දුලීකා අක්කා ඉන්නකොට කිසිම පාළුවක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20201207Hot-(1)‘‘කුඩා කාලයේ ඉඳලාම මෙයා රංගනයට දක්ෂ බව අපට තේරුම් ගියේ, ගෙදරදි රඟපාලා පෙන්නුව නිසයි. ඒත් එයා කවදාවත් රංග පාසලකටවත් ගිහින් නැහැ. අද මීනු ලෙස Inter නැසනල් නාට්‍යයේ රඟපාද්දී හැමෝම වගේ අහන්නෙ මීට ඉස්සෙල්ලා මෙයා රඟපාලා තියෙනවද කියලයි.’’ මේ විදියට කියන්නෙ මීනුගේ අම්මාය. මේ මීනු අපට හමුවන්නේ සුජීව ප්‍රියාල්ගෙ Inter නැසනල් නාට්‍යයේ චරිතයකිනි. එහි මීනු වූ ඇය යෙහාලි ටාෂියා කාලිදාසය. මීට පෙර ඇය බොහෝදෙනා හඳුනා ගත්තේ රූපවාහිනී දැන්වීම් නිසාය. දැන් රංගනයට පැමිණ සිටින ඇය සමග අපි කතාබහකට එක්වෙමු.


• යෙහාලි කියන්නද? ටාෂි කියන්නද?

හැමෝම කියන්නෙ ටාෂි කියලයි. ක්ෂේත්‍රයේ අයත් කියන්නෙ ටාෂි කියලා. 

• එතකොට ටාෂි කියන නමේ තේරුම?

ටාෂියා මගේ නම. ඒත් හැමෝම කියන්නෙ ටාෂි කියලා. ඒ නම ලස්සනයි කියලා අම්මා තමයි දාලා තියෙන්නෙ.

• ටාෂි මොනවද කරන්නෙ?

2022 දී උසස් පෙළ ලියන්න සූදානමින් ඉන්නෙ. ඒ වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කරන අතරේ තමයි රඟපෑමට දායක වෙන්නෙ.

• කොහෙද පාසල?

නුවර ලෙක්ෂිකොන් (Lexicon) ජාත්‍යන්තර පාසලේ.

• පාසල් අධ්‍යාපනය ලබන අතරේදීම කොහොමද රඟපෑමට ආවෙ?

මුලින්ම මා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැකලා තිබුණා. ඉන්ස්ටර්ග්‍රෑම් එකේ ෆොටෝස් දැකලා චතුර ෆෙරෝෂ් තමයි කතා කළේ. ඒ අනුව මුලින්ම මැලිබන් චෙකර්ස් කුකීස් ඇඩ් එකට තෝරා ගත්තෙ. හැබැයි දුලීකා මහත්මිය මුලින්ම කතා කළේ අපෙ අම්මගෙ යාළුවෙක් මාර්ගයෙන්.

• ඒ කියන්නෙ මීනුට?

ඔව්.

• ඊට පෙර රඟපාලා තිබුණෙ නැද්ද?

ඊට කලින් වෙළඳ දැන්වීම්වල විතරයි. මේ දක්වා වෙළඳ දැන්වීම් 8 ක් විතර කරලා තියෙනවා.

• ටාෂි ඉන්නෙ නුවරද?

ඔව්, අම්පිටියෙ.

• පවුලේ විස්තර එහෙම?

අපේ පවුලෙ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. අම්මා ගෘහණියක්. තාත්තා - සංචාරක අංශයේ වැඩ කරන්නෙ. පවුලේ මමයි, අක්කයි, අම්මයි, තාත්තයි විතරයි. අක්කා චීනයේ සිට උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා.

• මීනු චරිතයට දුලීකා කතා කළාම කොහොමද ගෙදරින් ලැබුණු උත්තරය?

A/L ක්ලාස් එහෙම යන නිසා මුලදි මට උනන්දුවක් තිබුණෙ නැහැ. ඒත් අම්මා කිව්වා අපි මේක කරලා බලමු කියලා. මොකද විශේෂයෙන්ම කතාව හරි ලස්සනයි. ඒ ඔක්කෝටමත් වඩා දුලීකා මහත්මිය ක්ෂේත්‍රයේ ප්‍රවීන චරිතයක්. ඇය එක්ක වැඩ කරන්නත් ආසා වුණා.

• මුලින්ම මේ නාට්‍යයේ පෙනී සිටියෙ මොන දර්ශනයටද?

සංගීත් ප්‍රභූ එක්ක තිබුණු දර්ශනයකට. එයා මට සීඩී තැටි වගයක් දෙනවා. ඒ ටිකත් අරගෙන යන සීන් එකක්. මේ නාට්‍යයේ අපි නිතරම යන කැෆේ එක ඇතුලෙ මේ දර්ශන කළේ.

• කොහොමද මේ චරිතය නිසා ටාෂි ට ලැබෙන ප්‍රතිචාර?

හිතාගන්න බැරි තරම් හොඳ ප්‍රතිචාර ලැබෙන්නෙ. මීනුට මිනිස්සු හරි ආදරෙයි. හැබැයි ඒ බොහෝදෙනා කියන දේ තමයි, මම ටී.වී. එකේදි දකිනවාට වඩා සෝෂල් මීඩියා එකේ හරි වෙනස් කියලා. ඒකට හේතුව අඳින පළඳින විදියට. කොණ්ඩය පවා වෙනස්. ඒ නිසා වෙන්න ඇති.

• මහා කවි කාලිදාස කවුද?

එහෙම නම් හරියටම කියන්න දන්නෙ නැහැ. තාත්තාගෙ මීමුත්තාගෙ සම්බන්ධයක් තියෙන බව විතරයි දන්නෙ. එයා ඉන්දීය ජාතිකයෙක්.

• ඒ කියන්නෙ ටාෂි ඉන්දියාවේ සම්භවයක් ඇති කෙනෙක්?

ඒ ගැන හරියටම හොයලා බලන්න ඕනෑ. සමහර විට එහෙම වෙන්න ඇති.

• ටාෂි ඉගෙන ගත්තෙ මොන අරමුණක් ඇතිවද?

භාෂා අංශයෙන් උසස් පෙළ කරන්නෙ. ගුවන් සේවිකාවක් වීම අරමුණයි.

• ටාෂි කිව්වාම කොහොම කෙනෙක්ද?

ඕනෑම කෙනෙක් එක්ක කතා කළොත් කතා කරන, ටිකක් තරහා යන කෙනෙක්. ක්ෂේත්‍රයේ අය නම් කියන්නෙ මම නිතර කතා නොකරන නිසා එයා හරි ඔළුවෙන්ද දන්නෙ නැහැ කියලයි. ඒත් මම එහෙම නැහැ. ගෙදරදි හයියෙන් හිනාවෙලා විහිළු කරලා කෑගහලා ඉන්න කෙනෙක්.

• මොනවද මේ නාට්‍ය කරන්න ගිහින් වෙච්ච සිදුවීම්?

දුලීකා අක්කා ඉන්නකොට කිසිම පාළුවක් නැහැ. අපට හරිම ජොලි. එයා වගේ ප්‍රවීනයින් පිරිසක් එක්ක රඟපාන්න ලැබීම තමයි මට ලැබුණු හොඳම දේ.

• දුලීකා ඔබට කතා කරන්නෙ කොහොමද?

නංගි බබා කියලා.

• මේ දක්වා කළ කොටස්වලදි මතකයේ රැඳි දෙබසක් තියෙනවද?

මම මීනු, සේයා? මොන සේයෙක්ද? ඒ දෙබසට මම ආසයි.

• ඉන්ටර්නැසනල් රූගත කරද්දි කණ්ඩායමේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඔක්කෝමලා මට හරි ආදරෙයි.

• මේ එක්කම තවත් ආරාධනා ලැබුණද?

ඔව්. ධනුෂ්ක රත්නායකගෙ ටෙලි නාට්‍යයක රඟපෑමට ආරාධනා ලැබුණා. ඒකෙ නම දාම්. මේ දිනවල ඒ නාට්‍යයේත් රඟපානවා. ඊට අමතරව චිත්‍රපටයක රඟපෑමට අවස්ථාව ලැබුණා. අරුණ ජයවර්ධන මහතාගෙ Happy Birth Day ඒ චිත්‍රපටයේ නමයි.

• රඟපෑම හැර වෙනත් දක්ෂතා මොනවද?

නර්තනය හදාරනවා. එහිදී රමෝද් මාලක ශිල්පියා යටතේ තමයි නර්තනය හදාරන්නෙ.

• ටාෂිගෙ හැපි බර්ත් ඩේ කවදද?

ඔක්තෝබර් 4 වැනිදා.

• වයස එහෙම කියන්න කැමතිද?

අවුරුදු 17 යි.

• ටාෂි වඩා කැමති නුවරටද? කොළඹටද?

නුවරට.

• හේතුව?

කොළඹ රස්නෙයි. නුවර සනීපයි. අනෙක නුවර ලස්සනයිනෙ කොහොමටත්.

සටහන/ඡායාරූප: සඳුන් ගමගේ

20201207Hot-(2) 20201207Hot-(3) 20201207Hot-(4)