දඹදිව වන්දනා නඩය අරගෙන එන්න මමත් ගියා
වෘත්තියෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වන දිනිති වල්ගමගේ, බොහෝදෙනා අතර අද වන විට ප්රකටව සිටින්නේ රංගන ශිල්පිනියක ලෙසයි. විකාශය වූ බ්ලැක් ටවුන් ස්ටොරි මියැසි ලෙසත්, හිරු ඇවිදින් නාට්‍යයේ භාග්‍යා ලෙසත් හමුවූ දිනිති, ඇයගේ රංගන ජීවිතය හා ගුවන් සේවිකාවක ලෙස කරන වෘත්තියේ අලුත් විස්තර කියන්නට සඳැල්ලට ආ මොහොතකි මේ.
දිනිති කියමු බලන්න, අලුත් විස්තර?
අලුත් විස්තර වලට කියන්න තියෙන්නෙ, මම රඟපෑ ප්‍රියන්ත ප්‍රනාන්දු නිර්මාණය කළ ‘සුසුම් රස්තියාදුව’ නාට්‍යය සහ තේජා ඉද්දමල්ගොඩගෙ ආශාවරී චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.
ඒ හැර?
ඒ හැර අලුතින් බාරගත්ත නිර්මාණවල ෂූටිං කල් ගියේ, මේ පවතින වාතාවරණය නිසයි.
ඔබට බ්ලැක් ටවුන් ස්ටෝරි නාට්‍යයේ රඟපෑ චරිතයට ලැබෙන්නෙ ඉහළ ප්‍රතිචාර නේද?
එය කොටස් 8 කින් සමන්විත වූ නිර්මාණයක්. ඒ නිසා ඒ කතාවේ මුල – මැද – අග අපි දැනගෙන හිටියෙ. ඒක අනෙක් නාට්‍ය වගේ නෙවෙයි. ක්ෂේත්රයේ සමහර අධ්යක්ෂවරු පවා මට කෝල් කරලා කිව්වෙ මේ චරිතය හොඳට කලා කියලයි. කලින් අපි ටී.වී. එකේ ලස්සන කෙල්ලෙක් අලුත් කෙල්ලෙක් කියලා බැලුවා මිසක, මේ විදියෙ ටැලන්ට් එකක් දැක්කෙ මේ චරිතයෙන් කියලා මාව අගය කළා. මේකෙ රඟපෑ නළු නිළි පිරිස වන අංජන ප්‍රේමරත්න, අනුරාධ මල්ලවාරච්චි, මයුර යන ඒ සියලුදෙනා වේදිකාවේ දක්ෂයින්. ඔවුන් එක්ක රඟපාන්න දෙයක් නැහැ. ඉබේටම රඟ පෑවෙනවා.
දිනිතිට හිතෙන්නෙ නැද්ද වේදිකාවේ රඟපාන්න?
මම පාසල් වේදිකාවෙන් ආ කෙනෙක්. මම තාත්තාගෙ නාට්‍ය වැඩමුළු වලට පවා හිටියා. ඒත් රැකියාව නිසා කාලය යොදාගන්න අමාරුයි. ඒකයි, ඒත් ඉදිරියේදී බලමු. මට වේදිකා නාට්‍යයක් ලැබිලා තියෙන්නෙ.
ගුවන් සේවයේ කරන රැකියාව මේ දිනවල කොහොමද?
කතා කළ විගස රැකියාවට වාර්තා කිරීමේ සූදානමින් ඉන්නෙ.
පසුගිය කාලයේ ගිය ගමන් ගැන කිව්වොත්?
දිල්ලි ගිය ගුවන් යානයේ, සේවයට එක්වීමට ලැබුණා. දඹදිව ගිහින් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස රැගෙන ඒමටයි ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගියේ. අපි යනකොට ඒ ශ්‍රී ලාංකිකයින් හරියට කෑමක්වත් කාලා හිටියෙ නැහැ. එයාලාව ගෙනෙන්න ගිය සේවක පිරිසට එක්වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ විදියට ලෝකයේ විවිධ රටවල මේ මොහොතේ සිරවී සිටි පිරිස් රැගෙන ඒමට ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයේ යාමට ලැබීම, මා දකින්නෙ රාජකාරියට එහා වූ වගකීමක් ඉටුකළ විදියටයි. ශ්‍රී ලංකාව දාලා ගිය සමහර ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට ආවෙ අත්දෙක ඔසවා ශ්‍රී ලංකා භූමියට වැඳ නමස්කාර කරමින්.
මේ විදියට රාජකාරියට යන්න බියක් ඇතිවුණේ නැද්ද?
රස්සාවට එහා ගිය යුතුකමක් අපට තිබෙන්න ඕනෑ. හැමෝම බැහැ කිව්වොත් කවුද යන්නෙ? මම නම් බොහොම කැමැත්තෙන් සේවය කරන්නෙ.
දැන් කොච්චර කල්ද ගුවන් සේවයේ රැකියාවට ගිහින්?
වසර 5 ක් විතර.
ඔය අතර රඟපෑමට කාලය තිබුණද?
කොහොම හරි හදාගන්නවා. මගේ නිවාඩු දිනවලදී රඟපෑමට දින දාගන්නවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගේ යාළුවොත් මට ගොඩක් උදවු කරනවා.
ගුවන් ගමනක් යන සෑම මොහොතකදීම ඔබට දැනෙන දේ?
මට ඒ නිල ඇඳුම ඇන්ඳාම ශ්‍රී ලංකාවනෙ නියෝජනය කරන්නෙ කියලා අභිමානය සහ ගෞරවය තියෙනවා. මම රැකියාව පටන් ගත්තදා ඉඳලාම ලොකු අභිමානයකින් තමයි නිතරම යන්නෙ.
යාළුවෝ ඔබගෙ වත්මන් රඟපෑම් ගැන මොනවද කියන්නෙ?
තෝරලා බේරලා වැදගත් විදියට චරිත තෝරාගන්න කියලා කියනවා, මාව දිරිගන්වනවා. කලින් එකපාරක් කළ දේ දෙපාරක් කරන්න මම කැමති නැහැ. ඒ නිසා තෝරා බේරාගෙන රඟපානවා.
දිනිතිගෙ නාට්‍ය නැරඹූ ප්‍රේක්ෂකයින් ගුවනේදි හමුවෙනවද?
ඔව්, එක අම්මා කෙනෙක් එයාට බබා හම්බවෙන්න සිටියදී හාරකෝටිය නැරඹුවාලු. දැන් එයාගෙ බබාට වයස අවුරුදු දෙකක් විතර ඇති. ඒ බබාට නම දාලා තියෙන්නෙත් හාර කෝටියේ මම රඟපෑ චරිතය වන අභිෂේකා කියලයි. මම ඒ දරුවා දිහා බැලුවාම, එයා මා ළඟට ආවා. මගේ අත් අල්ලාගෙනම හිටියා. ආයෙත් එයාගෙ අම්මා ළඟට එක්කගෙන ගියේ බොහෝම අමාරුවෙන්. ඒ දරුවා එච්චරටම මට සමීප වුණා.
දිනිතිගෙ ආදරය දැන් කොහොමද?
ආදරය ඕනෑ තරම් ලැබෙනවා. අම්මා තාත්තාගෙ ආදරය, ප්‍රේක්ෂක ආදරය, ක්ෂේත්රයේ අයගෙ ආදරය. ඒ නිසා ආදරයේ අඩුවක් නැහැ.
හිත නතර වෙච්ච තැනක්?
දැන්ම ඕනෑ නැහැ.
දිනිති දේශපාලනයටත් උනන්දුයිලු නේද?
අපෝ නැහැ. වැඩක් කරන්න දේශපාලනය කරන්න ඕනෙම නැහැ. දැන් පවතින තත්ත්වය දිහා බලන්න, දේශපාලඥනයින්ට වඩා රටට වැඩ කරන්නෙ මිනිස්සු.
කොරෝනා අතරේ අද දවස් ගෙවන්නෙ කොහොමද?
වසර ගණනාවකට පසුව අම්මලා එක්ක ගෙදර ඉන්න ලැබී තිබෙනවා. උසස් පෙළින් මේ විදියට එයාලා එක්ක ඉන්න ප්‍රථම වතාවට නිසා ලොකු සතුටක් දැනෙනවා. තාත්තා අම්මා ලොකු අම්මා අයියා අයියගෙ බබා ඒ ඔක්කෝමලා එක්ක හරි සතුටින් කාලය ගෙවනවා. ඒ අතරේ ගෙදරදී උයනවා වගේම වගා කටයුතු කරගෙන ටී.වී එකත් බලාගෙන ඉන්නවා.
විශේෂයෙන් උයන්න දක්ෂ මොනවද?
ඕනෙම දෙයක් රසට උයන්න පුළුවන්.
මේ සියල්ල හැර වෙන දක්ෂතා?
නටන්න, වයන්න, ලියන්න පුළුවන්. සිද්ධියක් මතක් වුණොත් මම මුහුණ දුන් දෙයක් මතක් වුණොත් ලියනවා. ලියන්න ටිකක් විතර දක්ෂයි.
මේ වසංගත තත්ත්වය ගැන හිතන්නෙ කොහොමද?
මේ වගේ තත්ත්වයකදී හිතට බියක් ඇතිවීම ස්වභාවයක්. ඒත් හිත හදාගන්න වෙනවා. එන විදියකට මුහුණ දෙන්න වෙනවා. නමුත් අදහන ආගම දහමට අනුව කටයුතු කිරීම මේ මොහොතේ වගේම ඉදිරියටත් මිනිස්සු පුරුද්දක් කරගත්තොත් හොඳයි.
සඳුන් ගමගේ
ඡායාරූප: දිලිත් නිරෝෂන