තාරුකා කියන්නෙ එකතැන පල්වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි
තාරුකා වන්නිආරච්චි යනු සිනමාවේ මෙන්ම පුංචි තිරය ඔස්සේ වැඩි රසික ප්‍රතිචාර හිමිවන කෙනෙකි. ඇය මේ දිනවල තරමක් කාර්යබහුල චරිතයක් වී ඇත. රංගන ශිල්පිනියෙක ලෙස කටයුතු කළ ඇය ඉදිරියේදී ව්‍යාපාරික කාන්තාවක ලෙස දැක බලාගැනීමට හැකිවෙයි. ඇය ‘සාරවිට’ සමග එකතු වූ මොහොතයි මේ.
තාරුකා කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල ‘කැළෑ හඳ’ ටෙලි නාට්‍යයේ වැඩ. තව අලුත් ටෙලිනාට්‍යයක් පටන් ගන්නවා. ඒ වැඩකටයුතු එක්ක කාලය ගත වෙනවා.
ඒ කියන්නෙ මේ දවස්වල කාර්යබහුලද?
ඔව්. මේ දවස් ටිකේ පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නවා. ටික දවසකට කලින් නිදහසේ හිටියා. දැන් ඒ නිදහසත් නැතිවෙලා දෙසැම්බර් වෙනකම් වැඩ තියෙනවා.
සිනමාව පැත්තේ අඩුවක් දකින්නෙ, දායක වූ නිර්මාණ තිරගත නොවීම නිසාද?
එහෙමත් නැහැ. ජනවාරිවලදි එනවා ‘තවම ඉස්කෝලේ’ කියලා සුනිල් ප්‍රේමරත්න මහත්මාගේ චිත්‍රපටයක්. තව ෆිල්ම් දෙකක් එන්න තියෙනවා. තව එකක් කළා ගිය සතියේ. ඒකත් ඉදිරියේදී බලාගන්න පුළුවන්.
චිත්‍රපටයක් රූගත කරලා තිරගත වීමට බොහෝ කාලයක් ගත වෙනවා. එම නිර්මාණයට යම්කිසි වෙහෙසක් දැරුවත් ආදාළ කාලයේදී තිරගත නොවීම චරිතයට හානියක් නොවෙයිද?
මෙහෙමයි ඉතිං, ඕකට උත්තරයක් දෙන්න අමාරුයි. ඔය ප්‍රශ්නේ ටෙලිනාට්‍යවලටත් තියෙනවා. අපි මේ දවස්වල මේක කරනවා කිව්වට සමහර ඒවා විකාශය වෙන්නේ අවුරුදු 02ක්, 03ක් පහුවෙලා. සමහර ඒවා ‘ෂෙඩුයුල්’ එකකින් නවතින වෙලාවල් තියෙනවා. හැබැයි චිත්‍රපටයක් කළාම අවුරුද්දකින් තිරගත වෙනවා කියන්නෙ ඒක ලොකු දෙයක්. මොකද ඒක සිනමා නිර්මාණයක්නේ. ඒක ලොකු අඩුවක් කියලා මම දකින්නේ නැහැ. කාලයක් ගියත් සිනමා නිර්මාණයක් නිසා ප්‍රශ්නයක් නැහැ.
තාරුකා දැන් වෘත්තීමය රංගන ශිල්පිනියක්. දීර්ඝ කාලීනව නිළියක්ද?
නැහැ. මම දැන් ක්ෂේත්රයට ඇවිල්ලත් අවුරුදු 06ක් විතර වෙනවනෙ. ඒ කාලෙදි මම නිර්මාණ කළා. මට කරන්න නොලැබුණු චරිතත් තියෙනවා. මම සෑහීමකට පත්වෙනවා කරපු දේවල් එක්ක. හැබැයි ඉදිරියටත් මේක මගේ වෘත්තිය කරගන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නුදුරේදීම මගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. හැබැයි එතකොට නිර්මාණ පැත්ත ටිකක් අඩුවෙයි. නමුත් කමක් නැහැ ආත්ම තෘප්තිය වෙනුවෙන් පොඩි කැපකිරීමක් කරනවා. ටෙලිනාට්‍ය හෝ චිත්‍රපට ජීවිතෙන් පොඩ්ඩක් අයින් වෙලා ව්‍යාපාරකරණයට එකතු වෙනවා.
ක්ෂේත්රයේ අවුරුදු 06ක කාලයක් ආපු ගමන ගැන තෘප්තිමත් වෙනවාද?
ඔව්. සමහර ඒවට තෘප්තිමත්, සමහර ඒවට තෘප්තිමත් නැහැ. හැබැයි ඉතිං සතුටුයි තාමත් මිනිස්සු දැක්කම කතා කරන චරිත අපි කරලා තියෙන නිසා. ඔයා මේකේ හිටියා නේද?, ඔයා හොඳට රඟපානවා කියලා තාමත් මිනිස්සු හම්බ වුණාම කියනවා. ඒක විතරයිනේ අපට ඉතුරු වෙන්නේ. සමහර චරිත තියෙනවා මට තෘප්තිමත් නැහැ.
තාරුකා සැබැවින්ම මොන වගේද?
මම ඇත්තටම හරිම සරලයි. ගොඩක් සරලව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. ඇඳුමක් ඇන්දත් සරලව අඳින්නේ. තාරුකා කියන්නේ ලොකුවට හීන මවාගෙන හීන ලෝකෙක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මම කරපු දේවල් දිහා ආපස්සට හැරිලා බලන්න කැමැතියි. ජීවිතේ එක තැන තියාගන්නේ නැතුව, ජීවිතේ වෙනස්කම් සිදුකර ගෙන ඉස්සරහට යන්න කැමැතියි. තාරුකා කියන්නේ එකතැන පල්වෙන්න කැමැති කෙනෙක් නෙවෙයි. මං දැන් ඉගෙන ගත්ත දෙයක් තමයි, මට හරි කියලා හිතෙන දේ මම කරනවා කියන එක. ඒක ඉගෙන ගත්තේ මේ ක්ෂේත්රයේ ඉඳලම තමයි.
ක්ෂේත්රයේ අයත් එක්ක ඊර්ෂියාවක්, තරහක් ඇතිවෙන්නේ නැද්ද වැඩ කරගෙන යද්දි?
අනේ නැහැ. ඊර්ෂියා කරලා මට ලැබෙන දෙයක් නැහැනේ. මම ඊර්ෂියාව කියන දේ කරන්නෙම නැති තරම්. කාටහරි දෙයක් ලැබුණා නම්, අනේ මටත් ඒක තිබුණා නම් කියල හිතනවා මිසක් ඊර්ෂියාවක්, තරහක් නැහැ. මට ආපු කාලේ ඉඳන් හොඳට වැඩ හම්බ වුණා. ඒවාට ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ලැබෙනවා. මට ලොකු දේවල් ඕන නැහැ. ඒක නිසා ඊර්ෂියා කරලා වැඩක් නැහැ මට.
අද සමාජ ජාල මාධ්‍ය හරි ප්‍රබලයි නේද?
මෙහෙමයි. දැන් ලෝකය විවෘතයි. අපි ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න ඕන, අප්ඩේට් වෙන්න ඕන. එතකොට ඔය ගොසිප් කියන දේවල් අහලා දුක් වෙන කෙනෙක් නෙවෙයි මම. ගොසිප් ඕනෑම ජනප්‍රිය චරිතයකට හැදෙනවා. හැබැයි ඒවා එක්ක හොඳ දෙයක් කරනවා නම් තමයි වටින්නේ.
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඔබටත් විවිධ කතා නිර්මාණ වුණා? කලකිරීමක් නැද්ද?
මෙහෙමයි. සමහර අවස්ථාවලදී මටත් ගොසිප් හැදුණා කියලා ආරංචියි. අඩුගාණේ මම ඒවා මොනවාද කියලා බලලවත් නැහැ. මම ඒවා ගැන හොයන්න ගිහිල්ලත් නැහැ. මොකද මම දන්නවා නම්, මම හිතට එකඟව වැඩ කරන්නේ කියලා එතැනින් එහා දෙයක් නැහැ. ඒවා බොරු කියලා හිතන අය ඒවා ප්‍රතික්ෂේප කරයි. හරි කියලා හිතන අය ඒවා පිළිගනියි. මම දන්නවා නම්, මම හරි කියලා මට ඒවායෙන් වැඩක් නැහැ. අර කතාවක් තියෙන්නේ බොරුවට ආයුෂ නැහැ කියලා.
වර්තමානය වනවිට නැවතත් රූපවාහිනියෙන් ගිළිහුණු ප්‍රේක්ෂකයන් නැවත එයට එකතු වෙන්න පටන් අරන් නේද?
මෙහෙමයි. හොඳ නිර්මාණ සහ ජනප්‍රිය නිර්මාණ ගොඩක් අද බිහිවෙලා තියෙනවා. ඉදිරියේදී ලංකාවේ කලා ක්ෂේත්රයට හොඳ නිර්මාණ බිහිවෙයි කියලා හිතෙනවා. එතකොට අපි ක්ෂේත්රයේ ඉඳීද දන්නෙ නැහැ. හැබැයි අලුත් අයට හොඳ අවස්ථා උදාවෙනවා නම් හොඳයි. ඒ හරහා ප්‍රේක්ෂකයන් රූපවාහිනිය මතට ගෙන එන්න පුළුවන් නම්, ඒ දේ තවත් වටිනවා කියලා මම හිතනවා.
පසුගිය දවස්වල ආණ්ඩුවෙන් විදෙස් නාට්‍යය සඳහා යම්කිසි පැනවීමක් කළා? ඒ දේ හොඳද?
ඕකෙ දෙපැත්තක් තියෙනවා. මේක හොඳයි කිව්වොත් මම මගේ ක්ෂේත්රය බාල්දු කළා වෙනවා. ඒක හොඳ නැහැ කිව්වොත් තවත් ප්‍රශ්නයක්. ඒක නිසා මම ඒක ගැන කතා කරන්න කැමැති නැහැ.
ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
ඉදිරියේදී රංගනය පැත්තෙන් අඩුවෙයි මාව දකින්න. මට හොඳයි කියලා හිතෙන චරිතයක් කරයි. ඒක සහ ඉදිරියේදී මම ව්‍යාපාර පැත්තට යොමු වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?
එයාලට ගොඩක් ස්තූතියි කියනවා. අපේ නිර්මාණයක් යද්දි ඒවාට ලබාදෙන ප්‍රතිචාර අපට ඉතාමත් වටිනවා. අපිව කොහේහරි දැක්කත් ඇවිත් කතා කරලා බදාගෙන සුබ පතනවා. ඒ ප්‍රතිචාරය වෙන කිසිම ක්ෂේත්රයකින් ලැබෙන්නේ නැහැ. ඒ සුබපැතුම් පිළිගැනීම් ලැබෙන්නේ කලාකරුවන්ට පමණයි. ඇත්තටම ස්තූතියි ප්‍රේක්ෂකයන්ට. මම එයාලට ගොඩක් ආදරෙයි.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද