නපුරු චරිතවලටත් ප්‍රේක්ෂකයො ආදරෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල පුංචි තිරයේ වැඩි අවධානයක් දිනාගෙන සිටින නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් සඳැල්ල කතාබහකට එකතු කරගත්තා. ඇය නමින් සචිනි වික්‍රමසිංහ.

 

20201017Hot (1)• මේ දිනවල සචිනි ගැන කතාබහ වෙන්නෙ මොන නිර්මාණ හරහාද?

මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන හදවතේ කතාවේ ‘බුවිනිකා’ චරිතය තුළින් තමයි කතාබහ වෙන්නෙ. ඉතින් ඒ තුළින් නම් වැඩිපුර බැනුම් අහන එක තමයි සිද්ධ වෙන්නෙ නම්. ඊට අමතරව අලුත් නිර්මාණයකින් ඉදිරියේ දී දැකබලාගන්න පුළුවන් වෙයි.

 

• චරිතය වෙනුවෙන්නෙ බැනුම් අහන්නෙ නේද?

ඔව්. මම පොඩි කාලෙ රංගනයෙන් දායක වුණාට පස්සෙ නැවත ප්‍රේක්ෂකයා තුළට මතකයෙ රැඳෙන චරිතයකින් එන්නෙ දෙවනි ඉනිමෙන්. ඒ ආරම්භයෙන් පස්සේ ගොඩාක් නපුරු චරිතවලට තමයි කතා කළේ. අහිංසක චරිතත් කරලා තියෙනවා. නමුත් කැපිලා පෙනුනෙ නපුරු චරිත රංගනය තමයි.

 

• ඒ චරිතවලට සාධාරණයක් කළ නිසානෙ ඒ විදියෙ බැනුම් අහන්නෙ නේද?

ඔව් ඉතින්, බැනුම් අහනවා ඇත්තේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ කරන නිසා වෙන්න ඇති කියලා මමත් හිතනවා.

 

• නපුරු චරිත රංගනයෙන් දායක වුණාට ඒ හරහා සචිනිට ප්‍රේක්ෂකයන් අතරට යන්න හැකිවෙලා තියෙනවා නේද?

විශේෂයෙන් කියන්න ඕනෑ. මම හිතාගෙන හිටියෙ අහිංසක චරිතවලට පමණක් ප්‍රේක්ෂකයන්ගෙ වැඩි ආදරය ලැබෙන්නෙ කියලා. නමුත් ප්‍රේක්ෂකයො ඒ දේ වෙනස් කරලා තිබුණා. මෙවර මාව රයිගම් සම්මාන උළෙල ජනප්‍රියම රංගන ශිල්පිනියන් 10 අතරට ගෙනල්ලා එතැනිනුත් 6 වෙනි තැනට ගෙනල්ලා තිබුණා. ඉතින් එතැනින්ම සනාථ වුණා නපුරු චරිතවලටත් ප්‍රේක්ෂකයො ආදරය කරනවා කියලා. ඒ වගේම කොහේ ගියත් බොහෝ දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය සතියෙ ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති උත්සවයකට සම්බන්ධ වුණා පදවියෙ. ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටපු අම්මලාගෙන්, ගුරුවරුන්ගෙන්, ළමයින්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ ප්‍රතිචාර දකිද්දි යුවනිකාට ගොඩක් දෙනෙක් බැන්නට ඒ චරිතයට ආදරෙයි කියලා හිතුණා. ඒ හරහානෙ මට ජනප්‍රිය ඛාණ්ඩයට යන්නත් හැකි වුණේ.

 

• ඉතින් ජනප්‍රියම තරු 6 අතරට යන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ලොකු ජයග්‍රහණයක්. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මම මේ ගැන මුලින්ම දැක්කෙත් රයිගම් සම්මාන උළෙලට සතියකට පෙර වගේ. මුලින්ම දැක්කෙ මම 9 වැනි ස්ථානයේ ඉන්නවා. මගෙ යාළුවෙක් තමයි ඒ පෝස්ටුව මට එවලා තිබුණෙ. මුලින් ඒ පිළිබඳව හොයලා බැලුවත් අවසානට නම් සඳහන්වූ පිරිස ගැන ලොකු උනන්දුවක් දක්වන්නෙ නැහැනෙ.

නමුත් මාවත් ජනප්‍රිය කාණ්ඩයට තේරී පත්ව තිබුණා. අවසානයේ 6 වෙනි තැනටත් ඇවිල්ලා තිබුණා කියන්නෙ ලොකු සතුටක්නෙ ඉතින් නපුරු චරිතයක් වුණත් මම වෙනුවෙන් ආදරය කරන පිරිසක් ඉන්නවා කියලා හිතෙද්දි. සම්මානය නොලැබුණත් මගේ නම යෝජනා වීමම ඇත්තටම ලොකු දෙයක්.

 

• වැඩිපුරම කැමැති ජනප්‍රියම නිළිය සම්මානයට ද? හොඳම නිළිය සම්මානයට ද?

දෙකම ගොඩාක් වටිනවා. නමුත් ගොඩක්ම කැමැති හොඳම නිළිය වෙන්න. ඒ නිසා මම කැමැතියි එක රාමුවකට කොටු නොවී විවිධාකාර චරිතවලට යන්න. මේ ටිකේ නම් ගොඩාක්ම කළේ එකම විදියෙ චරිත රංගනයන්, නමුත් ඉන් එහා තැනකට යන්න මම කැමැතියි. අපි සම්බන්ධ වෙන චරිත රංගනයන් හිදී ඒ චරිතවලින් ජනප්‍රියම චරිත තීරණය කරන්නෙ ප්‍රේක්ෂකයොනෙ. ඒ සම්මානය ප්‍රේක්ෂකයො තීරණය කරන්නෙ. ඒකත් වටිනවා.

නමුත් ඒ දේ නිශ්චිත නැහැ. විනිශ්චය මණ්‍ඩලයක් යටතේ ඒ ලබන ඇගයීම ගොඩක් සාර්ථකයි කියලා මට හිතෙන්නෙ. ඒ නිසා ඒ තැනට යන්න ගොඩක් කැමැතියි. මොකද ඒ දක්ෂතාවය මත මනින සම්මානයක්නෙ.

 

• සචිනි රංගනයට අමතරව නිවේදනයෙන් නිරූපනයෙන් සම්බන්ධ වෙනවා නේද?

නිවේදන කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා. මේ දිනවල නම් රටේ පවතින තත්ත්වය නිසා ඒ දේවල් ටිකක් වෙනස් වුණා.

ඉදිරියේ දී නැවතත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. නිරූපන ශිල්පිනියක් විදියට ගොඩාක් දේවල්වලට සම්බන්ධ වෙන්නෙ නම් නැහැ. නමුත් මෑතක දී නම් විලාසිතා වෙළඳනාම යටතේ ෆොටෝ ෂූට්වලට සම්බන්ධ වෙන්න ආරාධනා ගොඩක් ලැබුණා. ඒ දේවල් නම් කළා. ඒවගේම වෙළෙඳ දැන්වීම්වලටත් සම්බන්ධ වුණා. ඇත්තටම නිරූපනය කියන දේ මම වෘත්තියක් විදියට නම් කරන්නෙ නැහැ. නමුත් හොඳ දේකට කතා කළොත් යනවා.

ඇත්තටම මේ වෙද්දි ඒ ඇඳුම් විලාසිතා නිරූපණයට හොඳ ප්‍රතිචාරත් තියෙනවා. මමත් ගොඩාක් කැමැති දෙයක් තමයි ඇඳුම් මෝස්තර නිර්මාණයන් කිරීම. සමහර ඇඳුම් මම විසින්ම නිර්මාණය කරගෙන මගේ ඡායාරූප ශිල්පියාට කියලා ෆොටෝ අරගෙන ඒවා ඵල කළාම ඒ ඇඳුම් මෝස්තර නිර්මාණයන්ටත් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ නිසාම මම මේ වෙද්දි මගේම ඔන්ලයින් ඇඳුම් ව්‍යාපාරයකුත් කරගෙන යනවා.

 

• ඒ කියන්නෙ රංගනයට අමතරව ව්‍යාපාරික කටයුතුවලත් යෙදෙනවාද?

මම කොහොමත් ඉස්සර ඉඳන්ම කැමැති දෙයක් තමයි ඇඳුම් මෝස්තර නිර්මාණය කිරීම. පුංචි කාලෙ මගේ ළඟ බෝනික්කො ගොඩාක් හිටියා. ඉතින් මම ඒ බෝනික්කන්ට ඇඳුම් ඉදිකට්ටකුයි, නූලකුයි අරන් මගේම අතින් කපලා මහනවා. ඉතින් අම්මා ඒ දේවල් බලාගෙන ඉඳලා ඒ නිර්මාණ ගොඩාක් අගය කරලා තියෙනවා. ඒ පිළිබඳ දක්ෂතාවයක් තියෙනවා කියලත් අම්මා දැනගෙන හිටියා.

ඉතින් ඒ විදියට මගේම ඇඳුම් මෝස්තර භාවිත කරලා නිර්මාණයන් කරන්න ඉදිරියේ දී බලාපොරොත්තුවක් තියෙනවා. දැනට නම් මම පිටරටින් ඇඳුම් ගෙන්නලා ව්‍යාපාරය කරන්නෙ.

 

• පුංචි කාලෙදි සචිනිගෙ අරමුණ වුණේ මොකද්ද?

මම කැමැත්තෙන් හිටියෙ පුංචි කාලෙ ඉඳන් ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න. නැත්නම් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට යන්න. නමුත් මේ දෙකටම මට යන්න නොහැකි වුණා. ඒ මීට හාත්පසින්ම වෙනස් දෙයක් මම ඉගෙනගත්ත නිසා. ඒ එයාර් ක්‍රාෆ්ට් ඉංජිනියරින්. නමුත් මම කැමැති ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මට නැවතත් අවස්ථාවක් ලැබුණා. ඒ ඇඳුම් මෝස්තර නිර්මාණය කරන්න.

 

• ඒ අවස්ථාව ලැබුණෙ කොහොමද?

මගේ පෙම්වතා තමයි මාව මේ වෙනුවෙන් දිරිගැන්වීමක් කළේ. ඔහු මට කිව්වා ලස්සනට ඇඳුම් අඳිනවා. විවිධ මෝස්තර කරනවා. ඒ නිසා ඒ අංශයට නැවත යොමුවෙන්න කියලා. මගේ කැමැත්ත ගැනත් ඔහු දැනගෙන හිටියා. ඇත්තටම මේ වෙද්දි ලොකු සාර්ථක බවක් තියෙනවා. සමහරවිට ලබන වසරේ වගේ මගේම නිර්මාණයන් එක්ක ව්‍යාපාරයක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

• මේ තරම් සහයෝගයක් දෙන ඒ පෙම්වතා ගැනත් කතා කරමු?

ඒ ගැන ඉදිරියේ දී කියන්නම්. ලබන වසරේ මගේ විවාහය සිද්ධ වෙයි.

 

• සචිනි කොහොමද ක්ෂේත්‍රයට එන්නේ?

මම පුංචි කාලෙ ඉඳන්ම රංගනයට සම්බන්ධ වෙලා හිටියා. ඒ ස්වාධීන රූපවාහිනියෙ විකාශය වුණු වැඩසටහන්වලට. සෙල්ලම් ගෙදර නාට්‍යයට සම්බන්ධ වෙලා හිටියා. එතැනින් පසුව මාව වේදිකා නාට්‍යයකට සම්බන්ධ කරගත්තා ප්‍රවීන රංගන ශිල්පී දමයන්ත පෙරේරා මහතා. ඔහු කවුරුත් දන්න හඳුනන කෝපි කඩේ සුවඳා. දැන් ජීවතුන් අතර නැහැ. ඔහු සහ තිලක් කුමාර රත්නායක, රංජිත් කුමාර වැනි ප්‍රවීණයන් ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටියෙ.

ඒ නාට්‍ය සුනාමිය සම්බන්ධ නාට්‍යයක්. ඒ වෙද්දි මම 4 වසරෙ ඉගෙන ගත්තෙ. ඉන්පසුව මම නැවතත් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ 2015 වසරේ. ඒ සිරස කුමරිය වැඩසටහනට සම්බන්ධ වීමත් සමග. සිරස කුමරිය තරගයෙන් මම අවසන් 6 දෙනා අතරට ආවා. එතැනින් පසුව තමයි මම නැවතත් කලාවට පා තබන්නේ.

 

• අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩාක් සතුටුයි. කොහේ ගියත් ආදරය කරන බොහෝ දෙනෙක් ඇවිල්ලා කතා බහ කරනවා. ඉතින් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණ නිසානෙ මේ වගේ ප්‍රතිචාරයක් ආදරයක් ලැබෙන්නෙ. ඉතින් ඉදිරියේ දී හොඳ නිර්මාණවලට දායක වෙලා ආදරණීය ප්‍රේක්‍ෂකයො පිනවන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

 

• රටේ පවතින තත්ත්වය එක්ක කලාවෙ ඉදිරිය කුමක් වෙයිද?

ඇත්තටම මේ තත්ත්වය කලාවට ගොඩාක් බලපානවා අනික් ක්ෂේත්‍රවලටත් වඩා. මොකද මේ වෙද්දිත් අපි රූගත කිරීම් කරපු සමහර ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවලා තියෙනවා. අපිට රූගත කිරීම්වලට ඒ තැන්වලට යන්න බැහැ. ඉතින් සමහර ප්‍රදේශවල පිරිස් පිටින් ඇවිල්ලා මේ දේවල්වලට සම්බන්ධ වෙනවාට කැමැති නැහැ.

ඒ ගම්වල මිනිස්සු බයයි. අපිත් බයයි ඒ තැන්වලට යන්න. ජීවත්වෙන්න කවුරුත් කැමැතියිනෙ. ඉතින් මේ තත්ත්වයත් ඉක්මනින්ම පහව ගිහින් මුළු ලෝකයම ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

ධනු විජේරත්න හැඩගැන්වීම – චතූ දිසානායක ඡායාරූප – සංකල්ප බණ්ඩාර

20201017Hot (2) 20201017Hot (3) 20201017Hot (4)