නර්තනය ඉගෙන ගත්තා ගායනයට හිතගියා දැන් රඟපානවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2725

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සමග කරළියට පැමිණ අද සංගීතේ නාට්‍යයේ චරිත රංගනයකට එක්ව සිටින ඇය හංසනී විමල්සිරිය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාසාංගික කලාවේදී විශේෂ උපාධිය ලබා සිටින මේ හංසිනී කවුද? අද සඳැල්ල කවරය හැඩ කරමින් ඇය කතා බහට එක්වූයේ මෙලෙසිනි.

 

හංසිනී කොහොමද ඉතින්?

හොඳයි, මේ දිනවල සංගීතෙත් එක්ක තමයි.2019-12-18-ent-2726

 

සංගීතේ චරිතෙ ගැන කියමු.

පවුලක වැඩිමහල් දියණිය. එයාගෙ නම නිශානි. පළමු විවාහයේ දරුවකු එක්ක දෙවැනි විවාහයේ දරුවකු අපේක්ෂාවෙන් සිටින ගැබ්බර කාන්තාවක්. එයාගෙ තාත්තා, මල්ලිලා දෙන්නා, නංගි සහ සැමියා මෙන්ම දියණිය බලා කියාගෙන ජීවත්වන කාන්තාවක්. වෘත්තියෙන් නිශානි ගුරුවරියක්.

 

ගැබ්බර වූ කාන්තාවකගේ චරිතයක් රඟපෑම මොනවගේ අත්දැකීමක්ද ගෙන දුන්නෙ.

මීට කලින් මවක ලෙස චරිතයක් රඟපෑවා. ගිරිදුර්ග ටෙලි චිත්‍රපටයේ. ඒ මම රඟපෑ දෙවැනි ටෙලි නාට්‍යය හැබැයි. මේ අත්දැකීම ඇත්තටම වෙනස් අත්දැකීමක්.

 

හංසනී රඟපෑමට ආ හැටි කියමු.

රඟපෑමට එන්න කිසිම අදහසක් නම් තිබුණෙ නැහැ. ක්ෂේත්‍රයට ආවේ ගායනය එක්කයි. සෞන්දර්යය සරසවියේ ඉගෙන ගනිමින් සිටියදී දෙරණෙ ඩ්‍රීම් ස්ටාර් සීසන් 7 එකට සම්බන්ධ වුණා. එහිදී අවසාන 9 දෙනා දක්වා ඒමට හැකි වුණා. ඒත් එක්කම දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ ඇරයුම හා මග පෙන්වීම එක්ක නික්මයාම ටෙලි චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. රඟපෑමට ආවේ ඒ විදියටයි.

 

ඉගෙනීම් එහෙම කළේ.

දෙබරවැව ජනාධිපති සහ ජාතික පාසලෙන් පාසල් අධ්‍යාපනය ලැබුවේ. ඉන්පසුව සෞන්දර්ය සරසවියට තේරුණා.

 

පාසල් සමයේදී මොන වගේ අරමුණක්ද තිබුණෙ.

සංගීතය විෂයයක් විදියට හදාරලා තිබුණෙ නැහැ. විෂයක් හැටියට කළේ නර්තනය. එක්තරා අවස්ථාවක සාහිත්‍ය සංගමයේ පැවැත්වූ උත්සව අවස්ථාවක ඉදිරිපත් කිරීමක් කරන්න කියලා මාව බලහත්කාරයෙන්ම වගේ ඊට යොමු කළා. එදා මම මූදු පුත්තු නාට්‍යයේ ‘‘මුහුදු පතුලයට ඉඳලා’’ ගීතය ගයමින් ඉදිරිපත් කිරීමක් කළා. මම හිතන විදියට මගේ කලා හැකියාව හඳුනා ගත්තෙ ඉන්පසුව කියලා කියන්න පුළුවනි.

 

නටපු නැටුමට මොකද වුණේ.

නර්තනය අතපසු වුණා. ඒත් නැත්නම් ඒක නතර වුණා. කිව්වොත් හරි. එදා පාසලේ ඉදිරිපත් කළ අවස්ථාවෙන් පසුව සංගීත තරගවලට යොමු වෙන්න කියලා පාසලෙන්ම මාව උනන්දු කළා. මේ විදියට තමයි ඉදිරියට ගමනක් ආවේ.

 

අද මොකද කරන්නේ.

සියයට සීයක්ම දෙරණ සංගීතේ නාට්‍යය එක්ක සම්බන්ධවෙලා සිටිනවා. ඒක මෙගා නාට්‍යයක්. ඒ නිසා වැඩිපුර කාලය වැය වෙනවා. සංගීතේ ටෙලි නාට්‍යයේ ගීත දෙකක් ගායනා කළා. ‘‘පුතුනේ තිදෙනා’’ කියන දරු නැළවිලි ගීතය ඉන් එකක් ඊට අමතරව යූ-ටියුබ් චැනල් එකක් කරගෙන යනවා. මගේම නමින්. සරසවි අධ්‍යාපනය කරන කාලයේදී ගායනය, රංගනය, අධ්‍යක්ෂණය මම විසින්ම කරමින් නාට්‍යයක් කළා. ඒක කෙටි චිත්‍රපටයක්. චැලේන්ජ් කියලා. ඊට අමතරව ගීත තුනක් යොදාගෙන මැෂ් අප් එකක් කළා. මගේ යූ-ටියුබ් චැනල් එකේ ඒවා ප්‍රචාරය වෙනවා. තවත් අලුත් නිර්මාණ එයින් කිරීම අදහසයි. තවත් මගේම ගීත දෙකක් ඒ චැනල් එකේ ප්‍රචාරය වෙනවා.

 

දෙබරවැව ඉඳලා කොළඹ ආපු ජීවිතේ ගැන කෙටියෙන් කිව්වොත්.

මගේ උපන් ගම දෙබරවැව. නමුත් අපි පදිංචිවෙලා ඉන්නෙ වීරවිල. සරසවි අධ්‍යාපනයට තේරීමත් එක්ක කොළඹ ඒමට සිද්ධ වුණා. ඒ විදියට ආ ගමන තමයි මේ.

 

කොහොමද කොළඹ ගෙවන ජීවිතය

ගමේ සහ කොළඹ කියලා මට නම් වෙනසක් නැහැ. ගෙවන ජීවිතය එක හා සමානයි. මොකද ගමේ ගියාම සිටින මමම තමයි කොළඹදි ඉන්නෙත් මගේ විදිය නිසා මට දැනෙන්නෙ එහෙමයි.

 

මොකක්ද හංසිගෙ ‘‘විදිය’’?

හංසිනි විමල්සිරි මිනිස්සු එක්ක ගනුදෙනු කරන විදිය එක්ක තමයි ඒ වෙනස තියෙන්නෙ. හොඳ නරක කියන මිනිසුන් එක්ක විතරයි ඒ වෙනස වෙන්නෙ. ඒ හොඳ නරක එක්ක මම ක්‍රියා කරන විදිය එක්කයි. කොළඹ සහ ගම ගැන කතා කළොත් එතනදි තියෙන එකම වෙනස ගමේ වගේ පරිසරය කොළඹ නැති එක විතරයි.

 

වඩා කැමැති කොළඹ ඉන්නද ගමේ ඉන්නද?

නිවාඩුව ගෙදර ඉන්න ආසයි.

 

හංසිනි මොනවගේ පවුලක කෙනෙක්ද?

අපේ තාත්තාට හොඳට චිත්‍ර අඳින්න පුළුවනි. අම්මාට හොඳට සිංදු කියන්න පුළුවනි. අයියලා තුන්දෙනාටත් හොඳට සිංදු කියන්න පුළුවනි. ඒ විදියේ සෞන්දර්යාත්මක පවුලක කෙනෙක්.

 

පවුලේ එකම දියණිය කොළඹ ඒම ගැන ගෙදර අය මොනවද කිව්වේ.

සරසවි ජීවිතය කියන්නෙ එක්තරා කඩඉමක්නෙ. ඉතින් කොළඹ එන්නම වෙනවා. ඒ පරිසරයට හුරුවෙන්න ටික දවසක් ගියා.

 

කොහොමද හංසිනීගේ ජීවිතේ

හොඳින් ගෙවෙනවා. ප්‍රශ්න නැත්තෙම නැහැ නෙවෙයි. ප්‍රශ්නත් තියෙනවා. මිනිස් ස්වභාවය එහෙමනෙ. අපි ඒවාටත් මුහුණදීලා මේ ගමන යන්න ඕනෑ. මට හරි ඉක්මනට කේන්ති යනවා වගේම ඉක්මනින් නිවෙනවා. මගේම කියලා හැමදෙයක්ම ළංකර ගන්න උත්සාහ ගන්න කෙනෙක් නෙවෙයි මම. මාව තේරුම් ගත්ත යාළුවො ටිකයි මට ඉන්නෙ. මගේ ඇහැට හිනාව වගේම කඳුළක් දෙන්න පුළුවන් වෙන්නෙ මා වටා සිටින මම හඳුනාගත් ඒ ටික දෙනාට විතරයි. සමහරවිට සමහර අය මම ගල් හිතක් තියෙන තද හිතක් තියෙන කෙල්ලෙක් කියලා හිතන්න පුළුවන්. හැබැයි මට තරා තිරම කියන දේ ලොකු නැහැ. අසාධාරණ නම් කේන්ති යනවා. ක්ෂේත්‍රයේ වුණත් ලොකුකම් සහ ලොක්කන්ට ඔළුව නමන්නෙ නැහැ. මගේ විදියේ හැටි එහෙමයි.

 

ඔබ අනෙක් අයට රෙස්පෙක්ට් කරනවද?

කළ යුතු කෙනාට කරනවා. මනුස්සකමට ගරුත්වය බුහුමන් ලැබිය යුතු කෙනාට එය දක්වනවා.

 

කොහොමද ඔබ කියන ඔය මනුස්සකම මනින්නෙ.

හොඳ හිතින් කවුරුහරි කරන උදව්ව තේරෙනවා. ඊර්ෂ්‍යයා සහගත නොවී හදවතින්ම අවංකව උදව් කරන මිනිස්සු ගැන තේරෙනවා. ඒ තමයි ගරු කළ යුතු මනුස්සයා.

 

රඟපෑම කියන දේ ලෙහෙසියිද?

ඇත්තෙන්ම හරි අපහසු වැඩක්. හිතන තරම් සුන්දරත් නැහැ. අසුන්දරත් නැහැ. ඒක හරි අභියෝගයක්. වැරදි පාරවල්වල ගියොත් ගමන කෙටිවේවි. කෙටි කාලීන වෙන්න මම කැමැති නැහැ. ප්‍රවීණයින්ගෙ ආභාෂය අපට හරිම වැදගත්.

 

මේ විදියෙ අදහස් දක්වන්න හංසිනී ආදරවන්තියක්ද?

හොඳින් ආදරය ලබන විඳින කෙනෙක්.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ