නර්තනය පැත්තෙන් තමයි ඉදිරියට යන්න බලාපොරොත්තුව තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ENT-20200623-01

නර්තන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම රූ රැජින තරඟාවලියක ජයග්‍රහණයක් හිමි කරගත් කෙනෙක් තමයි අංජු කියන්නේ. නර්තනයෙනුයි, නිරූපණයෙනුයි දෙපැත්තෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අංජුව සාරවිට කතාබහකට එකතු කරගන්න අපි හිතුවා.

 

ඔබව හඳුන්වා දුන්නොත්?ENT-20200623-03

මගේ නම අංජු හෙට්ටිආරච්චි. මගේ වයස අවුරුදු විසි හතරයි. මම නර්තන ශිල්පිනියක් ලෙස තමයි කලාවට එකතු වෙන්නේ. දැන් නිරූපණ ශිල්පිනියක් ලෙසත් වැඩකටයුතු කරනවා.

 

නර්තන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට ඇවිත්?

මම චන්දන වික්‍රමසිංහ සර්ගේ නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් ලෙස වසර කිහිපයක ඉඳලා වැඩ කරනවා. ඒ අතරතුරදී පැජන්ට් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

 

ඒ පැජන්ට් එක ගැන කිව්වොත්?

පැජන්ට් එක තමයි "Miss Intercontinental Sri Lanka - 2019" මම එහි දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් වුණා. ඊටපස්සේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආරධනා ලැබෙන්නේ.

 

පැජන්ට් අත්දැකීම් කොහොමද?

මම පැජන්ට්වලට අළුත් කෙනෙක්. ඒ මගේ පලමු පැජන්ට් එකයි. නිරූපණයට එන්න ආසාවක් තිබුණ නිසා තමයි අයදුම් කළේ. මම ආස දෙයක් නිසා ඉතා ආසාවෙන් සහභාගී වුණා. හොඳ අත්දැකීම් රැසක් එකතු කරගත්තා. පළමු තරඟයෙන්ම ජයග්‍රහණයක් ලබාගන්න හැකි වීම ගැන විශාල සතුටක් තියෙන්නේ.

 

නිරූපණයෙන් මොනවද දායක වුණු නිර්මාණ?

මම ලොකු නිර්මාණවලට සහභාගි වෙලා නැහැ තවම. අවුරුදු නාට්‍යයකට රංගනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. රොසෑන් ඩයස් මහත්මියගේ මාර්ගයෙන් ෆැෂන් ෂෝ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

 

නර්තනයටද වැඩි කැමැත්ත නිරූපණයටද?

නර්තනයට. මම කැළණිය විශ්ව විද්‍යාලයේ නර්තනය පිළිබඳව බාහිර උපාධියකුත් හදාරනවානේ.

 

රංගනයට ආරාධනාවක් ලැබුණොත්?

ආසාවක් තියෙනවා. කලාව පැත්ත තමයි මම ගොඩක්ම කැමතියි. ඉතින් ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා.

 

පොඩි කාලේ ඉඳලාම කලාවට සම්බන්ධයිද?

ඔව්. මම පොඩි කාලේ ඉඳලාම ඩාන්සින් කළේ. මගේ පලමු ගුරුවරයා තමයි බුදවත්ත සර්. එතනින් ආරම්භ වුණු ගමන තමයි මේ තාක් දුර ගෙනාවේ.

 

ගෙදරින් ලැබෙන සහයෝගය?

පොඩි කාලේ ඉඳලාම ගෙදරින් ලොකු සහයෝගයක් දුන්නා. අම්මා තමයි පස්සෙන්ම ඉන්නේ.

 

අද නිරූපණ ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?

ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය හොඳයි. අළුතින් එන ගොඩක් ශිල්පිනියෝ ගොඩක් උත්සහ කරන්නේ ෆොටෝෂූට්වලින් ජනප්‍රිය වෙන්න. ඒ වගේම අද වෙද්දි ගොඩක් අය ෆීල්ඩ් එකට එන්න පොඩි බයක් තියෙනවා. ජනප්‍රියත්වය බලාගෙන ෆීල්ඩ් එකෙන් නරක පැතිවලට යන ප්‍රමාණය වැඩියි. හොඳ විදිහට වැඩ කරනවා නම් හොඳ ගමනක් යන්න පුළුවන් ක්ෂේත්‍රයක් තමයි මේක.

 

ප්‍රවීණයන්ගෙන් සහයක් ලැබෙනවාද?

ඇත්තටම ඔව්. අළුතින් එකතු වෙන අයට ප්‍රවීණ ශිල්පීන් යටතේ පුහුණු වෙලා එන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනවා. එයාලගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවානේ. එයාලගෙන් දැනුමක් අරගෙන ෆීල්ඩ් එකට එනවා නම් ගොඩක් කල් රැඳෙන්න පුළුවන්.

 

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

නර්තනය පැත්තෙන් තමයි ඉදිරියට යන්න බලාපොරොත්තුව තියෙන්නේ. නිරූපණය පැත්තෙනුත් ආරාධනා ලැබෙන විදිහට සම්බන්ධ වෙනවා.

 

උදව් කළ අය කවුද?

මුලින්ම මගේ අම්මා ඇතුළු පවුලේ අයව මතක් කරන්න ඕනේ. එතකොට චන්දන වික්‍රමසිංහ සර්ව, රොසෑන් ඩයස් මහත්මිය සහ මට නන් අයුරින් උදව් කරපු හැමෝමත් මතක් කරනවා.

 

කැළුම් දේවින්ද

 

 ENT-20200623-02  ENT-20200623-04