නිතර 'මේකප්' දාන නිසා මාසෙකට සැරයක් ‘ක්ලීනප්’ කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200805-04

සචිනි රණවක, දෙරණ රූපවාහිනියෙන් විකාශය වන ‘සංගීතේ’ ටෙලිනාට්‍ය බලන අයට නම් ඇය අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. දෙරණ ‘Dream Star, Season 7’ තරගාවලියේදී තම ගායන හැකියාවෙන් බොහෝ දුර පැමිණි ඇයට අද වෙන විට රංගන ක්ෂේත්‍රයේ ද දොරටු විවර වී ඇත. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ඇය අපි අද ලස්සන රහස් පිටුව හැඩකරන්නට තෝරා ගත්තෙමු.

ගායන දක්ෂතාවයන්ගෙන් ක්ෂේත්‍රයට පැමිණි ඔබට අද රඟපෑම් අංශයෙන් දොරටු විවර වෙලා. මේ හැමදේම ලැබුණේ මොකක් නිසා කියලා ද ඔබ විශ්වාස කරන්නේ.

ම්... මම හිතන්නේ වාසනාව නිසා කියලා.ENT-20200805-06

 

වාසනාව තිබූ පමණින් කෙනෙකුට යම් ක්ෂේත්‍රයක ඉදිරියට යන්න පුළුවන් ද?

බැහැ. ඕනෑම ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න දක්ෂතාවය, කැපවීම, උනන්දුව, උත්සහය, වගේම කරන වෘත්තිය සතුටින් කැමැත්තෙන් කරන්න පුළුවන් හැකියාවකුත් තිබිය යුතුයි. ක්ෂේත්‍රයක සාර්ථකව රැඳීමට.

 

නියැලෙන ක්ෂේත්‍ර දෙක අනුව කටහඬ ගැන වගේම, බාහිර සුන්දරව සිටීමත් වැදගත් නේද ?

ඔව්. සංගීතය මගේ ජීවිතයේ කොටසක්. සිංදු කියන එක වගේම හිත නිරතුරුවම සතුටින් තියාගන්න මම සිංදු අහන එකත් කරනවා. රඟපෑම් කටයුතු කිරීමේ දී ඇඟේ හැඩය ලස්සනට තියාගන්න ඕනේ නිසා, දැන් වෙනදාටත් වඩා මම මගේ ඇඟ ගැන හිතනවා.

 

ඇඟ අඩුකරගන්න මොනවා ද කරන්නේ.

ව්‍යායාම කරනවා. ෂූටින් නැති දවස්වලට මම ජිම් එකට ගිහින් අනිවාර්යයන්ම ව්‍යායාම කරනවා. ඊට අමතරව කෑම බීම ගැනීමේදීත් ගොඩක් සැලකිළිමත්. උදේට කන්නේම නැති තරම්. දවල්ට බත් පොඩ්ඩක් එක්ක එළවළු, සලාද, මැල්ලුම් ආදිය වැඩිපුර කනවා. වතුරත් ගොඩක් බොන්න පුරුදුවෙලා ඉන්නවා.

අඹ, ගස්ලබු, කොමඩු, පේර වගේ පළතුරුත් නිතර ආහාරයට එක්කර ගන්නවා. ඇඟ අඩුකරගන්න කියලා හිතලා හැමදාම රෑට ග්‍රීන් ටී එකක් බොනවා.

 

සුන්දරත්වය රැකගන්න නිවසේදී මොකද කරන්නේ.

පුංචි කාලේ ඉඳලාම හම පිරිසිදු කරන්න මම පාවිච්චි කරන්නේ බේබි සබන් විතරයි. අදටත් මට වෙන Face Wash එකක්වත් පාවිච්චි කරන්න බෑ. කොහොමත් මම ක්‍රීම් වර්ග මුහුණට පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. ඒ නිසා ස්වාභාවික සත්කාරවලට තමයි මුල්තැන දෙන්නේ. ගෙදර ඉන්න දවසට කෝමාරිකා මදයට, කස්තුරි කහ ටිකක් කලවම් කරලා මුහුණේ ආලේප කරලා විනාඩි 20 කින් විතර හෝදලා හරිනවා. මෙම ස්වාභාවික සත්කාරයෙන් මුහුණේ ලපකැලල් ඉවත්වෙලා, පැහැපත් බවක් ලැබෙනවා. ඒ වගේම කුණු දූවිලි ආදියත් හොඳින් ඉවත්වෙනවා. ඊට අමතරව යෝගට් එකකට අලිගැට පේර මදය කලවම් කරලත් මුහුණේ ගානවා. මේමගින් සමේ වියළි බව නැතිවෙලා දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. තව විශේෂයෙන්ම කරන දෙයක් තමයි දවසක් හැර දවසක් කැරට් ජූස් එකක් බොන එක. මේ හැමදේම එකතුවකින් ආයාසයකින් තොරව සුන්දර බව රැකගන්නවා. රාජකාරි කටයුතුවල දී මේකප් ගොඩක් දාන නිසා මාසයකට වරක් මම ක්ලීනප් එකක් කරගන්නවා.

 

කෙස් කළඹ සුන්දරව තබාගැනීමට මොනවද කරන්නේ.

මසකට වරක් සැලොන් එකකට ගිහින් කන්ඩිෂන් සත්කාරයක් කරනවා. ගෙදරදී සුමානයට දවසක් වගේ ඔලිව් තෙල්, එඬරු තෙල්, පොල්තෙල් එකට එකතු කරලා ඒකට විටමින් ඊ කරලක් දාලා හිසේ ගල්වනවා. මෙම තෙල් සත්කාරයෙන් හිසකෙස්වලට ඉහළ පෝෂණයක් ලැබෙනවා. හිසකෙස් නිරෝගී වෙනවා.

 

ඔබ ඔබේ ජීවිතේ ලස්සනටම සැරසුණ දවස

ම්..... එහෙම විශේෂ දවසක් මතකයේ නෑ. හැමදාම වගේ ලස්සනට ඇන්දාම ‘ලස්සනයි’ කියලා අම්මා වගේම යාළුවොත් කියනවා.

 

හිත සතුටින් තියාගන්න මොනවාද කරන්නේ.

අපේ හිත සතුටින් තියාගත හැකි ප්‍රධානම නියමුවා වන්නේ අපිමයි. අපි අවට සිටින අයත් නිතරම අපිව සතුටින් තියන්න උත්සාහ ගන්න අය වුණොත්, අපිටත් ඉබේම සතුටින් ඉන්න එක හේතුවක් වෙනවා.

 

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව

දීපිකා පදුකෝන්ගේ සුන්දරත්වයට මම ගොඩක් කැමතියි.

 

කාන්තාවකට ලස්සන වැදගත්ද?

අනිවාර්යයෙන්ම ඔව්. මම හිතනවා මේ ලෝකයේ ඉන්න හැම කාන්තාවකටම ලස්සන වැදගත් වගේම හැම කාන්තාවක්ම කුමන හෝ විදිහකට ලස්සනයි කියලා. ලස්සන කියන දේට වටිනාකමක් ලැබිලා තියෙන නිසා තමයි, අද කාන්තාවන් හැමෝම වයස් බේදයක්, පන්ති බේදයක්, නැතුව ලස්සන වෙන්න උත්සහ කරන්නේ. කාන්තාවක් බාහිරව ලස්සන වෙන්න වගේම හදවතින්ම ලස්සන වෙන්නත් උත්සාහ කරනවා නම් ගොඩක් වැදගත් කියලා මම හිතනවා. මොකද බාහිරෙන් කොච්චර ලස්සන වුණත් හදවතින් අවලස්සන නම් එවැන්නෙකුගේ සුන්දරත්වයෙන් වැඩක් නෑ කියලයි මම පෞද්ගලිකව දකින්නේ.

 

විලාසිතා කිරීමේ දී සැලකිලිමත්ද?

මට ගැළපෙන විලාසිතාවලට කැමතියි. නමුත් මම හරිම ආසයි අත්දෙක දිගට දාපු ඇඳුම් විලාසිතා වලට.

 

හිත සතුටින් තියාගන්න මොනවාද කරන්නේ.

හිනාවෙලා ඉන්නකොට ප්‍රශ්න ඉබේම අමතක වෙනවා. අනිත් දේ තමයි කාටහරි උදව්වක් කරලා, කෙනෙකුට පිහිට වෙලා ලබන සතුටත් හරිම උතුම්. පාසල් කාලයේදී කොළඹ විශාඛා විද්‍යාලයෙනුත්, ඊට පෙර සිටි නුගේගොඩ අනුලා විද්‍යාලයෙනුත් ලැබුණු පන්නරයත්, ගෙදරින් ලැබෙන ආදර්ශයත් නිසා මට හැමදාම සතුටින් ඉන්න පුළුවන් විදිහට හිත හදාගන්න පුළුවන් වෙලා තිබෙනවා.

 

ඔබේ සුන්දරත්වයට වශී වී කෙනෙක් ඔබට ආදරය කරනවා නම්.

මම හිතනවා එවැනි ආදරයක් තාවකාලික වෙයි කියලා. මොකද රූපය කියන දේ හරිම ඉක්මනට වෙනස් විය හැකියි. නමුත් හදවතට බැඳෙන බැඳීමක් ආත්මීයයි. උත්තරීතරයි. ලස්සනට පමණක් ආදරය කරන කෙනෙක්, ලස්සන නැති වුණාම දුරස්වෙන්න පුළුවන් නේද?

 

අසුන්තා එදිරිසූරිය

ඡායාරූප: චාමිකර හෙට්ටිආරච්චි

 

 ENT-20200805-05