දැන් මම ආදරය කියන වචනයේ තේරුම හොයනවා
චුලක්ෂි.. මේ දවස්වල මොනවද කරන්නෙ...?
මගේ ආදරණීය තාත්තා මියගිහින් තවමත් මාස දෙකක් වගේ කාලයක් තමයි ගතවුණේ. තවමත් මට මගේ තාත්තා ඉන්නවා වගේ තමයි දැනෙන්නෙ. ඉතින් ඒ මතකයන් එක්ක තමයි තවමත් ජීවිතේ ගෙවෙන්නෙ.
මගේ ගම නිට්ටඹුව. මම තමයි පවුලේ එකම ගැහැනු දරුවා. මට තව අයියා කෙනෙක් ඉන්නවා. එයා ඉන්නෙ ලංකාවේ නෙමේ. එයා දැන් ඉන්නෙ අමෙරිකාවේ.
චුලක්ෂි කලාකාරියක් වීම ගැන තාත්තා කැමැත්තෙන් හිටියද...?
තාත්තා මම කලකාරියක් වීම ගැන අම්මට වැඩිය ගොඩක් කැමති වුණා. තාත්තා හරියට ෆිල්ම් බලපු කෙනෙක්. එයා ඇත්තටම සිනමාලෝලියෙක්. සිනමාවට ආදරය කරපු කෙනෙක්. විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා වැනි බොහෝ ප්‍රවීණයන්ගේ නිර්මාණ තාත්තා බලලා තිබුණා. සමහර නිර්මාණ තාත්තා කිහිපවතාවක්ම බලලා තිබුණා. අපේ සිංහල සිනමාවේ මොනවහරි දෙයක් දැනගන්න ඕනවුණාම මම තාත්තා එක්ක තමයි කතා කරන්නෙ.
ඒ කියන්නෙ චුලක්ෂි පුංචි කාලේ ඉඳන් කලාවට කැමති කෙනෙක්...?
පුංචි කාලේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාවක්නම් ලැබුණේ නෑ. හතර වසර ඉඳන්ම මම හිටියෙ හොස්ටල්වල. ඒ නිසා සිනමාව කියන දේ පොඩි කාලෙදී මඟහැරුණා. අන්තර්ජාලය වුණත් පාසලේදී පරිහරණය කිරීම සීමාසහිත වුණු නිසා කලාකාරියක් වෙනවා කියන දේ මගේ ඔළුවේ තිබුණෙ නෑ.
චුලක්ෂි පුංචි කාලේ හීන මැවුවේ කවුරු වෙන්නද...?
තේරෙන කාලේ ඉඳන්ම මගේ තිබුණු හීනය තමයි බාස්කට්බෝල් ක්‍රීඩිකාවක් වීම. හැබැයි නොතේරෙන පුංචිම කාලේ හිතේ තිබුණෙනම් ගුරුවරියක් වෙන්න. ඒකට ප්‍රධානම හේතුව තමයි මගේ ආච්චිඅම්මා විදුහල්පතිනියක්. ඉතින්... අදටත් ආච්චිඅම්මට අපි කියන්නෙ ඉස්කෝලෙඅම්මා කියලා. එයානම් කවදාවත් අපිට වේවැලකින් ගහලා නෑ. හැබැයි අපේ අම්මගෙන් නම් ඉස්කෝලෙඅම්මගේ වේවැල්පහර ලැබිලා තියෙනවා. ඉතින්...
ඉස්කෝලෙඅම්මා ඉස්කෝලෙට ගියාට පස්සෙ අම්මගේ වේවැල අතට අරගෙන පුටුවලට ගගහා අපි බොරු ළමයින්ට ඉගැන්වුවා. කොහොමෙන් කොහොමහරි දැනුම් තේරුම් තියෙන කාලෙදී මට තේරුණා ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. එතකොට අපිට ක්ලබ් මැච් ක්‍රීඩා කරන්න පුළුවන්. පසුකාලෙදී මොකක්හරි ආයතනයකට සම්බන්ධවෙලා ඒ ආයතනය හරහා ක්‍රීඩාව නියෝජනය කරන්න පුළුවන් කියන හීනය තිබුණා. අම්මලාගේ බලපෑම තිබ්බේ මට විද්‍යා විෂය කරන්න කියලා. ඒත් මම ක්‍රීඩාවට තියෙන ආසාව නිසාම උසස් පෙළට වාණිජ විෂය තෝරාගත්තා.
කොහොමද ඔය බාස්කට්බෝල් හීනය මඟහැරුණේ...?
මගේ සහෝදරයා ජාත්‍යන්තර වශයෙන් පැසිපන්දු ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. තවදුරටත් මේ ක්‍රීඩාව කරන්න එපා, මේක නවත්වන්න කියලා ඔහුගෙන් බලපෑම් ආවා. ගැහැනු ළමයෙක් විදිහට ඒ ක්‍රීඩාවේ නියැලෙනවට ඔහු අකමැති වුණා. ඒ නිසා ඒක අතහැරලා වැඩිදුර අධ්‍යාපනය හදාරන්න කියලා කිව්වා.
ක්‍රීඩිකාවක් වෙන්න හීන දැක්ක චූලක්ෂි කලාකාරියක් වුණේ කොහොමද...?
මම 2013 අවුරුද්දේ ‘ලක්ස් රුවැත්තී’ කියන තරගාවලියට සම්බන්ධ වුණා. ඒකෙන් ‘හොඳම පෞරුෂවත් කාන්තාව’ කියන කිරුළ මට ලැබුණා. ඊටපස්සෙ මම 2014 අවුරුද්දේ ‘ලක්ස් රෑ රුජන’ කියන තරගාවලියට සහභාගිවෙලා ජයග්‍රහණය කළා. ඊටපස්සෙ තමයි නිරෑපණ ක්ෂේත්‍රය හරහා මුලින්ම කලා ලොවට අවතීර්ණ වුණේ. ඊටපස්සෙ මට ‘International Top model of World’ කියන කිරුළ ලැබුණා. කලාකාරියක් කියලා මම බොහෝ නිර්මාණවලට තවමත් දායකවෙලා නෑ. ප්‍රියන්ත කොළඹගේ මහතා අධ්‍යක්ෂණය කළ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයට දායකවෙන්න මට අවස්ථාව ලැබුණා. ඒකෙදී ඩොනල්ඩ් ජයන්ත අයියා, හේමාල් අයියා මට ගොඩක් උදව් කළා. ඒ වගේම ඒ නිර්මාණයේ හිටපු හැම කලාකරුවෙක් කලාකාරියක් වගේම ඒ කණ්ඩායමම මට උදව් කළා. ඇත්තටම කලාවට එකතුවීම ගැන ගොඩක් සතුටුයි. මම හැමදාමත් කැමති මගේ ජීවිතේ බොහොම සාමාන්‍ය විදිහට ගත කරන්නයි.
‘දේදුනු ආකාසේ’ නිර්මාණය දැකලා චුලක්ෂිගේ තාත්තා මොකද කිව්වෙ...?
මගේ තාත්තා අවුරුදු තුනක් විතර කාලයක් හිටියෙ රෝදපුටුවේ. තාත්තගේ එක කකුලක් අයින් කරලයි තිබුණේ. මේ වෙලාවෙදී ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ හැමෝටම මම විශේෂයෙන් ස්තූති කරන්න ඕනෙ. මගේ තාත්තට ඒ චිත්‍රපටය මුල්ම ප්‍රදර්ශනයෙදීම බලන්න අවස්ථාව ලබලා දුන්නා. ඒ වෙනුවෙන් හැම පහසුකමක්ම සැලසුවා. එදා තාත්තා ෆිල්ම් එක බලලා මට කිව්වේ ‘ඔයානේ ඒ ඉන්නෙ... මට හරි සතුටුයි’ කියලයි. එදා රූ දොළහ විතර වෙනකම් තාත්තා අපි හැමෝම එක්ක හරියට සතුටු වුණා. මම මගේ ජීවිතේ ලබපු විශේෂම මතකයක් තමයි ඒ.
ඔබගෙන් ආදරය ගැන ඇහුවේ නැත්නම් ඒක අඩුවක් වේවි.. මේ වෙනකොට පෙම්වතියක්ද...?
ආදරය ගැන මට ලොකු බලාපොරොත්තුවක් තිබුණෙ නෑ. නමුත් මේ කාලෙදී ඒ ආදරය කියන දේ මට දැනෙනවා. ආදරය කියන වචනයේ අර්ථය සොයමින් ඉන්න කාලයක්. ඒ හැමදෙයක්ම සුදුසු කාලයේදී මම කියන්නම්.
Text — Dishani / Pic - Sumudu