තේරෙන කාලේ නම් හිතුවේ නර්තන ගුරිවරියක් වෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-03-ent-65

තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියන් අතරේ තාරුකා වන්නිආරච්චිට ලැබෙන්නේ සුවිශේෂි තැනකි. වර්තමානයේ ජනප්‍රිය නිළියන් අතරේ පෙරමුණේද පසුවන ඇය මේ දිනවල වඩාත් ප්‍රේක්ෂක ආදාරය දිනා සිටින්නේ බෙනට් රත්නායකගේ ‘නෙලා’ චිත්‍රපටයේ ‘ඉසබෙලා’ චරිතය හරහාය. අද ‘සාරවිට’ තරු කතා බහ දිග හැරෙන්නේද ඇය සමගින්ය.

 

‘නෙලා’ චිත්‍රපටය ඔබ රංගනයෙන් දායක වුණ කීවෙනි චිත්‍රපටයද?2018-04-03-ent-67

මේ මගේ තුන්වැනි චිත්‍රපටය. මුලින්ම මා රඟපෑවේ ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට. ඊට පස්සේ ‘අලී කතාවක්’, ‘නෙලා’ මගේ තුන්වැනි චිත්‍රපටය වුණත්; මා රංගනයෙන් දායක වුණ තවත් චිත්‍රපට හතරක් විතර තියෙනවා ප්‍රදර්ශනය වෙන්න. සමහර ඒවා ‘නෙලා’ චිත්‍රපටය කරන කාලේ කරපු නිර්මාණ.

 

පසුගිය කාලේ වැඩිපුරම ඔබ දායක වුණේ සිනමා නිර්මාණවලටද?

ඔව්, ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට සම්බන්ධ වුණත් එක්කම මට චිත්‍රපටවලට දායක වෙන්න වැඩිපුර ආරාධනා ලැබුණා. ‘නෙලා’ චිත්‍රපටය දැන් තිරගත වෙනවා. ඊට පස්සේ තව චිත්‍රපට හතරක් ප්‍රදර්ශනය වෙන්න තියෙනවා. තවත් නොබෝ දිනකින් වැඩ ආරම්භ කරන චිත්‍රපටයකටත් මම දායක වෙලා ඉන්නවා.

 

ටෙලි නිර්මාණවලට වගේම, සිනමාවටත් ඔබට කෙටි කාලයකින්ම යොමු වෙන්න අවස්ථාව ලැබුණා නේද?

ඔව්, ඒක මම දකින්නේ මට ලැබුණ වාසනාවක් විදිහට. රංගන ශිල්පිනියක් විදිහට මුල්කාලයේ මට චිත්‍රපට සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණෙ නැහැ. ටෙලි නාට්‍යයවලට පමණක් මම සීමාවෙලා හිටියා. නමුත්, ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයට සම්බන්ධ වුණත් එක්ක මාව බොහෝ දෙනෙක් සිනමාව හරහා අඳුන ගත්තා. ඊට පස්සේ තමයි දිගින් දිගටම සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබුණේ. හැබැයි ප්‍රමාණය අනුව නම් මම වැඩිපුරම කරලා තියෙන්නේ ටෙලි නාට්‍යය. සමස්තයක් විදිහට ගත්තොත් මේ කෙටි කාලය තුළ දී ටෙලි නාට්‍යයවලට වගේම සිනමාවටත් විවිධ චරිත හරහා දායක වෙන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි.

 

ටෙලි නිර්මාණවලටද? සිනමා නිර්මාණවලටද ඔබ වඩාත් කැමතියි?

එහෙම වර්ගකිරීමක් නැහැ. ටෙලි නාට්‍යය හෝ සිනමා නිර්මාණ හෝ වේවා එහි මට ගැළපෙන, මට කරන්න පුළුවන් මිනිස්සු කතා කරන චරිතයක් තියෙනවා නම් මම අනිවාර්යෙන්ම ඒ නිර්මාණයට දායක වෙනවා.

 

රංගන ශිල්පිනියක් විදිහට ඔබ ක්ෂේත්‍රයට ඇවිත් දැන් කාලයක් වෙනවා. තෘප්තිමත්ද මේ ගෙවුණු කාලය?

ඔව්, ගොඩක් තෘප්තිමත්. මොකද, මාව මිනිස්සු අඳුන ගත්තේ මම රංගන ශිල්පිනියක් නිසා. හැබැයි තවත් චරිත තියෙනවා මට ගොඩක් කරන්න. නළුවෙක් නිළියක් විදිහට ගොඩක් වෙලාවට තෘප්තිමත් වෙන්නේ නැහැ තමන් කරපු චරිත දිහා බැලුවොත්. මම වඩාත් කැමති චරිත තියෙනවා. ඒවා තවම මට ලැබිලා නැහැ. රංගන ශිල්පිනියක් විදිහට තවත් විවිධ චරිත කරන්න ලැබෙනවා නම් කියන මට්ටමේ මම ඉන්නවා. ඉතින් රංගන ශිල්පිනියක් විදිහට මම පෞද්ගලිකව ගොඩක් තෘප්තිමත් වෙනවා මේ ගෙවුණ කාලය ගැන.

 

ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ ඉඳලා තාරුකාට ලැබුණේ එකිනෙකට වෙනස් විවිධ චරිත?

ඔව්, මම හිතන්නේ එකෙන් මට මගේ රංගන හැකියා ඉදිරිපත් කරන්න ලැබුණා. සමහර අවස්ථාවල ඒ කරපු විවිධ චරිත නිසා මාව එකම රාමුවකට කොටු නොවී අධ්‍යක්ෂවරුන් මාව විවිධ චරිතවලට තෝර ගත්තා. ඒක මට ලොකු වාසියක් වුණා.

 

රංගන ශිල්පිනියක් නොවුණා නම්?

අනිවාර්යයෙන්ම නර්තන ගුරුවරියක් වෙයි. මොකද, නර්තනය කියන දේ මගේ ඇඟේම තියෙන දෙයක්. නමුත්, රංගන ශිල්පිනියක් විදිහට අද මම ලොකු තැනක ඉන්නවා. ඒ නිසා රංගන ශිල්පිනියක් වෙන්න මම ගත්තු තීරණය අද නිවැරදියි කියලා මට හිතෙනවා.

 

කතා බහ - බුද්ධික සේනාධීර / ඡායාරූප - චානුක කුලසේකර

 

2018-04-03-ent-64  2018-04-03-ent-66