තාත්තා මං ගැන දැන් ගොඩක් සතුටු වෙනවා
සිරස රූපවාහිනී නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ "නයෝමි" ලෙසින් ඔබ දුටු අනුරාධා එදිරිසිංහ මේ දිනවල මොණර කිරිල්ලී, දෙරණ රූපවාහිනියේ "අංකල් සෑම්", හිරු රූපවාහිනියේ "වස්සානේ ප්‍රේමය" යන ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩවදියි. මෝස්තර නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට එක්වූ අනුරාධා වර්තමානය වනවිට කලා ක්ෂේත්‍රය තුළ කාර්යබහුලව සිටින නව පරපුරේ යොවුන් නිළියකි. ඇගේ වර්තමාන රංගන කටයුතු පිළිබඳ දැක්වූ සංවාදයකි මේ.
මේ දවස්වල අලුත් තොරතුරු මොනවාද?
මේ දවස්වල ස්වර්ණවාහිනියේ සහ දෙරණ ආයතනයේ ටෙලිනාට්‍ය දෙකක වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම සඳහා තමයි දායකවෙලා තියෙන්නේ.
ක්ෂේත්‍රයේ මූලික අඩිතාලම?
මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 13දී. මගේ තාත්තා පොලීසියේ. එයා කැමති වුණේ නැහැ මේ ක්ෂේත්‍රයට යොමු වෙනවට. මොකද අයියයි, මායි විතරයි පවුලෙ ඉන්නෙ. ඔය අතරේ මීට අවුරුද්දකට විතර කලින් මගේ අයියගේ වෙඩින් එකේ ෆොටෝග්‍රැෆි කරපු අංකල් හදිස්සියේ කතා කරලා වෙළෙඳ දැන්වීමකට දායක වෙන්න පුළුවන්ද ඇහුවා. එතැනින් තමයි නැවතත් මම ක්ෂේත්‍රයට එන්නේ.
මුලින් අකමැත්ත ප්‍රකාශ කරපු තාත්තගේ දැන් කැමැත්ත කොහොමද?
ඇත්තටම තාත්තා මං ගැන දැන් ගොඩක් සතුටු වෙනවා. මොකද එයා මගේ වැඩකටයුතු පිළිබඳව දැකලා. පත්තරයක හරි හිටියොත් තාත්තා ගොඩක් අයට පෙන්නලා තියෙනවා. කඩයකට ගියත් ඒ අය කියනවා පුතා තාත්තා ඔයාව පෙන්නුවා කියලා. ඒක මට ලොකු සතුටක්. තාත්තා ඒ දේවල් ගොඩක් විඳලා තියෙනවා.
තාත්තා සතුටු වෙන තරම් ඔයා මේ ක්ෂේත්‍රය පිළිබඳව සතුටු වෙනවාද?
ඔව්. මම නම් මේ ක්ෂේත්‍රයට හරි ආදරෙයි. මට නම් වෙන කිසිම රැකියාවක් කරන්න බැහැ. නමුත් මම දන්නෙ නැහැ මේක මගේ රැකියාවද කියලා. මේ ක්ෂේත්‍රය මම හරිම ආදරය කරන සුන්දර තැනක්.
මේක රැකියාව කරගන්නද බලාපොරොත්තුව?
මම වෙනත් රැකියාවක් කරන්නේ නැහැ. දැනට මේක තමයි කරන්නේ. බලමු මේක රැකියාව වෙයිද කියලා.
ක්ෂේත්‍රයේ තුළ ප්‍රවීණයන්ගෙන් උදව් එහෙම ලැබෙනවද?
අම්මෝ ඔව්. මම වැඩ කරපු හැමෝම මට ගොඩාක් උදව් කරනවා. ඒක එහෙම්මම තමයි, කිසි වෙනසක් නැහැ.
අද ක්ෂේත්‍රයට අලුතින් එන අයගේ කිසිඳු රඳා පැවැත්මක් නැහැ නේද?
ඒකට මූලික හේතුව ලෙස මම දකින්නේ ඒ අය ප්‍රසිද්ධිය පස්සේ හඹා යෑමයි. සමහර පිරිස් ඉන්නවා රූපවාහිනියේ තමන්ව දකින්න කැමති. ඒ අය ඉක්මන් ප්‍රසිද්ධිය වෙනුවෙන් ළඟ බලලා හැමදෙයක්ම බාර අරගෙන කරන එකෙන් ඒ අයගේ තිබෙන ගුණාත්මකභාවය නැතිවෙලා යනවා. අද ඉන්න ප්‍රේක්ෂකයන් හරි බුද්ධිමත්. ඒ අයට මේ ක්ෂේත්‍රයේ ඇතුල් පැත්ත තේරුණේ නැති වුණාට ටෙලිනාට්‍යයක් හෝ වෙළෙඳ දැන්වීමක් තුළින් එන කෙනාගේ හැසිරීම පිළිබඳව ඔවුන්ට හොඳට වටහා ගැනීමට හැකියාව තිබෙනවා. මොකද ගොඩක් අය කියනවා මේ කෙනා බොරුවට රඟපානවා, මේ කෙනා හිතට දැනෙන්න රඟපානවා කියලා. ඒ නිසා අද ඉන්න ප්‍රේක්ෂකයන්ව රවට්ටන්න අමාරුයි. ඉතිං එවැනි රංගන හැකියාවන් තියෙන අය තමයි මේ ක්ෂේත්‍රයේ රඳා පවතින්නේ සහ ප්‍රේක්ෂකයා ආදරය කරන්නේ. ප්‍රවීණයෝ අපිට හම්බුණාම අහන දෙයක් තමයි ඇයි වේදිකාවට එන්නෙ නැත්තේ, වේදිකාවේ වැඩවලට දායක වෙන්නේ නැත්තෙ කියලා. අදටත් ප්‍රවීණයෝ ක්ෂේත්‍රයේ රැඳිල ඉන්නේ මේ කාරණා නිසානේ. මේක මම ඇතුළුව නවකයන් හැමෝටම අදාළ කාරණාවක් කියලා මම කියනවා.
ඔයා කියන්නේ, ඔයා ජනප්‍රියත්වය පස්සෙ යන කෙනෙක් නෙවෙයි කියලද?
මට ජනප්‍රිය වෙන්න ඕන. හැබැයි ඒ සඳහා මට මේ දේවල් කරන්න ඕන කියලා මතයක් නැහැ. මාව රූපවාහිනියේ ඇතිතරම් දැකල තියෙනවා. නිතරම මම රූපවාහිනියේ ඉන්නවා කියන එක නෙමෙයි මම කියන්නේ. මම කරපු වැඩසටහනක් හරි බලලා ඒක ගැන සතුටු වෙනවා. ඒ නිසා මට ජනප්‍රියත්වය කියන දේ පස්සෙ යන්න ඕනකමක් නැහැ. හැබැයි කවුරු හරි ඇවිත් කතා කරද්දී අහිංසක සතුටක් දැනෙනවා.
ඔයා හිතනවද මේ ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක් ඇවිත් තියෙනවා කියලා?
මම දකින්නේ ක්ෂේත්‍රයේ පටන්ගැන්ම ඈත කොහේ හරි තියෙද්දී මම ඒක දිහා ඈතට වෙලා බලන් ඉන්න තරමක් තමයි ඇවිත් තියෙන්නේ කියලා. මම හිතන්නෙ නැහැ තවම ක්ෂේත්‍රයට අඩිය තියලවත් ඇති කියලා. ඒ තරමට මම නවකයෙක්.
අද දකින විට මේ ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් ඉන්නේ නවකයන්. ඔවුන් මෙම ක්ෂේත්‍රයට එන්නේ ක්ෂේත්‍රය පිළිබඳව කිසිඳු දැනීමකින් තොරව නේද?
මම දකින්නේ මොනව හරි දෙයක් කරද්දී ඒ දේ පිළිබඳව යම්කිසි හැදෑරීමක් තියෙනවා නම් හොඳයි කියලයි. මම මගේ මූලික අඩිතාලම විදිහට අනෝජා වීරසිංහ මිස්ගේ වැඩමුළුවලට සහභාගී වුණා. එතැනින් හැමදේම ඉගෙන ගන්න වෙන්නෙ නැති වුණාට අපිට ඊළඟට මේක හොයාගෙන යන්න, වැඩිදුර ඉගෙන ගන්න ආසාවක් එතැනින් ඇති වෙනවා. කලාවට ආදරය කරන අය මේක ඇතුළට එනවානම් මම පෞද්ගලිකව කැමතියි. ඒ ප්‍රමිතිය හොයාගන්න ඕන තමන්ම තමයි. තමන් දැනගන්න ඕන අදාළ තැනට යොමු වෙන්න. අපි පාසල් ගිහින් අධ්‍යාපනය හදාරනවා වගේ මේ දේත් විෂයක් කරගෙන අධ්‍යයනය කරන්න ඕන කියලයි මම හිතන්නේ.
නවකයෙක් ලෙස කණ්ඩායමක් සමග වැඩ කරද්දී ලැබුණ අත්දැකීම කොහොමද?
ඉස්සෙල්ලාම අපි කැමරාවක් ඉස්සරහට ගිහින් කොහොමද ඉන්නේ, කරන්නෙ මොනාද කියන දේ පිළිබඳව කිසිඳු අත්දැකීමක් තිබුණෙ නෑ. නමුත් වැඩ කරන්න පටන් ගනිද්දී හැමෝම කණ්ඩායමක් වශයෙන් එකතු වෙනවා. වැඩ කරද්දී තනි තනිවම බෙදෙන්නේ නැතුව කණ්ඩායමක් වශයෙන් එකතු වෙද්දී එතැනින් ලැබෙන නිදහස් බව අපේ රංගනය තුළදී ලොකු ආභරණයක් වෙනවා. ඒ අයත් එක්ක සුහද වුණහම අපේ වැඩේ කිසිම බයක් නැතිව කරගන්න පුළුවන්කමක් ගොඩනැගෙනවා. අපෙන් යම්කිසි අඩුපාඩුවක් වෙනවනම් ඒක කවුරු හෝ කෙනෙක් ඇවිත් කියනවා. එහෙම කිව්වා කියල ඒ අයත් එක්ක කිසිම හිත් රිදවීමක් වෙන්නෙ නැහැ. මොකද ඒ තරමටම ඒ අයත් අපිත් සමග සුහද වෙන නිසා. අධ්‍යක්ෂකවරයාගේ සිට තේ හදන කෙනා දක්වා සහෝදරත්වයෙන් ඉන්න පුළුවන් නම් අපිට අපේ කාර්යය සාර්ථකව කරන්න බොහෝවිට අවස්ථාව ලැබෙනවා.
සහයෝගය දැක්වූ අය ගැන කතා කළොත්?
මම මුලින්ම ස්තූතිවන්ත වෙනවා මගේ දෙමාපියන්ට. මගේ අයියට සහ පවුලේ නෑදෑයන් හැමෝටම. මම ක්ෂේත්‍රයට සිරස ටීවී හරහා තමයි ආවේ. මගේ ප්‍රථම අධ්‍යක්ෂකවරිය විදිහට වැඩ කළේ යන්ති ජොහරාන්. ඊට පස්සෙ මාව අහම්බෙන් ක්ෂේත්‍රයට නැවත හඳුන්වා දුන් සරත් හෙට්ටිගේ අංකල්ටත්, මගේ හොඳම යහළුවා චමීර ශානකට සහ නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත මහත්මයාටත් විශේෂයෙන් ස්තූති කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා