දැන් මම හඳයා ටෙලි නාට්‍යයේ රඟපාන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-09-ent-50

සිරිපැරකුම් සිනමාපටයේ කළු එතනා චරිතයෙන් කරළියට ආ සිනෙති සිනමාව තුළ වැඩි පේ‍්‍රක්ෂක ආදරයක් දිනාගත් රුවත්තියක්. පසුගිය දිනවල ටෙලි නාට්‍යයන් කිහිපයකින් ඇයව දැක ගන්න ලැබුණත් සිනෙති පේ‍්‍රක්ෂක ඔබට නිතර මුණ ගැහෙන්නේ සිනමාවෙන්. මේ දිනවල තිරගත වන සේයා සිනමා නිර්මාණයේ මාලි චරිතයෙන් ඔබ හමුවට එන ඇයව සතියේ කතාබහ තුළින් එකතු කර ගත්තා.

 

කොහොමද මේ පාර අවුරුදු?2018-05-09-ent-52

වරදක් නැහැ. හොඳයි. පසුගිය අවුරුදු දෙකේම සිංහල අවුරුද්දට මට ගෙදර ඉන්න වුණේ නැහැ. චිත‍්‍රපටි දෙකක වැඩ නිසා සිංහල අවුරුද්දටත් මට ඉන්න වුණේ ගෙදරින් පිට. ගොඩක් ආසාවෙන් හිටියේ මේ පාරවත් අම්මා එක්ක ගෙදර ඉඳගෙන අවුරුදු සමරන්න. අපි මේ පාර අවුරුදු සමරන්න ගමේ ආවා. පඬුවස්නුවර නෑදෑයෝ එක්ක තමයි අවුරුදු සතියම ගෙවුණේ.

 

සේයා චිත‍්‍රපටයේ මාලි චරිතයට කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

ලංකාවේ පළමු වතාවට කාන්තාවන් පමණක් රඟපාන චිත‍්‍රපටියක් නිසා බොහෝ දෙනා නරඹලා තියෙනවා. හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල වැඩිපුරම සේයා චිත‍්‍රපටයේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් මහන්සි වෙනවා.

 

වැඩිපුරම සිනෙතිව අපි දකින්නේ සිනමාවෙන්. සිනෙතිට ටෙලි නාට්‍ය මඟ ඇරෙනවා ද? එහෙම නැත්නම් මඟ අරිනවාද?

අනේ නැහැ. එහෙම දෙයක් නෙමෙයි. ටෙලි නාට්‍ය කිහිපයක්ම කළා. ඒවා ඉතින් කවදා විකාශනය වේවිද දන්නේ නැහැ. හේතුවක් මම දන්නේ නැහැ. මට ගොඩක් ලැබෙන්නේ සිනමා නිර්මාණ.

පසුගිය දවස්වල ‘අහිමි’ කියලා ටෙලි නාට්‍යයක් කළා. වෙස්සන්තර චිත‍්‍රපටයේ රූගත කිරීම් තවම ඉවර නැහැ. ඒ චිත‍්‍රපටයේ රූගතකිරීම් තියෙන්නේ කල්තොට. ගොඩක් දුෂ්කර තැන්වල තමයි රූගත කිරීම් තියෙන්නේ. මේ දවස්වල ඒකෙත් වැඩ කරගෙන යනවා. පුංචි තිරය මම මඟ අරින්නේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් භාරගන්නවා.

 

පසුගිය දවස්වල හඳයා ටෙලි නාට්‍යයත් එක්ක සිනෙතිට හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා නේද?

අනිවාර්යෙන්ම ඔව්. මම කරපු මීනා කියන චරිතයට හිතුවටත් වඩා ලොකු ප‍්‍රතිචාරයක් ලැබුණා.

 

එතකොට හිටි හැටියෙම මීනා හඳයා ටෙලි නාට්‍යයෙන් නොපෙනී ගියේ?

ඇත්තටම මුලදි කිව්වේ කොටස් 100න් අවසන් කරනවා කියලා. දැන් අවසානයේ ටික ටික දීර්ඝ වේගෙන යනවා. අධ්‍යක්ෂවරයාත් වෙනස් වුණා. ඒත් මම භාරගත්ත වැඩ එක්ක කතාව දීර්ඝ වුණොත් ඉන්න අමාරුයි. දැන් කොටස් 150 දක්වා ගෙනියනවා කියලා තමයි තීරණය කරලා තියෙන්නේ.

කතාව දීර්ඝ වුණ නිසා මම හඳයා ටෙලි නාට්‍යයෙන් ටික ටික ඈත් වුණා. දැන් මම හඳයා ටෙලි නාට්‍යයේ රඟපාන්නේ නැහැ.

 

සිනෙතිගේ ජීවිතේට ලොකු වෙනසක් ගෙනාපු නාට්‍යයක් නේද හඳයා ටෙලි නාට්‍යය?

ඇත්තටම ඔව්. මම ඒ චරිතය වගේම ටෙලි නාට්‍යයටත් ගොඩක් ආසාවෙන් කැපවීමෙන් වැඩ කළා. ඒත් ජීවිතේ සමහර වෙලාවට අපි නොසිතන තීන්දු තීරණ ගන්න වෙනවනේ.

 

ළඟදීම පාතාල චරිතයකින් සිනෙතිව මුණ ගැහෙන්න පුළුවන් වේවිද?

අනිවාර්යයෙන්ම. ‘අහිමි’ මගේ රංගන ජීවිතේ හාත්පසින්ම කණපිට ගහපු ටෙලි නාට්‍යයක්. මෙච්චර දවසක් බොහොම අහිංසක චරිත කරපු සිනෙති ඔන්න ඊළඟට එන්නේ පාතාල චරිතයකින්.

 

සිනෙති වැඩිපුරම පේ‍්‍රක්ෂකයන් අතරට ආවේ ළමා චරිතවලින්?

ඔව්. මුලින්ම පේ‍්‍රමණීය චරිතයක් කළේ වැලිඔටුන්න ටෙලි නාට්‍යයෙන්. සිනමාවේ පෙම්වතිය වුණේ සරිගම චිත‍්‍රපටයෙන්. බොළඳ පෙම්වතියට වඩා චණ්ඩ පාතාල චරිතයට මම හරි කැමතියි.

 

දිගටම ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණොත් සිනෙතිගේ සිනමා හීනය මඟ ඇරෙයිද?

සිනමාව තමයි මගේ ජීවිතයට බලාපොරොත්තු, හීන ගොඩක් ගෙනාවේ. අදටත් මට ඕන හොඳ සිනමා නිළියක් වෙන්න. ඒ කියන්නේ ටෙලි නාට්‍යවලට අකමැතියි කියන එක නෙමෙයි. හොඳ නිර්මාණයක් ලැබණොත් භාරගන්නවා. සෝමරත්න සර් සහ රේණුකා මිස් නොහිටින්න අද මම මෙතන නැහැ. අදටත් මට ලැබෙන ගොඩක් නිර්මාණවලට දායක වෙන්න කලින් රේණුකා මිස්ගෙනුයි, සෝමරත්න සර්ගෙනුයි හොඳ අවබෝධයක් අරගෙන දැනුවත් වෙලා තමයි වැඬේ බාරගන්නේ.

 

අද වෙනකොට සිනෙති ජනප‍්‍රිය නිළියක් කියලා හිතනවද?

අපෝ නැහැ. මම කොච්චර ආඩම්බරය කිව්වත් ඕනම කෙනෙක් එක්ක මම කතා කරනවා. මම මේක ජනප‍්‍රියත්වය හොයාගෙන ආපු ගමනක් නෙමෙයි. ටෙලි නාට්‍ය පැත්තෙන් ගොඩක් වැඩ කරා නම් පේ‍්‍රක්ෂකයන් අතර මීටවඩා ජනප‍්‍රිය වෙන්න තිබුණා. ඒත් මට එහෙම ජනප‍්‍රිය වෙන්න වුවමනාවක් එදා තිබුණෙත් නැහැ. ඉදිරියටත් නැහැ. හෙමින් ගමන ඇඟට හොඳයි.

 

සිනෙතිට රංගන ජීවිතේ කටකතා හැදිලා තියෙනවද?

ලොකු කැළැල් වෙන කටකතා හැදිලා නැහැ. කළු එතනා චරිතයෙන් ආපු අලූත මම හරිම ආඩම්බරයි කියලා ගොඩක් අය කිව්වා. සමහරු නම් තාමත් කියනවා. කටකතා හැදුනත් මම ඒවා ගණන් ගන්නේ නැහැ. ඉස්සරට වඩා සමාජය වෙනස්. දරාගැනීම් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මම ඕනම දෙයක් ගැන ඉවසීමෙන් කටයුතු කරන කෙනෙක්.

 

හිතේ කොනක හරි කලාව ගැන පුංචි කලකිරීමක් තියෙනවා වගේ?

ඔව්. කලකිරුණු දුක හිතුන අවස්ථා තියෙනවා. නැහැ කියන්න බැහැ. නිහඬව පැත්තකට වෙලා ඕනම දෙයක් දිහා බලාගෙන ඉන්නවා මිසක් වාද කරන්න මම යන්නේ නැහැ.

 

නදීෂා අතුකෝරළ

ඡායාරූප: තිලිණ බෙන්

 

  2018-05-09-ent-51