‘දේදුණු’ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා
මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයකම ඔබ දකින තරු බෝගොඩ සමගින් අද ‘සාරවිට’ කතා අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට අවතීර්ණ වූ තරු බෝගොඩ වර්තමානය වනවිට රංගන ශිල්පිනියක් ලෙස සිය වෘත්තිය තෝරාගෙන තිබේ. ඉදිරි කලා කටයුතු පිළිබඳව තරු බෝගොඩ මෙසේ අපිට තොරතුරු පැවසුවෙමු.
තරුගේ පුංචි කාලේ කැමැත්ත තිබුණේ නම් වෙනත් වෘත්තියකට නේද?
පුංචි කාලේ මගේ හීනේ වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒත්, එක්ක රංගන ශිල්පිනියක් වෙන්නත් පුංචි ආසාවක්, කැමැත්තක් මට තිබුණා. පාසල් යන කාලේ මම නර්තනය පැත්තෙන් දක්ෂතා දැක්වුවා. නමුත්, පාසල් අධ්‍යාපනය නිමාවත් එකක් නර්තනයට තිබුණ ආසාව මගේ නැතිවුණා. ඊට පස්සේ මගේ ඉලක්කය වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. නමුත්, ඒ ආසාව මට සඵල කරගන්න බැරිවුණා. අහම්බෙන් මට අවස්ථාවක් ලැබුණා කලාව පැත්තට යොමු වෙන්න.
මේ දවස්වල ඔබව කලා නිර්මාණ කිහිපයකින් දකිනවා?
දැනට මම ටෙලි නාට්‍යය කිහිපයකම රංගනයෙන් දායක වෙලා තියෙනවා. දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘සසර වස්සානේ’ ටෙලි නාට්‍යය තුළින් මාව දකින්න පුළුවන්. එහි මා නිරූපණය කරන්නේ ‘දේදුණු’ කියන චරිතය.
සිනමාවටත් දායක වෙන්න අවස්ථාවක් ලැබුණානේ?
ඔව්. මට අවස්ථාවක් ලැබිලා තියෙනවා සිනමාවට සම්බන්ධ වෙන්න. එහි වැඩ කටයුතු දැනට නිමාවෙලා තියෙනවා. මම එහි නිරූපණය කරන්නේ ‘ශේෂාද්‍රි’ කියන චරිතය. මා සමගින් හේමාල් රණසිංහ මේ චිත්‍රපටයේ රඟපෑවා.
ආපු ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?
ක්ෂේත්රය තුළ මා ආපු ගමන් මඟ ගැන මටම පුදුමයි. මාව වට්ටන්න ගොඩක අය උත්සාහ කළා. අදටත් ඒ තත්ත්වය තියෙනවා. යාළුවෝ කියලා හිතපු අය දන්නේම නැතිව මටම දුෂ්ටකම් කළා. සෑහෙන්න ලොකු ප්‍රශ්න ගොඩකට පසුගිය කාලේ මම මුහුණ දුන්නා. ඒ ප්රශ්නවලදී මට කලා ක්ෂේත්රයේම පිරිසක් උදවු කළා. අදටත් ඔවුන් හැම වෙලාවෙම මට උදවු කරනවා. මේ වෙලාවෙදී ඒ සියලු දෙනාම විශේෂයෙන්ම මතක් කරනවා.
ඉලක්කය?
ලංකාවේ හොඳම නිළියක් වෙන්න තමයි මගේ එකම ඉලක්කය වෙලා තියෙන්නේ. හැබැයි මට ඒ තැනට යන්න තව ලොකු කාලයක් යයි කියලා හිතනවා. මොකද, තවමත් මම මේ ක්ෂේත්රයට ආධුනිකයෙක්. කොටින්ම කිව්වොත් පළමු පියවරේ තමා මම තවමත් ඉන්නේ. දැනට ලැබුණ කලා නිර්මාණ හරහා මම යමක් කළා කියලා හිතෙනවා. විශේෂයෙන්ම ඉදිරියේදී තිරගත වෙන්න නියමිත හේමාල් එක්ක කරපු චිත්‍රපටයේ මා කළ රංගනය මගේ කලා ජීවිතේ ලොකු වෙනසක් කරයි කියලා හිතනවා.
බුද්ධික සේනාධීර/ඡායාරූප - ඉමේෂ් නුවන්දක