තේරුමක් නැතුව වචන යොදන්න මම අකමැතියි
නිවේදිකාවක්, ගී පද රචිකාවක් සහ වේදිකාවට පා තැබූ නවක රංගන ශිල්පිනියක්. ඇය නමින් උමා අසේනි. ඇයව බොහෝ දෙනා දැන හැදින ගන්නේ දක්ෂ පද රචිකාවක් සහ නිවේදිකාවක් ලෙසයි. මේ වනවිට වේදිකා රංගන ශිල්පිනියක් වී සිටින ඇයව %අද^ තරු කත බහට මෙලෙස එක් කර ගනු ලැබුවා.
Stage පැත්තට තමයි වැඩම බර දීලා තියෙන්නේ. ඒවගේම Presenting වැඩකටයුතුත් කරගනෙ යනවා. නමුත් ඇත්තටම මගේ පුංචි කාලේ ඉඳලම තිබ්බ ඉලක්කය තමයි, Acting, Directing, Scriptwriting කියන තුන. දැන් ඒ තුනෙන් Directing කියන දේ පැත්තකට තියලා Acting සහ Scriptwriting කියන දෙකට දැන් වැඩ අවධානයක් යොමු වෙලා තියෙනවා.
වේදිකා නාට්‍යය ගැන පොඩ්ඩක් කතා කරමු?
අපි ඔක්තෝම්බර් මාසයේ Show එකක් සැලසුම් කරලා තියෙනවා. එතනින් එහාට Show කිහිපයක් කරනවා. %ඉන්ද්‍රජාල පෙම්වතිය^. ඒක තුල ඇත්තටම කතා කරන්නේ එකම පුද්ගලයෙකු තුල පැවැත්වෙන මනෝභාවයක් පිළිබඳවයි. මම මෙහෙම කියන්නම් ඒක තවත් පැහැදිලි වෙන්න. ඒ එක ඝට්ටන්නේ හදවතයි, බුද්ධියයි, ශිෂ්ඨාචාරයයි, සොබා දහමයි. අපි හතර දෙනාගේ චරිත වලින් පෙන්නුම් කරන්නේ ඒ දෙයයි. ඕක තමයි අපේ නාට්‍යයයේ තේමාව. මනුෂ්‍ය බැදීම් වලට ඔය කියන දේ ගැලපෙන්නේ කියන දේයි අපි කතා කරන්නේ. අපි ජූලි මාසයේ එහි මංගල දර්ශනය පැවැත්වුවා.
"ඉන්ද්‍රජාල පෙම්වතිය" නාට්‍යය තුළ සිටින අය ගැන කිව්වොත්?
මම මේකට ඉතාමත් ආධුනිකයි. මයුර කාංචන, සෝමලතා සුබසිංහගේ %Play House^ එකෙන් හැදිච්ච දක්ෂතම චරිතය. ඊට පස්සේ සමිත සුදීශ්වර, ඔහු මෑතකාලීනව වේදිකා නාට්‍යය වලට සම්බන්ධ වන චරිතයක්. සම්මානලාභී නළුවෙක්. දයා එදිරිසිංහ අංකල්, ඊට පස්සේ සමන් පුෂ්ප ලියනගේ, මනෝජා ප්‍රනාන්දු සහ මමයි මෙහි රංගනයෙන් දායක වෙන්නේ. මෙහි අධ්‍යක්ෂණය සහ තිරපිටපත් අනුරාධ සුබසිංහගේ. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය පිළිබඳව කතිකාචාරවරයෙක්.
මංගල දර්ශයෙන්දී ඔබේ රඟපෑමට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
එහිදී ලැබිච්ච ප්‍රතිචාර මට හිතා ගන්න බැහැ. හරි සතුටුයි. සමස්ථයක් විදිහට ගත්තාම හොද සහ නරක දෙපැත්තටම ප්‍රතිචාර ලැබුණා. අපිට ලැබුණු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරත් එක්ක කොහොමද යම් යම් වෙනස්කම් නාට්ය්ය තුළ කරන්නේ කියන දේ සාකච්ඡා කරන ගමන් තමයි ඉන්නේ. හොඳ නරක කියන දෙකම ලැබෙනවා. ඒ තුළින් තිබුණට වඩා සාර්ථක නිර්මාණයක් ඔක්තෝම්බර් මාසයේ වේදිකා ගත වෙයි.
නිවේදනය පැත්තේ වැඩ කටයුතු කොහොමද වෙන්නේ?
මේ දවස්වල සිසර නාලිකාවේ "Now Showing" කියන වැඩසටහනක් කරනවා. ඒක ඇතුලෙත් කතා කරන්නෙ කලාව සම්බන්ධයෙන්මයි. චිත්‍රපට, වේදිකා නාට්‍යය, පොත්පත් සහ කවි කියන දේවල් ගැන තමයි කතා කෙරෙන්නේ. %ඉස්සර දවසක^ වැඩසටහන ඉවර වුණා. දැන් කරගෙන යන්නෙ Now Showing කියන වැඩසටහනයි. මම සිරසේ ඇත්තටම සම්බන්ධ වෙන්නේ %සිරස ආලින්දයේ^ උදෑසන සාකච්ඡාව අවුරුදු දෙකක් විතර කලා. ඊට අමතරව ව්‍යාපාරික වැඩසටහනක් කලා. Special Dedicated Program වලදී Dedicated Presenter විදිහට හිටියේ මමයි. ඊට පස්සේ කෙරුනේ %ඉස්සර දවසක^ මගේ Concept එකක් එක්ක. ඒකේ Concept එක, Script එක, Producing පැත්ත, Presenting ඔක්කෝම මමයි. ඒකට Crew එකේ සහයක් ලැබුණා.
ඔබ එක් ගීතයක් නිසා බොහෝ ලෙස කතා බහට ලක් වූ කෙනෙක් නේද?
ඔව්. ඒ සනුක වික්‍රමසිංහගේ "පෙරවදනක්" කියන ගීතය නිසා. මම සිංදුවක් කරන්න හිතාගෙන ලිව්ව එක්ක නෙමෙයි. මම සනුක එක්ක කතා බහ කරගෙන ඉන්න කොට මම යවපු ඒවයින් තෝරගෙන මෙලඩි එකක් දාලා කරපු වැඩක් ඒක. හැබැයි නොහිතපු විදිහට ප්‍රතිචාර ලැබුණා. අදටත් සමහර වෙලාවට මැසේජ් එනවා %පෙරවදන^ ඔයාගේ නේද කියලා අහලා. මට සතුටු මොකවත් නිසා නෙමෙයි. ඒ පෙරවදන ජනප්‍රිය වුණු කාලේ තිබුණු රැල්ල තිබෙන තත්ත්වයකදී මේ ගීතයේ වචන වලට මිනිස්සු ආදරය කලා කියලා කියද්දී ඒක සෑහෙන්න ලොකු දෙයක්. යහපත් රසවින්දයක් වෙනුවෙන් ලංකාවේ රසික පිරිසක් ඉන්නවා කියලා දැන ලැබුණාට සතුටුයි. මගේ සිංදුවක් ජනප්‍රිය වුණු කාරණාවට වඩා මට සතුටුයි ඒක දැන ගන්න ලැබුණු එකට. වයස් භේදයකින් තොරව ඒ ගීතයට ආදරය කලා වගේම අදටත් ආදරෙයි.
ඒ කාලේ රැල්ලත් විරහව පිළිබඳව නම්, ඔබේ ඒ ගීතයත් විරහවක් තියෙන ගීතයක්?
මට හැම තිස්සෙම ලියැවෙන්නේ විරහව පැත්තෙන්. හැබැයි මම විශ්වාස කරනවා, මම පිළිගන්න ගීත රචනා කලාව කියන්නේ සාහිත්‍යයම ගුණාංග වලින් පරිපූර්ණයි කියන එක. මම කියන්නේ නැහැ %පෙරවදනක්^ කියන්නේ මාර එකක් කියලා. මම විශ්වාස කරන සාහිත්‍ය තුළ තේරුමක් නැති වචන පාවිච්චියක් මම කරන්නේ නැහැ. මම වචන පාවිච්චි කරන්නේ හරි පරිස්සමින්. ඇත්තටම මගේ පූර්වාදර්ශ විදිහට මම සලකන්නේ, ප්‍රේමකීර්ති ද අල්විස්, මහගම සේකර කියන පරම්පරාවේ අයයි. ඊට පස්සේ, කුමාරදාස සපුතන්ත්‍රී, රත්න ශ්‍රී විජේසිංහ ඒ තමයි මගේ පූර්වාදර්ශ චරිත ටික. මෑත කාලීනව අමිල තේනුවර, රවි සිරිවර්ධන, රජීව් වසන්ත වෙල්ගම ඉන්න අයියලාවයි. මම හිතනවා මම අයිති ඒ පරම්පරාවටයි කියලා සහ මම ආදර කරන්නේ ඒ පරම්පරාවටයි.
ඔබේ ගීත රචනය ගැන ඔබ වගකීමක් ලෙස දකින්නේ මොකක්ද?
මම ලියන හැම සිංදුවකම මම වචනය සම්බන්ධයෙන් මම වගකියනවා. තේරුමක් නැතුව වචන යොදන්න මම අකමැතියි. මම හැම වෙලාම හිතනවා ගීතයක් ඇතුලේ පද පේලී අතරේ කෙනෙකුට කිඳා බහින්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ කියලා. මට දැනෙන විදිහට අනවශ්‍ය ප්‍රමාණයට සරල වෙන්න ගියාට පස්සේ රහක් නැතුව යනවා. මේක මගේ පෞද්ගලික මතය. ඒ නිසා හැම මොහොතකම පාවිච්චි කරන පිළිබඳව මම සෑහෙන්න සැලකිලිමත්.
දැන් ඔබේ නිර්මාණයන් වලට තිත තියලද?
ඒක දිගටම තියෙනවා. කවි, සිංදු ලියන එක දිගටම කරන එකක්. "පෙරවදනක්", "නිරා වසන්තයේ" දෙකම ලොකුවට ප්‍රතිචාර ලැබුණා. ඉස්සරහට සිංදු 11ක් එන්න තියෙනවා. මෙලඩිත් කරලා, Sing කරලත් තියෙන්නේ. එළිදක්වලා නැති එකයි තියෙන්නේ. තාම ඉතිං කරගෙන යනවා.
ඒ සිංදු ගායනා කරන්නේ කවුද?
දිමන්ක වෙල්ලාලගේ සිංදු දෙකක් ගායනා කරනවා. ඒක එයාගේ සම්පූර්ණ Carrier එක වෙනස් වන වැඩක් වෙයි. එයා එක තැනක Frame වෙලා ඉන්න එකෙන් මිදෙන්න ඕනේ කියලා කියපු එකක් ඒ ගීතය. ප්‍රිහාන් සහ නතාෂාට ගීතයක් කලා. ඒවගේම සනුකගේ ගීත දෙකක් එන්න තියෙනවා. අලුත් මල්ලි දෙන්නෙකුට දෙකක් දීලා තියෙනවා. ඒ අයගේ නම් කිව්වට එච්චරම දන්නේ නැහැ. අරුණ ගුණවර්ධන අයියාගේ මෙලඩි කිහිපයක් එළිදක්වන්න එන්න තියෙනවා.
ඉදිරි බලාපොරොත්තු සහ කටයුතු මොනාවද?
මම ගීත ලියන එක නම් නවත්වන්නේ නැහැ. ඒක දිගටම කෙරෙයි. නමුත් ඉදිරියේදී බලාපොරොත්තුව තියෙන්නේ මම කියපු තුන් ආකාරයෙන් ඉස්සරහට යන්න. මම දන්නේ නැහැ ඒ ක්ෂේත්‍ර තුන ඇතුලේ මට කොයි තරම් ඉඩක් ලැබෙයිද කියලා. මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නේ ලංකාවෙන් එහාට දෙයක් කරන්න තියෙනවා නම් එක තමයි බලාපොරොත්තුව සහ ඉලක්කය. මේ ක්ෂේත්රයන් තුන තමයි ඉලක්ක කරගෙන ඉන්නේ.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha