දිගටම බිසව වෙන්න අකමැත්තක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-14-ent-100

කෙටි කාලයකදී තම හැකියාවෙන් බොහෝ දුරක් ගිය රංගන ශිල්පිනියක ලෙස තාරුකා වන්නිආරච්චි නම් කළ හැකිය. දක්ෂතාවය නිසාම රංගන විෂයෙහි කාර්යබහුලව සිටින තාරුකා ගැන මේ දිනවල බොහෝ දෙනා කතා වන්නේ අලි කතාවකට මැදිව සිටින නිසාය. එනම් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ”අලි කතාව” චිත‍්‍රපටය නිසාය. ඊට අමතරව කවුරුන්ද නුඹ මගේ ටෙලිමාලාව සමඟ හමුවන තාරුකා සමඟ මෙවර ‘සැදැල්ල’ කතාබහට අපි එක්වෙමු.

 

තාරුකා කොහොමද අලි කතාවටට ලැබෙන ප‍්‍රතිචාර?

2017-06-14-ent-98අලි කතාව නිසා අලි ප‍්‍රතිචාර ලැබෙන්නෙ කිව්වොත් හරි. එහි රඟපාන අලි පැටවාට වගේම ළමුන් දෙදෙනාට වගේම අනෙක් හැමෝටමත් වගේම මටත් ලැබෙන ප‍්‍රතිචාර හරි ඉහළයි. මේ කතාව හරිම හොඳ ආදර්ශවත් කතාවක් කියලයි හැමෝම කියන්නෙ.

 

අලි කතාවේ ඔබගෙ චරිතය ගැන කොහොමද හිතන්නේ?

රජ බිසවකගේ චරිතයක්. ඇයට දරුවන් නැහැ. ඒත් වෙන කෙනෙකුගේ දරුවකුට ආදරය කරනවා. වර්තමානයට වඩාත්ම ගැලපෙන කතාවක්. මොකද මේ දිනවල ළමුන්ට වෙන කරදර ගැන අපට බොහෝවිට අහන්නට ලැබෙනවා. තමන්ගෙ ළමයින්ට විතරක් නොවේ. අනෙක් අයගෙ ළමයින් ගැනත් හිතන්න කියන පණිවුඩය මෙයින් ප‍්‍රකාශ වෙනවා. මා දකින විදියට හොඳම කාලයේදී ඒ කාලයට අනුව නිර්මාණය වූ චිත‍්‍රපටයක්. ඒ වගේම පරිසරයට ආදරය කරන්න, සතුන්ට ආදරය කරන්න කියන ආදර්ශවත් පණිවුඩයත් මෙයින් ප‍්‍රකාශ වෙනවා.

 

අලි පැටවකු ගෙදර ගේන්න ආස හිතුණා කියන්නෙ?

අලි කතාවේ හිටපු අලි පැටවාට අපි හැමෝම ආදරය කරන්න පටන් ගත්තා. එයාගේ නම ”මෞලි”. නටන්න කිව්වොත් නටනවා. කෑගහන්න කීවාම කෑ ගහනවා. දුවන්න කිව්වොත් දුවනවා. මේ වගේ දේ නිසා එයා අපට බොහෝම සමීප වුණා. එයා ගෙදර අරන් එන තරමට අපි කවුරුත් එයාට ආදරේ වුණා. ඒත් අලියෙක් ගෙදරකට ගේන්න බැහැනේ. ඒ කොහොම වුණත් මේ ”මෞලි” තමයි අලි කතාවේ හොඳම නළුවා, හිිමි සම්මානය දෙන්නට ඕනෑ.

 

තාරුකා, හැමදාම බිසවගේ චරිතය රඟපාන්නද කැමැති?

බිසව චරිතය දිගින් දිගටම ලැබුණා. එහෙම වුණා කියලා මම දුක්වන්නේ නැහැ. එකාතකට ඒක මට සතුටක්. තවත් විදියකට කිව්වොත් ඒ චරිත හරහා කරන්න දෙයකුත් තියෙනවා. දිගටම බිසව වෙන්න මගේ අකමැත්තක් නැහැ. ඒත් වෙනස් වෙනස් චරිත ලැබෙනවා නම් හොඳයි.

 

බිසවට රජෙකුත් ලැබිලා කියලයි ආරංචි?

අලි කතාවේ බිසවට නම් රජෙක් ඉන්නවා. නමුත් තාරුකාට නම් තවම නැහැ.

 

තාරුකා දැන් හරි ආඩම්බරයිලූ නේද?

එක දිගට පසුගිය කාලයේදී වැඩ කළා. මාසයකට නාට්‍ය පහක විතර වැඩ කරන්න ලැබුණා. ඒත් දැන් ඒ කාර්යබහුලත්වයන් මිදිලා. දිගටම කාර්යබහුල වෙලා සිටිය නිසා සමහරවිට එහෙම කියන්න ඇති. හැබැයි තාරුකා කියන්නෙ එන්න එන්නම හොඳ වෙන කෙනෙක් මිස නරක් වන කෙනෙක් නෙවෙයි. මම කා එක්කත් හොඳයි.

 

අලි කතාව හැර මේ දිනවල තාරුකාගේ වෙනත් චරිත ගැන කිව්වොත්?

”කවුරුන්ද නුඹ මගේ” නාට්‍ය විකාශය වෙනවා. ඊට අමතරව තුෂාරි අක්කා නිර්මාණය කළ ”පත්තිනි” ටෙලිමාලාව විකාශය වෙනවා. ඒක විකාශය වීමටත් පෙර, පෙර දර්ශන නරඹා ඊට ඉහළ ප‍්‍රතිචාර දක්වනවා.

 

”කවුරුන්ද නුඹ මගේ” කියලා කවුරුන්ද ඔබගෙන් අහලා තියෙන්නෙ?

බොහෝ දෙනෙක් එහෙම අහලා තියෙනවා.

 

එයාලට ඔබ කොහොමද උත්තර දුන්නේ?

කවුරුත් නෙවෙයි මම මගේ කියලා තමයි කියන්නෙ.

 

දැන් අද ඔබ නිළි වෘත්තිය තෝරා ගැනීම ගැන හිතන්නෙ කොහොමද?

රංගනය, ගායනය, නර්තනය ආදී මේ අංශ ඉතාම උත්තරීතරයි කියලයි මට නම් හිතෙන්නෙ. අපි තෘප්තිමත් වනවා වගේම මිනිස්සුන්ව සතුටු කරවීමට ලැබීම ඉතා ලොකු භාග්‍යයක්. විවිධාකාර මිනිස්සු එක්ක වැඩ කරන්න ලැබීම සහ අත්දැකීම් ලැබීමත්, මානසික තෘප්තියකට හේතු වෙනවා. හැබැයි එහෙම වෙන්නෙ ඒ වෘත්තිය හරි විදියට පාවිච්චි කළොත් විතරයි. මම මේ වෘත්තියට නෙවෙයි එන්න හිටියෙ. ඒත් දෛවය මාව එතැනට ගෙනත් දාලා. ඉතින් දැන් මම ඒ වෘත්තියට ගරු කරනවා. ආදරය කරනවා.

 

මොකක්ද එන්න හිතාගෙන හිටිය වෘත්තිය?

පාසල් යන කාලයේදී හිතුවෙ නර්තන අංශයේ ගුරුවරියක් වීමටයි. අපේ පවුලේ අක්කයි, මමයි, අම්මයි, තාත්තයි. අපේ අම්මාට රංගනයට පිවිසීමේ උනන්දුවක් තිබිලා තියෙනවා. ඒත් තාත්තා ඊට අවසර දීලා නැහැ. ඉතින් එයාගෙ දූලා දෙන්නගෙන් එක්කෙනෙක් හරි රංගන හැකියාවෙන් ඉදිරියට යනු දැකීම අම්මගෙ ලොකු හීනයක් වෙලා. මම හිතන්නෙ ඒ සිහිනය ඉටුවීම ගැන අද ලොකුම සතුට ලබන්නෙ අම්මයි. අම්මා මගේ හෙවනැල්ල මෙන් පසුපස සිටිමින් මේ ගමනට ලොකු අත්වැලක් වී සිටිනවා.

 

”නිල්” පාටට බොහොම ආසයි වගෙයි පෙනෙන්නෙ?

මගේ යාළුවොත් එහෙම අහනවා. ඒත් මම වඩාත් ආසා දම්පාට සහ සුදුපාටට යි.

 

තාරුකාට අද ජීවිතය ගැන හිතෙන්නෙ කොහොමද?

ජීවිතය හරිම සතුටින්. නර්තනයට මම බොහෝ ආසා කළා. අද ඒ අංශයෙනුත් යමක් කරන්න ලැබුණාම ඉදිරියේදී ඕනෑම චරිතයක් කළ හැකි ශිල්පිනියක ලෙස දක්ෂතා පෙන්වීම තමයි රංගන ජීවිතයේ මගේ අරමුණ. නර්තනයට දක්ෂ වෙලත් ඇයි ඊට අවකාශය නොලැබුණේ කියලා හිතපු අවස්ථා තිබුණා. නමුත් ඒ අවස්ථා එහෙමත් ලැබීම සතුටටම හේතුවක් වුණා. මම හිතන්නෙ මේක තමයි මගේ ජීවිතයේ හොඳම කාලය. මේ ජීවිතයේදී කලාව වෙතින් සාර්ථක වනවා වගේම සාමාන්‍ය ජීවිතයේදීත් සාර්ථක වීම තමයි මගේ ඒකායන බලාපොරොත්තුව. නැත්නම් ජීවිතය අරුත්බර නොවේවි.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-06-14-ent-97  2017-06-14-ent-99