නත්තල් අසිරියට මම හරි ආසයි
ටීචර්:- මම සොනාලි නෙවෙයි. මගේ නම සොනාලී. මම තමයි අද ඉඳලා පංති බාර ගුරුවරිය. ඒ වගේම සිංහල බාර ගුරුවරියත් මම.
මයික්:- ටීචර් හරි ලස්සනයි.
ටීචර්:- ඔව්. මං දන්නවා මම ලස්සනයි කියලා. ඒ ලස්සන වගේම තරහා ගියාමත් මම හරි වසයි.
මේ විදියට කියන සොනාලී ටීචර්ව අපට හමුවන්නේ සමන් එදිරිමුනිගේ රචනයෙන්, සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී විකාශය කෙරෙන ‘දෙවැනි ඉනිම’ නාට්‍යය මාලාව ඔස්සේය. දෙවැනි ඉනිම හැඩ කරන මේ සුන්දර ශිල්පිණියගෙ නම හිමායා බණ්ඩාරය.
හිමායා නම් කීපයක් තියෙනවා නේද?
සම්පූර්ණ නම අංජලී හිමායා බණ්ඩාර. ඒත් භාවිතා වන්නේ හිමායා බණ්ඩාර කියලයි.
හිමායා හිමවලට බොහොම ආසලූ නේද?
මේ කාලයට කොහොමත් මම හරි ආසයි.
හිමායා හිම මෙන් සීතල චරිතයක්ද? හිරු මෙන් ගිනි ගත් චරිතයක්ද?
තරහා යන වෙලාවට තරහා යනවා. නිවෙන වෙලාවට නිවෙනවා.
දෙවැනි ඉනිමේ තරුණ ලස්සන ටීචර් වීම ගැන හිතන්නේ කොහොමද?
මට හරි සතුටු හිතෙනවා. ගුරුවරියක ලෙස ප්‍රථම වතාවට පත්වීම් ලබා පිරිමි ළමුන් සිටින පාසලකට තරුණ ගුරුවරියක් ගියාම ඒ අවස්ථාව සුන්දර වෙන්නත් පුළුවන්. ඒ වගේම අසුන්දර වෙන්නත් පුළුවන්. අපසුතාවයට පත් වෙන්නත් පුළුවනි. ඒක ඇත්තටම හරි අපූරු අත්දැකීමක්. සැබෑ ජීවිතයේදී නොලැබුණු අවස්ථාවක් මේ විදියට රඟපෑමට ලැබීම සහ ඒ චරිතය ජනප්‍රියවීම ලොකු සතුටක්.
හැබෑ ජීවිතයේදී ටීචර් කෙනෙක් වීමේ අදහසක් එහෙම තිබුණේ නැද්ද?
තිබුණෙ නැහැ.
මොන වගේ අරමුණක් ද තිබුණෙ?
අපේ අප්පච්චි මුතුහර පොත් ගෙනැල්ලා දුන්නා. රූපවාහිනියේ ළමා වැඩසටහන්වටලත් ආසා කළා. මගේ හිත මුලින්ම ගියේ ගායිකාවක වෙන්නට ඕනෑය කියලයි. සාරි එහෙම ඇඳගෙන ගෙදර රඟපෑවා. කොහොම හරි ගායිකාවක වීම නොවී අන්තිමට රඟපෑම මගේ ජීවිතය වුණා.
අද ඔබගේ වෘත්තිය රඟපෑමද?
ඔව්. රූපවාහිනී නිවේදිකාවක ලෙසත් කටයුතු කළා. එයින් තාවකාලිකව සමුගත්තා.
රඟපෑම පටන් ගත්තේ?
ගිහාන් රෝහණ මහතාගේ හිම කඳුළු 2009 දි නමුත් එතැන් සිට රඟපෑවත් මාව වැඩි ප්‍රේක්ෂක පිරිසක් අතරට ගෙන ගියේ දෙවැනි ඉනිමයි.
ගායිකාවක වීමේ සිහිනය අද අත්හැරලද?
පොඩි කාලයේදී ඊට බොහොම උනන්දු වුණා. පාසලේ සෑම උත්සවයකදීම සිංදු කිව්වා. රංගනය වගේම සංගීතය සහ නර්තනය කරන්න ඕනෑ කියලා හිතුවා. කවදා හරි හොඳ සිංදුවක් කරන අදහස තිබුණෙ. පොඩි කාලයේ සිංදු කියන්න පුළුවන් වෙච්ච නිසා තමයි ඒ අදහස ආවේ.
දැන් සිංදු කියන්න බැරිද?
ගීත ගායනය කියන දේ නිරන්තරයෙන් ප්‍රගුණ කළ යුතු දෙයක්. ඒ ඌරුව හදාගන්න ඕනැ. ප්‍රගුණ කරමින් ඉගෙන ගන්නට ඕනෑ. ඉදිරියේදී ඒ ගැන හිතනවා.
දෙවැනි ඉනිමෙ වගේ ක්‍රිකට් එහෙම ගහලා නැද්ද?
නැහැ. ඒත් ක්‍රිකට් ගහන යාළුවෝ ඉන්නවා. මගේ ප්‍රියතම ක්‍රීඩාව කි‍්‍රකට්.
කවුද සිත්ගත් ක්‍රිකට් තරුව?
කතා දෙකක් නැහැ. විරාට් කෝලි.
බැන බැන ක්‍රිකට් තරග නරඹනවා කියලා කියන්නේ?
පරදිනවට මම කැමතිම නැහැ. පිටියට ගිහින් ක්‍රිකට් නරඹන්න ලැබෙන වෙලාව අඩුයි. ඒත් ටී.වී. එකෙන් නරඹනවා. පැරදුණොත් තමයි බනින්නේ.
එක පාරක් ඒ විදියට බැන බැන එද්දී අනතුරකටත් මුහුණ දුන්නා.
ඒ කොහොමද?
අපේ කණ්ඩායම පැරදුණාම මම බැන බැන එද්දි සාලයේ තිබුණු ස්ටූල් එකේ මගේ කුකුළ වැදුණා. මම වැටිලා තුවාල වුණා.
දෙවැනි ඉනිමේ කොල්ලො ටික කොහොමද?
උන් මට හරි ආදරෙයි.
කවුද වැඩිපුරම ආදරේ? මයික්ද? අනුහස් ද නැත්තම් කවුද?
ඔක්කොමලා මට ආදරෙයි. අවන්ත, මයික්, චබී, අනුහස්. අපි ඔක්කොමලා හරි හොඳ යාළුවෝ. එයාලට ඉන්න එකම කෙල්ල මම. රූගත කිරීම් සිදු කෙරෙද්දී අපි හරි රස කතා කියමින් කාලය ගත කරනවා. හරි සුන්දරයි ඒ මොහොත.
සොනාලී ටීචර්ට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්?
මඟ තොට දී මිනිස්සු හමු වුණාම සොනාලී ටීචර් මෙච්චර පොඩිද කියලා පුදුමත් වෙනවා. මම පාසලේදී ආසාවෙන් කළ විෂය සිංහල. මේ චරිතයේදී එය උගන්වන්න ලැබුණ එකත් හරි සතුටක්.
ටීචර් රඟපාද්දි වෙච්ච සිදුවීම් එහෙමත් ඇති?
ඇත්තටම ළමයින් දඟ වැඩ කළාම පාරක් දෙන්න වෙනවා. රිහසල් කරද්දි පවා මම ගහන පහර සැරයි. දවසක් මයික්ට ලොකු පහරක් වැදුණා. මට හරියට දුකයි. ඒ වගේ දර්ශනවලට නිතර මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
නත්තල් කාලයට ඇයි මෙච්චර ආස?
ලොකු අත්දැකීමක් නැහැ. මාරවිල අපේ ඥාති පවුලක් හිටියා. එයාලා ඒ දිනවල මට තෑගි ගොඩාක් එවනවා. මම ඒවාට ආසා කළා. ඒ නත්තල් අසිරිය විඳින්න මම ආසයි. වෙනත් රටකට ගිහිල්ලා සුදෝ සුදු හිම වැටෙන දිහා බලා ඉඳලා ඒ සැරසිලි දිහා බලා ඉඳලා නත්තලේ අසිරිය විඳගෙන එන්න ආසයි. මම බෞද්ධාගමික.
ඒත් ආගම් භේදයක් නැහැ. ජේසුස් වහන්සේටත් ගෞරව කරනවා. කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ගීතය මම ආසාවෙන් රස විඳින නත්තල් සමයේ වැඩිපුර ඇසෙන ගීතයක්.
ඒ හැර වඩාත් ආසා ගීතයක් සඳහන් කළොත්?
‘සිහිල් සුළං රැුල්ලේ ඔබේ සුවඳ මුසුවේ’ ගීතයට මම හරි ආසයි.
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ
Location and Clothes: Cotton Collection
Make up: Saloon Suranga Akash