ඩ්‍රම්ස් වාදනයෙන් උපාධිය හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍යාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1083

සංගීතේ ‘අමායා’ ඔස්සේ රංගනයට පිවිසි ඇය සචිනි රණවකය. මේ වනවිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක වන ඇය, ලංකාවේ කාන්තා අංශයෙන් ඩ්‍රම්ස් වාදනයෙන් පළමු උපාධියක් හිමිකර ගැනීමට සූදානමින් සිටින්නීය. ඇයගේ කටයුතු පිළිබඳව මෙලෙස අපි කතාබහ කළෙමු.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?2019-05-27-ent-1087

මේ දවස්වල ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ රූ ගත කිරීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.

 

කොහොමද මේ ක්ෂේත්‍රයට එන්නේ?

මට මුලින්ම අවස්ථාව ලැබෙන්නේ ඩ්‍රීම් ස්ටාර් සීසන් 07 තරගාවලියෙන්. පස්සේ තමයි ලක්සිරි සර් මට ආරාධනා කරන්නේ සංගීතේ ටෙලි නාට්‍යයට. ‘සංගීතේ’ ටෙලි නාට්‍යය තුළින් තමයි මම ක්ෂේත්‍රයට ආවේ. එය මගේ පළමු රංගනය. ගායනය පැත්තෙන් ආවේ ඩ්‍රීම් ස්ටාර්වලින්.

 

‘සංගීතේ’ නාට්‍යයේ අත්දැකීම් ගැන කිව්වොත්?

ගීත ගායනා කරකර ඉඳලා රංගනයට අවස්ථාවක් ලැබුණු එක වෙනස්ම අත්දැකීමක්. නමුත් ‘සංගීතේ’ රූගත කිරීම්වලට සහභාගි වෙලාම දැන් කැමරාව හුරුවෙලා තියෙන්නේ. දැන් නිතරම කැමරාව ඉදිරියේ වැඩ කරන නිසා ඒක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.

 

‘සංගීතේ’ ටෙලි නාට්‍යයට අමතරව දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?

දර්ශන රුවන් දිසානායක මහත්මාගේ චිත්‍රපටයකට සහභාගි වුණා. එහි රූගත කිරීම් අවසන්. සත්‍ය සිදුවීමක් ඔස්සේ තමයි එම චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. තව චිත්‍රපටයකට ආරාධනා ලැබුණා. ඊට අමතරව ගීත රූප රචනා දෙකකට සහ වෙළඳ දැන්වීම් හතරකට දායක වෙලා තිබෙනවා.

 

පෞද්ගලික විස්තර ටිකක් කියමුකෝ?

මම පාසල් ගියේ නුගේගොඩ, Louvre ජාත්‍යන්තර පාසලට. 7 වසරින් පස්සේ නුගේගොඩ අනුලා විද්‍යාලයට ගියා. උසස් පෙළට තමයි කොළඹ විශාකා විද්‍යාලයට ගියේ. උසස් පෙළ කළේ සංගීතය පැත්තෙන්. දැන් කොළඹ සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබනවා.

 

ඔබ ගායනය පැත්තට වැඩිපුර ඇල්මක් දක්වනවා නේද?

ගායනයට සම්බන්ධ වෙන්න කලින් මම පොඩි කාලේ ඉඳලා භරත, උඩරට නර්තනය ඉගෙන ගත්තා. වැඩිපුරම මම කැමැත්ත දැක්වූයේ නර්තනයට. මම පොඩි කාලේ ඉගෙන ගත්තේ ප්‍රදීප් ආරියවංශ ගුරුතුමිය යටතේ. ඊට පස්සේ තබ්ලාව සහ ගායනයෙන් විශාරද විභාගය ලිව්වා. 2012 වසරේ දී තමයි විශාරද වුණේ. විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන්නේ ඩ්‍රම්ස් වාදනය පිළිබඳව. මම තමයි ලංකාවේ පළමු වතාවට කාන්තා අංශයෙන් ඩ්‍රම්ස් වාදනයෙන් උපාධිය ලබාගන්න ඉන්නේ. ඊට අමතරව බටහිර ගායනය සහ පියානෝ වාදනය පිළිබඳවත් හදාරනවා. පළමු වතාවට චිත්‍රපටයක ගීත ගායනයට සහ චිත්‍රපට රංගනයට අවස්ථාව ලබා දුන්නේ දර්ශන රුවන් සර්. පසුගිය කාලේ මගේම ගීතයක් එළිදැක්වූවා. ඒ තමයි ‘ආදරේ කුසුම’ ගීතය. ඒකේ පද රචනය සිදු කළේ අමිල තේනුවර. සංගීත නිර්මාණය කළේ දර්ශන රුවන් සර්.

 

කලා කටයුතුවලට දෙමවුපියන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා, තාත්තා, අයියා ඇතුළු පවුලේ හැමෝගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා සමග තමයි රූගත කිරීමවලට යන්නේ.

 

කලාව පැත්තෙන් තිබෙන ලොකුම බලාපොරොත්තුව මොකද්ද?

සංගීත කථිකාචාර්යවරියක් වීම තමයි මගේ බලාපොරොත්තුව. ඒක මගේ අම්මා දකින ලොකුම හීනයක්. ඉතින් ඒ හීනය හැබෑ කරගන්න මහන්සි වෙනවා. ඊට අමතරව රංගනය පැත්තෙන් හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත්, අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු සමග බාහිර වැඩකටයුතු සමබරව කරගෙන යන්න තමයි උත්සහ කරන්නේ.

 

ඔබේ කලාකටයුතුවලට උදව් කළ පිරිස ගැන කිව්වොත්?

මගේ අම්මා තාත්තා සහ අයියා. එතකොට විශාකා විද්‍යාලයේ මගේ ගුරුවරුන් සහ යාළුවො. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දර්ශන රුවන් සර්ව. ඔහු තමයි මට ඩ්‍රම්ස් පුරුදු කරලා ගායනය පැත්තත් දියුණු කරලා මාව ඉස්සරහට ගත්තේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

 2019-05-27-ent-1084 2019-05-27-ent-1085 2019-05-27-ent-1086