නළු නිළියෝ කිව්වාම දික්කසාද කියන තැනටම වැටිලා තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-05-ent-100

නළු නිළියෝ කිව්වාම දික්කසාද කියන තැනටම වැටිලා තියෙන්නේ

හර්ෂණ බෙත්මගේ


හර්ෂණට, අනිත් පිරිමින්ට තියෙන මෝඩ ප්‍රශ්න ටික නැහැ 

වොල්ගා කල්පනී


අද රංගන ක්ෂේත්‍රය තුළ නිතර ඇසෙන මාතෘකාවක් තමයි විවාහ වෙලා කෙටි කාලයකින් වෙන්වීම කියන කාරණාව. නමුත් ආදරයෙන් ජීවත් වන යුවළවල් මේ නැතුවාම නොවෙයි. එවැනි යුවළක් ලෙස වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ හැඳින්වූවාට කිසිඳු වරදක් නැහැ. ඉතිං ඔවුන් සමග "අද" තරු කතාබහ හැඩකරන්න හිතුවා.

 

කො‍හොමද මේ දවස්වල කාර්යබහුලත්වය?

වොල්ගා -

2017-04-05-ent-98ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ "එකගෙයි මිනිස්සු" කියලා ලස්සන ටෙලිනාට්‍යයක වැඩකටයුතු කරගෙන යනවා. ඒක මට ලැබිච්ච ලොකු අවස්ථාවක්. මොකද සෝමවීර සේනානායක මහත්මයාගේ තිරපිටපතක් නිසා. ඒ වගේම සඳුන් රාජකරුණා මහත්මයාගේ %පැහැසරා^ කියන ටෙලිනාට්‍යයේ වැඩ කරගෙන යනවා. මමයි හර්ෂණයි බැන්දට පස්සෙ ප්‍රථම වතාවට පෙම්වතා සහ පෙම්වතිය චරිතෙට රඟපානවා. ඒක තමයි විශේෂ වැඩකටයුත්තකට තියෙන්නේ.

හර්ෂණ -

මේ දවස්වල නම් ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ වෙලා නැහැ. නමුත් රූප රචනා දෙකක් විතර කළා. දැන් ඉතිං රූප රචනා ටිකක් වැඩියෙන් කෙරෙන නිසා ටිකක් සීමා සහිත කරලයි තියෙන්නේ. ඊට අමතරව මමයි වොල්ගයි එකට රඟපාන ටෙලිනාට්‍යයකට පොඩ්ඩක් මහන්සි වෙනවා. ඒක නිසා වෙන දේවල් බාරගන්න එක පොඩ්ඩක් නතර කරලා තියෙන්නේ.

 

පසුගිය කාලෙ ඇති වුණ ෆේස්බුක් ප්‍රශ්නය තාමත් තියෙනවද?

වොල්ගා -

ඒක තාම නවත්තලා නැහැ. කාලයක් නවත්වලා තිබුණා. හර්ෂණ ගිහිල්ලා ඒ පුද්ගලයාට එක වතාවක් අවවාද කරලා තිබුණා. ඊට පස්සෙ නවත්තලා සමාව අරගෙන ඔක්කෝම කරල ආයෙත් පටන් අරන් අපි දෙන්නා වගේ මිනිස්සුන්ව රවට්ටන්න සහ ඔවුන් එක්ක චැට් කරන්න. ඒක කොච්චර කළත් පටන් ගන්නවා, නවත්තනවා. මොකක් හරි මානසික මට්ටම අඩු කෙනෙක් තමයි ඒ දේවල් කරන්නේ කියල අපි දෙන්නා දන්නවා. හර්ෂණ - පාඩමක් ඉගෙන ගන්න මනුස්සයෙක් නම් ඒක නතර කරලා ඉවරයි. මොකද මම පාඩමක් උගන්නපු නිසා. ඒත් නවත්වලා නැහැ. ඒ මනුස්සයද නැත්නම් ඒ පුද්ගලයාගේ මාර්ගයෙන් වෙන කෙනෙක් මේ දේ කරගෙන යනවද කියල හිතාගන්න බැරිවෙලා තියෙනවා. කොහොම වුණත් අපිත් එක්ක ළඟින් ඇසුරු කරන අපේ දුරකථන අංක පවා තියෙන, අපේ විස්තර හැමදෙයක්ම දන්න කෙනෙක් තමයි මේ දේවල් කරන්නේ කියල කියන්න පුළුවන්.

 

මෙවැනි කාර්යයන් සිදුකරන්නන්ගේ යටි අරමුණ මොකක් කියලද ඔය දෙන්නා හිතෙන්නේ?

වොල්ගා -

අපිට හිතෙන්නේ මෙහෙමයි. මේ ක්ෂේත්‍රයේ 90෴ක්ම අපට ආශිර්වාද කරනවා. ඒ අතරින් අර ඉතුරුවෙලා ඉන්න 10෴ පිරිස ඉන්නවනේ. ඒ පිරිස ඇතුළේ කෙනෙක් තමයි මේ දේවල් කරන්නේ. හරිහමන් බිරිඳක් නැති, පවුල් ජීවිතයක් නැති, යාළුවෙක් නැති, ආගමක් දහමක් නැති අය අපේ ලංකාවේ ඉන්නවනේ. එහෙම කෙනෙක් තමයි මේ දේවල් කරන්නේ. ඒ දේට නීතියෙන් දඬුවම් නොලැබුණත්, ස්වභාවධර්මයා විසින් අනිවාර්යෙන් දඬුවම් ලබා දෙයි.

 

අද ක්ෂේත්‍රය තුළ විවාහ වෙනවා දික්කසාද වෙනවා, මේක දැන් අලුත් ට්‍රෙන්ඩ් එක වෙලා. ඉතිං ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයන් ඔබ දෙපළ පිළිබඳව කොහොමද දකින්නේ?

වොල්ගා -

අපි දෙන්නා පිළිබඳව ගොඩක් අය කතා වෙනවා අපිට ඇහිල තියෙනවා. අපේ මේ සම්බන්ධයට අපි දෙන්නගේ යාළුකම බලපාන්න ඇති. මොකද අපි දෙන්නා හොඳම යාළුවෝ දෙන්නා සහ අපි දෙන්නාගේ පවුල් ජීවිතය තුළ සැකය, අවිශ්වාසය කියන දේ ඇතුළට අරන් නැහැ. හර්ෂණ කියන්නේ සීයයට දාහක් තේරුම් ගැනීමක් තියෙන කෙනෙක්. මොකද එයාට අනිත් පිරිමින්ට තියෙන මෝඩ ප්‍රශ්න ටික නැහැ. මම මොන නළුවා එක්කද වැඩ කරන්නේ, ඒ දේවල් එයාට අදාළ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන කුසුම් රේණු මහත්මියට අපි වෙඩින් එක කියන්න ගිය වෙලාවේ, එයා අවුරුදු 30ක් අතේ දාගෙන හිටපු මුද්දක් (එයාගේ වෙඩින් රින්ග් එකේ ගාඩ් රින්ග් එක) මගේ ඇඟිල්ලට දාල කිව්වා අපේ (ශ්‍රියන්ත - කුසුම්) විවාහය රැකුණා වගේ ඔයාල දෙන්නාගෙත් විවාහ රැකෙන්න ඕන කියලා.

හර්ෂණ -

ගොඩක්ම ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් අපි දෙන්නා ගැන ගොඩාක් විශ්වාසයක් තියල තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අවවාද ලබා දීලා තිබෙනවා. ඒ අයගේ උපදෙස් අනුශාසනා පිළිගෙන අපි ඉදිරියට යන එක තමයි කරන්න ඕන.

දැන් තියෙන කාලයත් එක්ක අපි සෑහෙන්න පරිසම් වෙන්න ඕන. පවුල් ජීවිතය පරිසම් කරගෙන හිටියත් මොකක් හරි දෙයක් සිදුවෙන්න බොහෝ දේවල් තියෙනවා. දැන් තියෙන ට්‍රෙන්ඩ් එකත් එක්ක ගොඩක් අය වෙනස් වෙන්න බලනවා. ඒ වගේ ඇතැම් පිරිස් ඉන්නවා මායි වොල්ගයි වෙනස් වෙනවා බලන් ඉන්න. ඒ නිසා අපි දෙන්නා සෑහෙන්න පරිසම් වෙනවා. ක්ෂේත්‍රයට කැත නාමයක් ගාවන්නෙ නැතිව සහ අපි දෙන්නගේ ජීවිත වලට කිසිම කැළලක් සිදුනොවෙන්න වග බලා ගන්නවා.

 

වෘත්තීමය සහ පෞද්ගලික ජීවිතය එකට ගෙනයාමක් තමයි ඔබ දෙපළ සිදුකරන්නේ? ඒ කාර්යය පහසුද?

වොල්ගා -

මම හිතන්නේ ඒකට අවශ්‍ය වෙන්නේ අවබෝධය. කොහොමත් අපි දෙන්නගෙන් වැඩියෙන්ම වැඩ කරන්නේ හර්ෂණ. මම ක්ෂේත්‍රයට ආපු කාලේ ඉඳන් තෝරා බේරාගැනීමක් ඇතිව වැඩ කරන කෙනෙක්. හර්ෂණ කොමර්ෂල් නළුවෙක්. කාර්යය බහුලත්වය බැලුවාම මම එච්චර කාර්යය බහුල කෙනෙක් නෙවෙයි. අපි දෙන්නා කරන නිර්මාණ ගැන අපි තේරුම් අරගෙන ඉන්නේ. හර්ෂණ පොඩි කාලේ ඉඳන් සෑහෙන්න මහන්සි වුණා නළුවෙක් වෙන්න. මම පොඩි කාලේ ඉඳන් මහන්සි වුණා මේ ක්ෂේත්‍රයට එන්න. අපේ පවුල් ජීවිතය කවදාවත් කිසිම Set එකකට ගාවගෙන නැහැ. එකට Set එකේ වැඩකරනවා. අපි "උරුමක්කාරයෝ" කියන නාට්‍යයේ එකට වැඩ කළා. හර්ෂණ මගේ අයියා. මගේ පෙම්වතා විදිහට ධනුක ඩිල්ෂාන් රඟපෑවා. හර්ෂණ කිසිම වෙලාවක ඇඟිලි ගහන්න මම රඟපාන තැනට එන්නෙ නැහැ.

හර්ෂණ -

ඒක ඇත්තටම අදාළ වෙන්නෙ නැහැ. මම මොන නිළිය එක්කද රඟපාන්නේ, මම මොන වගේ දේවල්ද කරන්නේ කියන දේ බලපාන්නේ නැහැ. අපි ඇතැම් විට සමහර දේවල් කතා වෙලා නොකර ඉන්නවා. මොකද අපිව පුංචි තිරයේදී දකින ප්‍රේක්ෂකයන් ඒවා පෞද්ගලික කරගන්න නිසා. ටෙලි නාට්‍යයේ හෝ චිත්‍රපටයේ අපි කරන දර්ශනය වැදගත් වෙනවා අපේ පෞද්ගලික ජීවිතයේ සහ අපි ජීවත් වන පරිසරය හදාගන්න. ඉතිං ප්‍රේක්ෂකයන්ට ලොකු අවබෝධයක් තියෙන්න ඕන අපි මේ කරන්නේ චරිතයක් කියලා වටහා ගන්න. අපි කරන චරිත වලින් අපිව මනින්නෙ නැතුව, අපේ චරිත වලින් අපිව මනිනවානම් ඉතාමත් කැමතියි. අපි යම්කිසි චරිතයක් කරනකොට ඒ පිළිබඳව ඉතාමත් අවධානය යොමු කරනවා. අපි වැඩක් කරලා පහුවෙනිදට පාරේ බැහැල යන්න බැරිනම්, ඒ චරිතයට කොච්චර ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුණත් වැඩක් වෙන්නෙ නැහැ. අපි දෙන්නා අපේ වෘත්තීමය ජීවිතයට සහ පෞද්ගලික ජීවිතය කියන දෙකටම වෙලාවන් යොදාගෙන තියෙනවා. රැකියාවත් මහන්සිවෙලා ගරුත්වයකින් කරනවා වගේම, පෞද්ගලික ජීවිතයත් ඉතාමත් මහන්සි වෙලා ගරුත්වයෙන් රැක ගන්නවා.

 

විවාහයෙන් පසු එකට රඟපාන පළමු අවස්ථාවේ සූදානම ගැන කිව්වොත්?

වොල්ගා -

ඇත්තටම අපි ටිකක් මහන්සි වෙනවා. හර්ෂණ ටිකක් මහත් වෙලා නිසා එයා කෙට්ටු වෙන්න උත්සාහ කරනවා. මං හරි කැමැතියි මේ දේට. මොකද අපි දෙන්නා නිතර රඟපාන දෙන්නෙක් නෙමෙයි. අපි දෙන්නට පැකේජ් නැහැ. මම රඟපානවා නම් ඒකෙ හර්ෂණ ඉන්න ඕන කියන පැකේජ් එකේ අපි නැහැ. අපි දෙන්නා එක ටෙලිනාට්‍යයක් කළා. ඒක සෑහෙන්න ජනප්‍රිය වුණා. ලක්ෂ්මන් පුෂ්පකුමාර කියන අධ්‍යක්ෂකවරයා කරපු ඉල්ලීම අපි ඉහමුදුනින් පිළිගත්තා.

හර්ෂණ -

ඇත්තටම කිව්වොත් ඒක අලුත් කතා තේමාවක් සහ පරිසරයෙනුත් වෙනස් වෙලා තියෙනවා. අපිට කොළඹ නගරයේ ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ. ඉතිං ඒකෙන් මිදිලා වෙනමම ප්‍රදේශයකට ගිහිල්ලා වැඩකරන එක සහ වෙනත් චරිත දෙකක් ඔස්සේ අපි දෙන්නා එකතු වෙන එකත් ඉතාමත් වැදගත්. ඒ පිටපතට අනුකූලව අනුබද්ධ වෙන්න සෑහෙන්න කාලයක් යනවා. ඒ නිසා අපි දෙන්නා විශ්වාස කරනවා ඒ ටෙලිනාට්‍යය වෙනස් ලස්සන නිර්මාණයක් වෙයි කියලා.

 

නිදහසක් ලැබුණ ගමන් කොහොමද කාලය ගත කරන්නේ?

වොල්ගා -

අපිට නිවාඩුවක් ලැබුණ ගමන් අපි කොහේ හරි යනවා. අපි ක්‍රිකට් වලට ආදරය කරන කපල් එකක්. හර්ෂණ වෙනස් ස්වාමිපුරුෂයෙක්. මම ඒක ඕනෑම තැනක කියනවා. සම්ප්‍රදායට කොටු වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ අතින් මම හරි වාසනාවන්තයි. මාව දැක්කාමත් ගොඩක් අය කියනවා සතුටින් ඉන්නවා කියල පේනවා කියල. මොකද මම හරි නිදහස්. බැන්දා කියල මම කොටුවෙලා නැහැ. වෙනසකට තියෙන්නේ මුද්ද අතේ තියෙන එක විතරයි. ලොකු වෙනසක් නැහැ. එහෙම ස්වාමිපුරුෂයෙක් ලැබුණ නිසා තමයි මගේ ජීවිතය මෙහෙම සතුටින් ගත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

හර්ෂණ -

අපි මැච් බලනවා. ඊළඟ මැච් එකත් බලන්න යනවා. අපි නිවාඩුවක් ලැබුණ ගමන් නිදහස් වෙන්න හොයන දෙන්නෙක්. මොකද අපි කාර්යබහුල වෙනකොට එක දිගට මාස ගණන් කාර්යබහුල වෙනවා. අපි රැකියාව වෙනුවෙන් සෑහෙන්න කැප කිරීමක් කරනවා. ඒ කැපකිරීම අනික් පැත්තට අපේ පවුල් ජීවිතයට කරගත්තේ නැත්නම් ඒකත් පොඩි හානියක් වෙනවා. ආදරය වුණත් අපි වෙනස් කර කර ආදරය කරන්න පටන් ගන්නවා.

 

වෘත්තීමය ජීවිතේ කාර්යය බහුලත්වය නිසා පෞද්ගලික ජීවිතේ හොඳම අවස්ථාවන් මඟ හැරෙන්නේ නැද්ද?

හර්ෂණය-

ඇත්තටම අපිට මඟහැරෙනවානම් මඟහැරෙන්නේ නින්ද කියන දේ තමයි. ඊට අමතරව වොල්ගගේ කෑම ටික මඟහැරෙනවා. ඒක ගැන නම් ලොකු දුකක් තියෙන්නේ. අනික් කිසිම දෙයක් මඟහැරෙන්න දෙන්නේ නැහැ.

වොල්ගා -

මටත් එහෙම ලොකුවට දෙයක් මඟහැරෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ මගේ අම්මයි, තාත්තයි එක්ක. හර්ෂණයි මගේ අම්මයි එකතු වෙලා මාව උපරිමයෙන්ම සැප පහසුවෙන් තියන්න උත්සාහ කරනවා. මම හර්ෂණ ගැන හිතනවට වඩා එයා මං ගැන හිතනවා. ඒ දේවල් නිසා මගේ හොඳම කිසිම දෙයක් මට මඟහැරෙන්නේ නැහැ. ඊට අමතරව හර්ෂණ ළඟ නැති දවස් තියෙනවා. ඉතිං ඒ දේ නම් සාමාන්‍ය දෙයක්. මොකද අපි ජීවත් වෙන්න ඕන, සල්ලි හම්බකරන්න ඕන. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ මේ හැමදේම කරන්නෙ රඟපාලා. අපිව ප්‍රේක්ෂකයන් බලන්නෙ නැත්නම්, ඉල්ලන්නෙ නැත්නම් අපිට ජීවත් වෙන්න වෙන්නෙ නැහැ.

හර්ෂණ - වොල්ගා කිව්ව වගේ රඟපෑම නිසා තමයි අපි ජීවත් වෙන්නේ. ඉදිරියේදී අපි පොඩි වැඩක් ආරම්භ කරන්න සැලැසුම් කරන් ඉන්නවා. ඒ දේ ක්‍රියාත්මක වුණාම රඟපෑමෙන්ම ජීවත් වීමේ අවශ්‍යතාවය නැහැ. දැනට අපිට ආරාධනා කරන හැමදේටම යන්න වෙනවා සල්ලි නිසා. ඒ දේ කරන්න බැහැ. මොකද ඒ නිසා ක්ෂේත්‍රයටත්, අපිටත් හානියක් සිද්ධ වෙනවා.

 

රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

වොල්ගා -

ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ අපි දෙන්නා ෆේස්බුක් නැහැ. අපි දෙන්නගේ නමින් තියෙන කිසිම දෙයකට රැවටෙන්න එපා. අපිත් එක්ක ඉන්නවට ගොඩක් ස්තූතියි. අපිත් එක්ක හැමදාම ඉන්න. කලා ක්ෂේත්‍රය කියන්නේ නරක ක්ෂේත්‍රයක් නෙමෙයි. දික්කසාදය කියන්නේ මේ ක්ෂේත්‍රයේ විතරක් තියෙන දෙයක් නෙමෙයි. අපිට ආදරය කරන නිසයි මේ දේවල් අපේ රසිකයන්ට පේන්නේ. කලා ක්ෂේත්‍රය කියන්නේ උතුම් ක්ෂේත්‍රයක්.

හර්ෂණ -

අරමුණක් තියෙනවා නම් ඒ වෙනුවෙන් කැප වෙන්න කියනවා. අපිත් අපේ අරමුණු වලට අමාරුවෙන් යන යුවළක්. ක්ෂේත්‍රය ගැන මේ කාලයේ වපර ඇහින් බලන අදහසක් ඇති. ඒ අදහස් නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රේක්ෂකයන් නිසා තමයි මෙතන ඉන්නේ. ප්‍රේක්ෂකයන් වපර ඇහෙන් බලනවානම් ඒක අපිට ලොකු හානියක්. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා හැමකෙනාම දිහා ඒ විදිහට බලන්න එපා. පුළුවන් නම් සිංහල නිර්මාණ එක්ක රැඳී ඉන්න කියලා කියනවා. මොකද ඉන්දියානු නිර්මාණ එක්ක ඉන්න හැම වෙලාවේම අපේ ක්ෂේත්‍රය පසුබෑමකට ලක්වෙනවා. බැලුවට කමක් නැහැ. අපේ නිර්මාණ සමග ඉන්නවානම් හොඳයි කියලා හිතනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-04-05-ent-103 2017-04-05-ent-102 2017-04-05-ent-101  2017-04-05-ent-99  2017-04-05-ent-97 2017-04-05-ent-96