ඩෙන්මාර්කයේදී මට හොඳ පිළිගැනීමක් ලැබුණා
‘විවාහක’ රූපරාජිණිය ලෙස තේරි පත්ව පසුව ‘විශ්ව විවාහක රූරැජිණ’ තරගයටද ඉදිරිපත් වූ රුක්ෂිකා ගමගේ මේ දිනවල ඩෙන්මාර්කයේ සංචාරයක නිරතව සිටියි. ඒ ඩෙන්මාර්කයේ වාර්ෂිකව පැවැත්වෙන ‘මිස් ඇන්ඩ් මිසිස් වියට්නාම් යුරෝප්’ තරගයේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීම සඳහාය. මෙම රූපරාජිණි තරගය පසුගියදා පැවැත්වුණ අතර, රුක්ෂිකා ඒ බවට අපිට මෙම තරගය පිළිබඳව පැවසුවේ මෙවැනි අදහසකි.
තරගය ගැන මුලින්ම විස්තර කියමු?
‘මිස් ඇන්ඩ් මිසිස් වියට්නාම යුරෝප්’ ලෙස තමයි මේ තරගය නම් කරලා තියෙන්නේ. මේ තරගයට සහභාගි වෙන්නේ යුරෝපා රටවල රූපරාජිණියන්. අවසන් තරගයට ‘මිස් ඇන්ඩ් මිසිස්’ දොඅංශයෙන් තරගකාරියන් 32ක් සහභාගි වුණා. මේ තරගයට මා විනිසුරුවරියක් විදිහට සහභාගි වුණ දෙවැනි අවස්ථාව මේක. ගිය වසරේ එංගලන්තයේ, ලන්ඩන්වල පැවැති ‘මිස් ඇන්ඩ් මිසිස් වියට්නාම යුරෝප්’ තරගයටත් මම විනිසුරුවරයක් විදිහට සහභාගි වුණා.
මේ සඳහා ඔබට ආරාධනාවක් කළේ ඇයි?
ට්රේසි නග්යින් කියන්නේ මා සමග ‘ලෝක විවාහක රූපරාජිණි’ තරගයට ඉදිරිපත් වුණ කෙනෙක්. ඇයත් මාත් අතර අද තියෙන්නේ සමිප මිතුදමක්. ඇය හා මම සහභාගි වුණ ‘ලෝක විවාහක රූපරාජිණි’ තරගයේදී ඇය වගේම මමත් කැපි පෙනුණ තරගකාරියක් වුණා. ඒ හින්දා ඇය තිරණය කළා ඇය සහභාගි වෙන සෑම පැජන්ට් එකටම මාවත් සම්බන්ධ කරගන්න. ඒ නිසා තමයි මට ‘මිස් ඇන්ඩ් මිසිස් වියට්නාම යුරෝප්’ තරගයේ විනිසුරුවරියක් විදිහට මේ වසර දෙකක කාලයක් තුළ කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ.
මේ තරගයේදී ශ්රී ලාංකීක රූපරාජිණියක් ලෙස ලැබුණ පිළිගැනිම කොහොමද?
ගොඩක් හොඳ පිළිගැනීමක් ලැබුණා. ආරාධිත විනිසුරුවරියක් විදිහට මාව මේ තරගයේ අවසන් තරගයට වේදිකාවට කැඳවගෙන ආවේ රතුපළස් මතින්. මාත් සමග මෙම තරගයේ විනුසුරු මණ්ඩලයේ සාමාජිකයන් පස් දෙනෙක් හිටියා. ලන්ඩන්වල තිබුණ තරගයටත් වඩා මෙහිදි ලොකු පිළිගැනීමක් ලැබුණා. අනික් කාරණය තමයි ‘මිස් ඇන්ඩ් මිසිස් වියට්නාම යුරෝප්’ තරගයට එක්වුණ තරගකාරියන් අතරේ හොඳ තරගකාරීත්වයක් මම දැක්කා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරිපත් කිරිම් වුණත් විශිෂ්ටයි.
මේ තරගයෙන් පස්සේ?
රටවල් කිහිපයක සංචාරය කරන්න හිතාගෙන ඉන්නවා. ගිය වසරේදිත් මම ලන්ඩන්වල පැවැති තරගයට සහභාගි වුණ වෙලාවේදිත් රටවල් කිහිපයක සංචාරය කළා. මගේ මිතුරිය ට්රේසිව මට මුණ ගැසුණේ වසරකට පස්සේ ඉතින් එයත් එක්කත් ටික කාලපයක් රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් ඉක්මණින් නැවතත් ලංකාවට එන්න හිතාගෙන ඉන්නවා.