නර්තනය මගේ ජීවිතයේ කොටසක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200727-69

2020 දෙරණ අවුරුදු කුමාරිය ලෙසින් හිස කිරුලු පැළඳූ ඇය අද වනවිට රංගන ක්ෂේත්‍රයේ දොරටු විවරකර ගෙන ඇති රංගන ශිල්පිනියකි. සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබන ඇය හේෂානි ලියදිපිට. අවුරුදු කුමරියක් ලෙසින් හිස ඔටුණු පැළඳූ ඇගෙන් ලස්සන රහස් ගැන දැන ගන්න බොහෝ කරුණු තියෙන නිසාම අපි කතා බහ ආරම්භ කළෙමු.ENT-20200727-70

 

ලස්සන නිසාමද අවුරුදු කුමාරි වුණේ

ලස්සනත් එක හේතුවක්. ඊට අමතරව උගත්කම, බුද්ධිමත්භාවය, පෞර්ෂය, කතා කරන විලාසය, හැසිරෙන ආකාරය ගැන වගේම දක්ෂතාවයන් ගැනත් සැළකිල්ලට ගෙන තිබුණා.

 

අවුරුදු කුමාරි තරගයට සහභාගි වීමට කොච්චර කාලෙක ඉඳලාද සූදානම් වුණේ.

ඇත්තටම කවදාවත් මම සැළසුම් කරලා තිබුණේ නෑ එම තරගාවලියට සහභාගි වෙන්න. අයැදුම්පත් පවා යවා තිබුණේ අම්මා. ඒ නිසා විශේෂ සූදානමක් තිබුණේ නැහැ.

 

දැන් ඔබ ඔබ ගැන හිතන්න පටන් අරන්ද?

ඔව්. දැන් නම් නිරෝගිකම ආරක්ෂා කර ගැනීම වගේම ඇඟේ හැඩය ක්‍රමානුකූලව තබා ගැනීම වෙනුවෙනුත් වෙහෙසෙනවා.

 

කෑම බීම පාලනය කොහොමද කරන්නේ.

උදේට ගොඩක් වෙලාවට මම කන්නේ ඔට්ස් හෝ පළතුරු. දවල්ට නම් එළවළු, පලා වර්ග, සලාද එක්ක බඩ පිරෙන්න බත් කනවා. රෑ කෑම නොකා ඉන්න කොච්චර උත්සාහ කළත් අම්මා නම් ඒකට ඉඩ දෙන්නෙ නෑ. මම බඩගින්නේ ඉද්දී එයාලාට කන්න බෑ කියලා රෑ කෑමට මට එළවළු තම්බලා තියෙනවා. නැතිනම් එළවළු සුප් එකක් හරි හදලා දෙනවා. ඊට අමතරව දවසකට මම ඇල්වතුර ලීටර් 4ක් විතර පානය කරනවා. ඇඟ ටිකක් මහත නිසා ඉඳහිට ග්‍රීන් ටී පාවිච්චි කරනවා.

 

මොනවගේ පලතුරුද වැඩිපුර කන්න ආසා.

දොඩම්, දෙහි, නාරං, මිදි තමයි මම කැමැතිම පළතුරු. ඊට අමතරව රඹුටන්, මැංගුස් වගේ පළතුරු මේ දවස්වල කනවා.

 

ශාරීරික ව්‍යායාම්වලට මුල්තැන දෙනවාද?

ඔව්. දිනපතා උදෑසන 6.30 ඉඳලා 9.30 වෙනකම් මම ජිම් එකට ගිහින් ව්‍යායාම කරනවා.

 

ලස්සන වෙන්න ගෙදරදී කරන්නේ මොනවාද?

මට වඩා මගේ ලස්සන ආරක්ෂා කර ගන්න උනන්දු වෙන්නේ මගේ අම්මා. අම්මා නිතරම කෑම බීම පිළියෙළ කිරීමේදී පවා ඒ ගැන සැළකිලිමත්. ගොඩක් ජාති නම් මම මූණේ ගාන්නේ නෑ. ඒත් අපි පුංචි කාලේ ඉඳලාම අම්මා ගෙදරම හදන සබන් එකක් තමයි මටයි අක්කාටයි හමට ගාන්න දුන්නේ. දැන් අම්මා අක්කාගේ බබාටත් ඒ ස්වභාවික සබන් වර්ගය ගානවා.

සුදු හඳුන් කුඩු, වෙනිවැල් ගැට කුඩු, කොකුම්පොතු කුඩු සහ කස්තුරි කහ එකතු කරලා ඒකට සබන් කෑල්ලක් පොඩියට හූරලා දාලා වතුර ටිකක් කලවම් කරලා තමයි ඒ සබන් කැටේ ගෙදරදීම හදන්නේ. ඒක සමේ කුණු, දූවිලි ඉවත් වෙන්න වගේම සමේ පැහැපත් බව ආරක්ෂා කර ගන්නත් මහඟු පිටුවහලක් වෙනවා.

 

ඔබ ලස්සනයි කියලා ඔබට හිතුණේ

වැඩිවිය පැමිණිලා උත්සවය ගන්න දවසේ මොණර නිල්පාටයි, රත්තරං පාටයි මිශ්‍රකරලා ලස්සනට මහපු ගවුමක් අම්මා මට ඇන්දුවා. එදා කණ්ණාඩියෙන් බැලුවාම මට හිතුනා මම ගොඩක් ලස්සන කෙනෙක් නේද කියලා.

 

විලාසිතා කරන්න කැමැතිද?

අම්මෝ ඔව්. මම හරිම ආසයි මට ගැලපෙන විදිහට විලාසිතා කරන්න. මම ආස ගොඩක් ඇඳුම් මම මහගන්නවා.

 

ලස්සන කාන්තාවකට වැදගත් කියලා ඔබ විශ්වාස කරනවාද?

ඔව්. හැම කාන්තාවකටම ලස්සන කියන දේ වැදගත්. කොච්චර වැදගත් වුණත් ලස්සන කියන දේ අපි කෘත්‍රිමව සොයාගෙන යා යුතු නැහැ. උපතින් ලැබුණු සුන්දරත්වය, ආරක්ෂා කර ගැනීමයි අප කළ යුත්තේ. වර්තමානය වනවිට බොහෝ දෙනෙක් හිතනවා සමේ පාට සුදු නම් තමයි ලස්සන කියලා. හැමෝම අද ධවල වන්දනාවක යනවා. මම නම් හිතන්නේ සමේ වර්ණය කළු වුණත්, සුදු වුණත්, තළෙලු වුණත් හැම කෙනෙකුටම ආවේණික වුණ ලස්සනක් තිබෙනවා. එය සොයා ගැනීමයි වැදගත්.

 

ලස්සන වෙන්න සල්ලි ඕනේද?

නැහැ නේද? හදවතින් අපිට ලස්සන වෙන්න පුළුවන් නම්, අපි නොදැනුවත්වම ලේ පිරිසුදු වෙලා හම ලස්සන වෙනවා.

 

ප්‍රශ්නයක් ආවොත් එය අමතක කරන්න උත්සාහ ගන්නේ කොහොමද?

ප්‍රශ්න කියන දේවල් ජීවිතයට එනවා යනවා. ඒක සාමාන්‍යයි. මාව කායිකවත්, මානසිකවත් සතුටින් තියන එකම මෙවලම තමයි නර්තනය. නර්තනය කියන්නේ මගේ ජීවතේම කොටසක්.

 

කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ...

දෙමාපියන්ගේ ජාන බලපෑමයි, පෙර පිනයි බලපානවා. අම්මා ඉස්සර කියනවා බුදු හාමුදුරුවන්ට මල් පූජා කළාම ලස්සන වෙලා ඉපදෙනවා කියලා.

 

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව...

මම මේ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව මගේ අම්මා. පෙනුමෙන් වගේම හදවතිනුත් හරිම ලස්සනයි.

 

අසුන්තා එදිරිසූරිය

හැඩගැන්වීම: ලංකා ප්‍රනාන්දු

ඡායාරූප: නිමේශ් පීරිස්