් මම දැකලා නෑ.
• සුන්දරත්වය කියන්නේ ආඩම්බර විය යුතු දෙයක්ද?
කවදාවත් නෑ. තරුණ අවධියේදී මේ තියෙන සුන්දරත්වය කවදාවත් අපිට වයසට යනකොට තියන්නේ නෑ. ඕනෑම ලස්සන කෙනෙක් වයස අවුරුදු 35, 40, 50 වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා මොනවා කරලා රූපය ආරක්ෂා කරගන්න හැදුවත් ඒ හැමදේම හරිම තාවකාලිකයි. රූපය ගැන අනවශ්‍ය විදියට වෙහෙසෙන වෙලාවේදී අඩුම තරමේ පොතක්පතක් කියවලා දැනුම හොයාගෙන යන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා. මොකද දැනුම උගත්කම කියන දේ කවදාවත් වයසට යන්නේ නෑ. ජීවිතය ගැන හරි අවබෝධයෙන් ඉන්න කෙනෙකුට ශරීරය වෙනස් වුණා කියලා ලොකු දුකක් දැනෙන්නෙත් නෑ.
• සුන්දරත්වයට ලෝකයේ තැනක් හිමිවෙනවා නේද?
ඕනෑම ස්වරූපයක කෙනෙක් දෙවඟනක් වගේ කරන්න රූපලාවන්‍ය ශිල්පයෙන් දැන් පුළුවනි. ඒ නිසා මම හිතන්නේ සුන්දරත්වයට ලස්සනට වඩා අද තැනක් හිමිවන්නේ හැකියාවටයි, දක්ෂතාවයටයි.
• විලාසිතා කිරීමේ දී සැලකිලිමත්ද?
ලොකු සැලකිල්ලක් නෑ. ඒත් පිළිවෙල, යනතැන මට කොයිතරම් දුරට ගැලපෙනවාද කියලා හිතලා තමයි විලාසිතා කරන්නේ. එහෙම නැතුව brand හොය හොය සල්ලි නාස්ති කරන පුරුද්දක් නම් මට නැහැ.
• ඔබ අද ඉන්න තැන ගැන ඔබ තෘප්තිමත්ද?
ඔව්, මම හැමදාම උදේ හවස බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි සියලු දේ හොඳින් වෙන්න කියලා අධිෂ්ඨාන කරන එක. මම හිතනවා මේ පුංචි වයසට මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා කියලා. කවදාවත් මට මගේ ජීවිතය ගැන පසුතැවිල්ලක් නෑ. එහෙම හිතෙනකොට මට හිතෙනවා මම මේ ලෝකයේ ඉන්න ගොඩක් වාසනාවන්ත කෙනෙක් කියලා.
අසුන්තා එදිරිසූරිය
ඡායාරූප: පමුක නිමේෂ් පීරිස්